Tuesday, March 22, 2011

වතුර වීදුරුවේ දියකර වස විස බොන්නේ ඇයි?

අද මාර්තු මස 22දා; ලෝක ජල දිනය (World Water Day) යෙදී තියෙන්නේ අදට. 1993 වසරේ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් හඳුන්වා දුන් ලෝක ජල දිනය නිමිත්තෙන් ජලය හා ජන ජීවිතයට අදාල විවිධ තේමාවන් මුල්කරගෙන වාර්ෂික වැඩ සටහන් දියත් කෙරේ. 2011 වසරේ ලෝක ජල දින තේමාව ජලය හා නාගරීකරණය (Water for Cities) යන්නයි. පසුගිය වසරේ තේමාව වූයේ සුවසෙතින් පිරුණ ලොවක් සඳහා පිරිසිදු ජලය (Clean Water for a Healthy World) යන්න විය.

නූතන සමාජයේ නාගරීකරණය සිදුවෙන වේගය අනුව වනසම්පත් විනාශය හා පරිසර දූෂණය නිසා ස්වභාවික ජල සම්පත මුහුණපා ඇති තත්වය ගැන අමුතුවෙන් ලිවීම අවශ්‍ය නොවේ. ශ්‍රී ලංකාවේ ස්වභාවික ජල සම්පත බහුලව ඇති නිසා දෝ අපේ රටවැසියන් ජල සම්පත ගැන එතරම් අරපිරිමැස්මක් නැහැ. අපේ අසල්වැසි දකුණු ආසියාතික රටවල මිලියන ගනන් එදිනෙදා පාවිච්චියට ප්‍රමාණවත් තරම් ජලය නැතිව පීඩා විඳිති. ඒ ගණයට අයත් මිලියන 880ක ජනතාවක් ලොව පුරා වූ බව පසුගිය වසරේ ලෝක ජල දිනය නිමිත්තෙන් පල වූ වාර්තාවක සඳහන් විය. ලංකාවේ වියළි කලාපයේ ද බීමට සුදුසු ජලය නැතිව පීඩාවිඳින අය බොහෝය.

භූගත ජල සම්පත සුලබ හෝ දුලබ වුවද නවීන කාර්මිකකරණයත් සමඟ ජල සම්පත මුහුණපාන ප්‍රධාන ගැටලුවක් වෙන්නේ ජල දූෂණයයි. නොයෙකුත් හේතූන් නිසා ජල දූෂණය සිදුවිය හැකිය, ජල සම්පත හා පරිසරය දූෂණයවීමෙන් වලකාලන්නට අපිට කල හැකි පුංචි දායකත්වයක් ගැන සාකච්ඡා කිරීමයි මෙම ලිපියේ අරමුණ.


දැනට භාවිතයේ ඇති විද්යුත් වියළි කෝෂය හෙවත් බැටරිය ක්‍රි.ව. 1800 තරම් ඈත කාලයේ සොයාගැනීමක් බව කියැවේ. බැටරියක අන්තර්ගත රසායනික ද්‍රව්‍ය බඳුන්වෙන වෙනස්කම් වල ප්‍රථිපලයකින් විද්යුත් දහරාවක් ඇතිවේ. ලොව වඩාත් ප්‍රචලිත බලශක්ති ප්‍රභවයක් ලෙස එදිනෙදා කටයුතුවලදී මෙන්ම කර්මාන්ත ආශ්‍රිතව ද බැටරි මගින් කෙරෙන කාර්යය ඉමහත්ය. 2005 වසරේ දී ලෝකයේ බැටරි බාවිතයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 48 ක ආදායමක් ලබන්න ඇස්තමේන්තුකර තිබුණේ යැයි වාර්තා විය. තවද එතැන් පටන් ලොව බැටරි භාවිතය වාර්ශිකව 6% ක ආදායම් වර්ධනයක් බලාපොරොත්තු විය.

තාක්ෂණික දියුණුව හිනිපෙත්තේ වැජඹෙන නවින යුගය විවිධාකාර මෙවලම් (tools) හා උපාංග (accessories) වලින් පිරී ඇත. ඉන් බොහෝමයක්ම ඉලෙක්ට්‍රොනික උපකරණ හෙවත් ගැජෙට් (gadget). නූතන සමාජය බලාපොරොත්තු වෙන්නේ හැකි හැම දෙයම එහා මෙහා යද්දී අරන් යන්න ඇති පහසුතවය හෙවත් ඉංග්‍රීසි බසින් කියන මොබිලිටි (mobility) ය. ඉලෙක්ට්‍රොනික විද්‍යාවේ නිරන්තරයෙන් සිදුවෙමින් පවතින දියුණුව ඕනෑම නිෂ්පාදනයක් ඉතා හුරුබුහුටි, හිතන්නවත් බැරි තරම් කුඩා නිමැවුමක් බවට පත්කරන්නේ තරඟයට මෙනි. ඒ අනුව නිෂ්පාදකයින් ඉලෙක්ට්‍රොනික ගැජෙටයන් පණපෙවන විදුලි සැපයුම හා ඒ සැපයුම උපරිම කාලයක් රඳවා ගත හැකි බලශක්ති මූලාශ්‍රයන් පිලිබඳව උනන්දු වූහ.

ඒ ඔස්සේ කලකට පෙර විදුලි පන්දම් ආදියෙහි පාවිච්චි කල බැටරිය ප්‍රමාණයෙන් කුඩා වෙමින්ද, බලයෙන් වැඩිවෙමින් ද වෙනසකට බඳුන් වෙන්න පටන් ගත්තේය. නිරන්තරයෙන් කුඩා හා සැහැලල්ලු වෙන නිෂ්පාදනයන් හි රැඳවිය හැකි කුඩා පෙත්තක් ආකාරය දක්වා කුඩාවිය, එහෙත් වැඩි බලයක සැපයීමට ඇති ඉල්ලුම නොනැවැතී ඉහල යමින් පවතී. ඒ අතර තුර නැවත නැවත ආරෝපණය හෙවත් රීචාර්ජ් කල හැකියාව ඇති බැටරි නිෂ්පාදනය ආරම්භ විය. මුල් කාලයේ හදිසි අවස්ථාවක බාවිතා කරන ඉමර්ජන්සි ලයිට් වැනි භාණ්ඩ වලට හා කාර්මික අවශ්‍යතා සැලසූ මේවා පසුව මොබයිල් ෆෝන් ප්‍රචලිත වීමත් සමඟ නව නැම්මක් පෙන්විය. ඒ දියුණුව බැටරි නිෂ්පාදනය විශාල වෙනසක් කලේය.

අද කුඩා බිලිඳුන් නලවන හුරුබුහුටි සෙල්ලම් බඩුවක සිට, මොබයිල් ෆෝන් හා ඒ සම්බන්ධ ගැජෙට්, යාන්ත්‍රිකව වැඩ කරන දත්බුරුසුව පටන් අනේක එදිනෙදා භාවිතා කරන දෑවල - කොටින්ම කියනවා නම් සිහින් එලියක් හෝ හඬක් නිකුත් කරන ඕනෑම නිෂ්පාදනයක විදුලි සැපයුම සිදුවෙන්නේ විවිධාකාර බැටරි වලිනි. සංගීතයෙන් හා ඉතා සියුම් දිලෙන තරු වැනි බල්බ වලින් සැරසූ සුභපැතුම් පත් වෙළෙඳ පොලේ දක්නට ලැබීම බැටරියේ තුනී නිමැවුම පිලිබිඹු කරන්නකි.

සාමන්‍ය බැටරියක සින්ක්, කාබන්, ක්ලොරයිඩ්, ඇල්කලයින්, ලිතියම්, රසදිය යනාදි රසායනික ද්‍රව්‍ය එකක් හෝ කිහිපයක් ඇත. රීචාර්ජ් කල හැකි බැටරියක නිකල්, කැඩ්මියම්, ලිතියම්, ඊයම් (ලෙඩ්), සින්ක් ආදී රසායනිකි ද්‍රව්‍ය තිබිය හැකිය. මේ රසායනික ද්‍රව්‍ය ශරීරයට හානිකර ඒවා වේ. ඒ නිසා පාවිච්චි කල බැටරියක් ඉවතලෑමේ දී පරිස්සම් විය යුතුය, නොවුවහොත් දිරාපත්වෙන, ගිනිමැලයකට හසුවී පුපුරන හෝ අපවිත්‍ර ජලයගලන කාණුවක පෙඟී මුදා හරින බැටරියක රසායනික ද්‍රව්‍ය වලින් හිතනවාට වඩා බරපතල හානි පැමිණිය හැකිය. ඉන් පරිසරය දූෂණය විය හැකිය. එසේ පස හා එක්වෙන හානිකර රසායනික ද්‍රව්‍ය භූගත ජලය හා එක්වී ලිං, ගංඟා වැනි පානියා ජල සැපයුම් මගින් ශරීරගත විය හැකිය.

ලොව විද්‍යාව හා තාක්ෂණය පැත්තෙන් ඉහළින් ඉහළට යන්නේ ඉතා වේගයෙනි. ඒවගේම ලෝකවාසී ජනතාවගේ ශාරීරික සෞඛ්‍යතත්වය දිගින් දිගටම පිරිහේ. විද්‍යාව දියුණු නවීන කාලයේ ලොව උපදින කිරිකැටි දරුවන් 125 දෙනෙකුගෙන් සාමාන්‍යයක් සේ අයෙක් උත්පත්තියෙන්ම අසම්පූර්ණ හෘදයක් තුරුල් කරගෙන එනබව, බොහෝ දරුවන් ශ්වසන රෝගවලින් පෙලෙනබව, තවත් කොටසක් රුධිර සම්බන්ධ පිලිකා ආදී අනේක රෝගී තත්වයන් ගෙන් පෙලෙන බව අපේ සමාජයේ කී දෙනාද දන්නේ. මේ අවාසනාවන්ත තත්වයට අපේ රට ගොදුරු වෙමින් සිටී.

ලොව දි‍යුණු විද්‍යාවන් මෙකී අවසනාවන්ත තත්වයට හේතු සොයමින් වෙහෙසෙන අතර දයාබර ඔබට මට කරන්න කාර්යයක් ඇත. අඩුම තරමින් තවත් බැටරියක් විසිකරන්නන් වාලේ විසිනොකර නිසි තැනක බහාලමු. අපි මුල් පියවර තබමු. කුණු කසල ඉවත්කරන, විනාශ කරන උදවිය ඉවතලන බැටරි නිසිපරිදි විනාශකරන්න උනන්දු කරවන්න අපිට පුලුවන් වියයුතුයි.


ඔබත් බැටරියක් පාවිච්චි කරලා විසි කරනවානම්... එය තවත් ජීවිතයකට, හෙට උපදින කිරිකැටියෙකුට හානියක්, පීඩාවක් නොවෙන ලෙස වගකීමෙන් ඉවතලන්න කටයුතු කරමු. එසේ නොවුවහොත් අපි මතු දිනෙක බීමට නියමිත වතුර වීදුරුවට හානිකර වස විස එක් කිරීමට අපිම දායක වූවා වියහැකිය.


"ලෝක ජල දිනය" ගැන වැඩි විස්තර මෙතැනින්.

මෙම ලිපියත් කියවලා බලන්න: උතුරු මැද වකුගඩු රෝගයට රසායනික ද්‍රව්‍ය අඩංගු භූගත ජලයත් හේතුවක්

Wednesday, March 16, 2011

ගුවන් සේවිකා


දොරටුවේ රැඳි එන හැම පිලිගෙන
උනට පහසුව සුබ ගමනක් සකසන
හිරිහැර කරදර මැද සියුමැලි සිනාවක්
නගන්නේ කොහොමද නුඹ

වාසුලියකට උඩ පහල යනෙන
විමානයේ කුසගින්දර නිවාලන
රස බෝජුන් කරත්තය බදාගෙන
රැකගන්නේ කොහොමද නුඹ

බඩු පොදි එක් කරගෙන උනුන්
නිසසල තටු මතින් බැසයන
සුනංගුවේ මීමැස්සියක සේ
පියාඹන්නේ කොහොමද නුඹ

තරු නවාතැනේ ලැගුම් ගන්න
රූපලාවන පෙට්ටියේ සැඟවුන
පුංචි උඳුනකින් කුස රවටා වත
රැකගන්නේ කොහොමද නුඹ

ග්‍රෑම් සියයක් බර වැඩි වුනාම
සිහින් සිනාව අඩු වුනාම
නැගෙන ගෝරනාඩුව යට කරන්න
වෙහෙසෙන්නේ කොහොමද නුඹ

කරේ රැලි මාල වැඩිවුනාම
පියාසල අත්තටු බිඳලුවාම
රිදුම් දෙන පිට පිරිමැදගෙන
ඉවසන්නේ කොහොමද නුඹ


සටහන:
මෑත කාලයේ තරම් ගෝලීකරණය ලෝක ආර්ථිකයේ මුල් තැනක් ගත් යුගයක් තවත් නැති තරම්. ඉන් ඇතිවූ ලොව නන්දෙස එකිනෙක යාකරීමේ අවශ්‍යතාවයට උරදෙන මහාපරිමාණ ප්‍රවාහණ කර්මාන්තය තුල මගී ප්‍රවාහණය ප්‍රධාන තැනක් ගනී. පසුගිය දශක දෙක තුල ගුවන් මගීන් ප්‍රවාහන කර්මාන්තය ප්‍රබල වර්ධනයක් පෙන්නුම් කලේය. ඒ අනුව ගුවන් සේවාවන්හි රැකියා අවස්ථා ද බහුල විය.

මගී ගුවන් සේවා යානයක් තුල සැපයෙන සේවය (inflight service) ඉන් ප්‍රධාන තැනක් ගනී. පැය ගනනාවක ගමන් කාලයක් තුල මගීන්ගේ ඕනෑ එපාකම් සොයා බලමින් ඔවුන්ගේ සුව පහසුව (comfort) ද එමගින් ගමනේ ආරක්ෂාව (safety) ද සකසන කාර්ය මණ්ඩලය පොදුවේ Flight Attendants හෝ Cabin Crew ලෙස හැඳින්වෙන අතර පිරිමින් ගෙන් සැදුම් ලත් සේවක මණ්ඩලය හැඳින්වීමට Stewards හෝ Air Hosts ලෙසත් කාන්තා පාර්ශවය ගුවන් සේවිකාවන් ලෙස කීවද Stewardesses හෝ Air Hostesses ලෙසද හැඳින්වේ. ගුවන් සමාගමක මහජන සම්බන්ධතා පිලිඹිබු කරන කැඩපත සේ සැලකෙන ඔවුන්ගෙන් බලාපෙරොත්තුවෙන සේවාවේ ඉහළ තත්වයන් නිසා ඔවුන් මත පැටවෙන වගකීම හා පීඩනය ද අපමණය.

ගුවන් යානා සේවක මඬුල්ල අතර ගුවන් සේවිකාවන් හිමි කරගන්නේ ප්‍රධාන තැනකි. රූසපුවෙන් පරිපුන් යුවතියන්ට ගුවන් සේවිකා රැකියා අංශයට දොරහැරෙන අතර ඔවුන් පාරිභෝගික සේවාවන් හා මහජන සම්බන්ධතා ආදී ක්ෂේත්‍රයන් අලලා කෙරෙන පුහුණුකින් පසුව පදවි ලබයි. බැලූ බැල්මට සමනලියන් සේ පෙනුනද ඔවුන්ගේ රැකියාවේ ස්වභාවය කටුකය.

යානය තුලදී මගීන්ගේ සුවසෙත සිට ගමන්මලු පොදි මෙහෙයවීම දක්වා වෙන විවිධ කටයුතු ඔවුන්ගෙන් සිදු විය යුතුය. ගුවන් යානයක් ගමන පටන් ගැනීමත් සමඟ ම කෑමබීම පුරවාගත් ට්‍රොලියක් ආම්බාන් කරන ඔවුන් හදිස්සියේ ඇතිවිය හැකි යානයේ ඉහළ පහළ යෑමක්, වා සුලියක බලපෑමක් ආදී අවස්ථාවක ආහාර පාන ඉසිරීමෙන් හා ට්‍රොලිය පාලනයෙන් මිදුනාම වියහැකි අනතුරු වලින් මගීන් හා යානය බේරාගන්න කර යුතු වෙන්නේ සුළුපටු යුද්ධයක් නොවේ. යානයෙන් පිට අහිතකර පාරිසරික තත්වයන් නිසා යානය තුල ඇතිවිය හැකි ගැස්සීමකින් බලාපොරොත්තු නොවූ ආකාරයකට ඒ මේ අත විසිවෙන ගමන්මලු වලින් සිදුවිය හැකි අනතුරු වලින් මගීන් බේරාගන්න ඔවුන්ට කලයුතු වෙන්නේ කැපවීමකි. ඔවුන් විඳින ශාරීරික පීඩාවන් අපමණය. මේ බලපෑමෙන් වසර කිහිපයක් වැඩකරන අතර තුර ඔවුන් කොඳු ඇට, සන්ධි හා අස්ථි සම්බන්ධ විවිධ රෝගවලට මුහුණපායි. පමණක් අය ජීවිත කාලය පුරා පීඩා විඳින රෝගී තත්වයනට භාජනය වේ.

රැකියාව උදෙක් බලාපොරොත්තු වෙන රුව හා හැඩය රැකගැනීමට ගුවන් සේවිකාවන් නිතර උනන්දු විය යුතු වේ. ඔවුන්ගේ පියාසර කාලය හා පඩිපත බොහෝ තදින් වෙලා ඇත. රැකියාවේ පීඩනය බහුල මොවුන් නොයෙකුත් ජාත්‍යන්තර නීතිමාලාවන් යටතේ සුරැකුනද ඔවුන්ගේ සේවාකාලය එතරම් දීර්ග නොවේ. එනිසාම දෝ ඔවුන් දුර ගමනකදී ලැබෙන දීමනා ආදිය ඉතිරි කරගන්නේ අරපිරිමැස්මෙනි. තවද ඔවුන් මුහුණපාන මානසික පීඩාවන් ද කෙලවරක් නැත.


ප.ලි:
සමාජයේ ඔවුන් පිලිබඳව විවිධ මත තියෙන්න පුලුවනි. මින් පෙර මා රැකියාව කල ප්‍රමුඛ පෙලේ ජාත්‍යන්තර ගුවන් සාගමක සේවා කාලයේ දී අහන්න වූ කරුණු වලින් ඇති වූයේ අනුකම්පාවකි. එතරම් පීඩන මැද රැකියාව කරන ඔවුන් ගුවන් යානයට අතුලු වෙන මගීන්ට සිනාවකින් සංග්‍රහ කරන්නට මැලි නොවෙති.


* Picture is only for illustrative purpose

Tuesday, March 8, 2011

දුරු රටක කම්මලේ පොඩි නගේ


දුරු රටක කම්මලක
ලොකු රෙදි කෑලි
යාකරන විරිය දෙන
පොඩි නගේ

නුඹේ කඳුල දහදිය
යටකර විලවුන් මැද
නම දරන පංතියේ
බැබළෙන අඳුම්

සරසනා වීදුරු කුටිවල
මෝස්තර රඟනා බබුන්
වසීකර ගෙනෙනා කාසිය
දිනක දනටත් පිදෙයි

විලවුන් ඉසා සැරසී
කුලඟන පිරිවරන්
බලන් පුදන හැටි දිවි
දිනක දී බෙරිහන්

ආයෙත් උදාවන තුරු
නව කැලැන්ඩරේ දිනක්
සීතලේ ගුලිවෙන එවුන්
සරසන සළු පට මසන්

ඉරිතැලුණ කම්මල
රඳවන වීරිය දරන්
නාය යන පොලවක
නුඹ දාඩිය හෙලන්


පිදුම:
අද ජාත්‍යන්තර කාන්තා දිනය. අනේක බර කරපින්නා ගෙන ඈත දේශවල කම්හල්වල දහඩිය හෙලන, පැසසුමට බඳුන් නොවෙන දිරිය සොයුරියන්ට.


ඔවුන් වේගයෙන් දිවෙන මැෂින් සමඟ පොරබදිති. දහසක් දුෂ්කරතාවයන් මැද කහවනු උපයා පවුල් බර අදිති, රටේ ආර්ථිකයට උරදෙති.
වත්මනයේ මැදපෙරදිග කලාපයේ ඇතිවී තියෙන සමාජ රැල්ල කලාපයේ රැකියාවේ නියුතු විදේශිකයින්ට බලපානවා මෙන්ම කම්හල් වලට ද දැනෙනු ඇති.

මැදපෙරදිග රැකියා අවස්ථා උදාවූයේ ප්‍රතිපත්තිමය තීරණයක් මුල්කරගෙන (වැඩි විස්තර සඳහා පතොක් යාය). වත්මන් සමාජයේ ඇති බලපෑම උඩ එය වෙනසක් වුවහොත්...

Friday, March 4, 2011

මුතු බෙල්ලනී


රොඩු බිඳක් අරගෙන
පෙලා ගතම නුහුරින
වෙළා වට වට වඩමින
රැකලා කලක් යහමින
බබලා මුතු වැජඹෙන
පුදලා දිවි බෙල්ලනී පරවෙන


මුතු බෙල්ලන් ගැන වැඩි විස්තර:
1. http://www.thepearlmarket.com/pearl-formation.htm
2. http://en.wikipedia.org/wiki/Pearl
3. ස්වභාවික මුතු අතර ලාංකාවේ මුතු ද විශේෂ තැනක් ගනි, ඒ ගැන විස්තරයක් මෙතැනින්

Tuesday, March 1, 2011

ඇගේ මැරතනය

තුරඟ තරඟ කල්ප කාලයක් තිස්සේ පැවතී එන ඉහළ පලැන්තියේ ක්‍රීඩාවක් ලෙස ගැනුනද මෙකී ක්‍රීඩාව හා බැඳුන සූදුව නිසාම දෝ ලොව හැම රටකම පාහේ ඇත්තේ පුදුමාකාර උනන්දුවක්. 2008 වසරේ දී තුරඟ තරඟ හා සම්බන්ධ කර්මාන්ත ඇමෙරිකානු ඩොලර් බිලියන 115 ක් තරම් විශාල වෙලෙඳ පොලකට උරුමකම් පෑවා යැයි වාර්තා වේ (මූලාශ්‍රය: විකිපීඩියා).

ලොකු අස්වයෝ දුවවන පොඩි මිනිසුන්... ඔවුන්ගේ දෛනික ජීවිතය පෙලන තවත් එක් සමාජ උවදුරක්... වටා ගොඩනැගුන කෙටිකතාවක් "ඇගේ මැරතනය"

වෙලාව හතට ලං වෙලා ඇති...

ඉදිආප්ප වංගෙඩිය මිරිකාගෙන කරකවන ගමන්ම ගුණවතී ඔළුව උස්සා චිමිනි ලාම්පුව දිහා බලුවේ නැගිට ගිහින් ටයිම් පීස් එක බලන්න තරම් වෙලාවක් නැති හින්දා. උදේ හතරේ ඉඳන් ඇගේ තනියට එලිය දෙන ලාම්පුව කොච්චර වෙලාවක් දැල්වේවිද අනුමානයෙන් කියන්න ඇය දන්නවා.

පොඩි පුතා කෑලි ගිය එනැමල් පිඟාන අතේ තියාගෙන ගුණවතීගේ මුහුණත් තට්ටු උඩ වැක්කෙරෙන ඉදිආප්පත් දිහා මාරුවෙන් මාරුවට බලයි. ලිපේ ගිනිදළු හදන ඈ ලහිලහියේ වත්කරපු ඉදිආප්ප තට්ටු ටික එකින් එක උඩට අඩුක්කු කර ගැනලා බලලා මදිවට තවත් තට්ටු දෙකක් වත්කර හදා ගත්තා. ලිපේ තැම්බෙන අඩුක්කුව බාගන්න වෙලාව හරි. ඒක බාගත් ගමන් සූදානම් කර තිබූ අඩුක්කුව ලිපට කරලා වැහුවා.

බාගත්තු අඩුක්කු ලොකු බට වට්ටියේ පිලිවෙලට පැතුරවලා එකින් එක ගලවන ගමන්ම ඉදිආප්ප දෙක දෙක වෙන් වෙන ලෙස අනිත් බට වට්ටියේ තිබ්බා. බාගත් ඉදිඅප්ප තට්ටු ටික හිස්වෙනවත් එක්කම වගේ...

පෙඩි පූතා "අම්ම්...මේ"

"පොඩ්ඩක් කෑනොගහ හිටපන් බං" කියන ගමන් ගුණවතී හිස් වූ ඉදිඅප්ප තට්ටු ටික සුද්දකරලා අනික් අඩුක්කුව හදාගන්න ලෑස්තිය.

උදේ ඉඳන් මැසිමක් වගේ වැඩකරන ඇය ඔළුව උස්සලා බැලුවා. තවමත් සොමිසේන පිලේ බැම්ම උඩ වාඩිවුන ගමන්. උදේ 5.45ට පීටර් මුදලාලිගේ කඩේට දෙන ඉදිආප්ප ඕඩර් එක නම් බෑ කියන්නේ නැතිව සේන ගෙනිහින් දෙනවා. කඩේ ඉඳන් ආපහු ගෙදර එන්නේ පත්තරේත් අරන්. ඉන් පස්සේ උන්දැව හොල්ලන්නත් බැරි බව ගුණවතී දන්නවා.

"මේ ඇහුනයි, මං මේටික ඉවර කරගන්නකම් ලිඳෙන් වතුර එකක් ගෙනැල්ල අර බේසම පුරවනවයි..."

"පෙඩ්ඩක් හිටපං යෝදියේ, මගේ පෙවරිට් එකා ඩාන්සින් කුයින් මාස දෙකක් අසනීප වෙලා හිටියා ඒකි හෙට රේස් එකේ දුවන්න ඕනේ. බලහන් කෝ ඒකෙත් හැටි උගේ බර රාත්තල් දෙකක් වැඩිවෙලා..."

"ඔන්න ඔය මල ඉලව්ව පැත්තකට දාලා වතුර එක ලෑස්ති කොරා නම්... පොඩි එකීව කිලිනික් එක්ක යන්න ඕනේ, මං මෙහේ තනියෙම යුද්ද කරනවා ඔහේ මොකද්ද එකියෙක් ගේ බර බලනව, අනේ මගේ කරුමෙ."

"ඇයි බං පොඩි එකී ඔය යසට ඉන්නේ..."

"ඔහේට මතක නැද්ද? මාස හයකට පස්සේ විදින ඉන්ජැක්සොන් එක දෙන්න අද කිලිනික් යන්න ඕනෙ..."

"ඇයි යෝදියේ... කලින් එක විදලා මාස හයක් වුනයි තවම..."

"අනේ... අනේ... තමුන්ගේ දරුවගේ වයස දන්නේ නැහැ... ඇහැට දැකලත් නැති මෙකෙද්ද එකෙක් අසනීපෙන් ඉන්න දවස් ගානයි, උගේ බර අඩු වැඩි වෙන එකයි ඔහේලා දන්නවා... කාට නම් කියන්නද මේවා..."

සටාස් ගාලා පෙලොවේ තට්ටුකරලා ලොකු බට වට්ටිය ගසලා සුද්ද කරගත් ගුණවතී ලිපේ තියෙන ඉදිආප්ප අඩුක්කුව බාගත්තා. පොඩි පුතාත් බංකුවේ හරි බරි ගැහිලා වාඩි වුනා. සේනත් එක්ක කතාවට පැටලුනත් ඇය මීලඟට ලිපට කරන ඉදිආප්ප ටික සූදානම් කරගත්තා.

ලිපේ ගිනිදළුත්, තම්බන හාජනයෙන් එන හුමාලයත් අතර ගුණවතීගේ හිතට අවේ සේනගේ අම්මා ජේන් නැන්දා කියන ඒවා. ඒ දවස්වල සේනගේ තාත්තා ඇක්මොන් මාමා හම්බකරන දේවල් වැඩි හරියක් නාස්ති කලේ ඔය ඔල්ලෝන් දාන්නලු. ජේන් නැන්දා හැම වෙලාවෙම කියන්නේ උන්දෑ සුද්දගේ වත්තේ වැඩ කර හින්දා වෙන්න ඇති සුද්දන්ගේ අස්වයින්ගේ මයිල් ගනන් කරන්නේ කියලා. ජේන් නැන්දා නම් කිව්වේ සේන නම් එච්චර නාස්තිකාරයෙක් නෙවෙයි කියලා. හ්ම්! මේක ඉතිං මුන්දැලාගේ පරම්පරාවෙන් සුද්දන්ට ගෙවන පව වෙන්න ඇති...

"අම්ම්...මේ මට බඩගිනියි" පොඩි පුතාගේ සද්දෙට ගුණවතී පියවි ලොවට ආවේ.

"ඈ බං පුතේ අදනං ඉදිඅප්ප ටික මල් වගේ ආව..."

"එතකොට කෝ අම්මේ මට..."

සොමිසේන රස්සාවට කලේ වඩුවැඩ. සතියක් වැඩ කලොත් දවස් තුන හතර ගෙදරට වෙලා ඉන්නවා. හම්බකරන දෙය පිටරටවල දුවන අශ්වයින්ගේ පිටේ පටවනවා. ගෙදර වියදමට මොනව හරි හොයා ගන්නේ ගුණවතීගේ ඉදිආප්ප හැදිල්ලෙන්. ඕඩර් එකට වෙලාවට දුන්නේ නැතිනම් මුදලාලිලාගෙන් නැති බැනුම්. ඉදිආප්ප ටික හරියට තියෙන්නත් ඕනේ. ඉතිරි වුනොත් සල්ලිත් නැහැ.

ගුණවතීගේ ඇස්වලට කඳුලු පැන්නා. පුතා ඇහැරිලා ඇවිත් පැය දෙකක් වෙන්න යනවා, ඌ තවම බඩගින්නේ. බානකොට ඇලවිලා කැඩෙන ඉදිආප්පයක් දෙකක් වුනොත් තමයි පොඩි උන්ට කෑමට දෙන්න පුලුවන්. එහෙම නැත්නම් ඕඩර් වලට හදලා ඉතිරි වෙන පිටි ටිකෙන් හදනකම් ඉන්න ඕනේ. නැත්නම් කලින් දවසේ ඉතිරි ඒවා ආයේ තම්බලා ගන්න ඒවා තමයි.

පුතාලගේ තාත්තා තවම අශ්වයෝ එක්ක.