Wednesday, April 17, 2024

අවනත සොබාව | Nature's Treat

 


සැඩ හිරු
අණසක පතුරමින් ඔරවන
සවස්වරුවක,
සැනෙකින්...
හතර වටින් කලුකර
පාවී ආවා වලාකුළු රොත්තක්
අරගෙන දවන ගත නිවාලන
සිසිල් සුළඟක්...

කොහෙන් දෝ අවුදින්
අඳුරු අහසේ
ඔසවාගෙන පැසක්
බමන
ලංව, ඈත්ව රඟනා
සුදෝ සුදු වරා මල් පෙලක්
නිදැල්ලේ, ලස්සනට...

පවන සැර විය
අහස කඳුළු සැලුවා
වගසින්
නිදහස් කර තුටින් ද?
පුපුර විසිරුන බිතු
දැක දුකින් ද?
කොහේ සැඟව ගියා දෝ
වරාමලියන් තෙතබරිතව...



Friday, April 12, 2024

යකඩ යක් කුමරියනී, දේවියනී, රැජිණියනී

යකඩ යක් කුමරියනී, දේවියනී, රැජිණියනී
දුවන්න හනි හනිකට කොළොම්පුරේට
ඉඟසුඟ නලවා පරිස්සමෙන්
රැගෙන එන්න දූ පුතුන් ගමරටට


දුම්රියට කාන්තාවන්ගේ නම් යොදන හේතු

ඇයි දුම්රියට පිරිමින්ගේ නම් නොදමන්නේ? ඇයි කාන්තාවන්ගේ නම් පමණක් යොදන්නේ? මේ ගැටලූව අනන්තවත් ඔබේ හිතට නැගෙන්න ඇති නේද?

දුම්රියට කාන්තාවන්ගේ නම් පමණක් යොදන්නේ දුම්රිය වගේම කාන්තාවත් නඩත්තු කරන්න අපහසු නිසා කියලා කසුකුසුවක් තියෙනවා තමයි. නමුත් මට හිතෙනවා පෙනෙනවට වඩා හිතෙනවට වඩා සැඟවුන කතාවක් මේ නම් තැබීමට හේතු වෙන්න ඇති කියලා.

ඇහෙන කතා, කියන කතා, ඉතිහාස කතා අතරින් අපි සොයා බැලූවා මේ අපූරු කතාවේ සුළමුල මොකක්ද කියලා. දුම්රියට කාන්තා නම් තැබීම පිළිබඳව සොයා බැලීමේදී දුම්රියට කාන්තා නම් තැබීමේ ආරම්භය වසර ගණනාවක් ඈත අතීතයට දිව යන්නකි.

එක්දාස් අටසිය හැත්තෑ පහ වර්ෂය වන විටත් ජනාවාසයක්ව පැවති කොළඹ ප‍්‍රදේශය ඉංග‍්‍රීසි ආණ්ඩු සමයේදී නගරයක් පමණක් නොව ශ්‍රී ලංකාවේ අග නගරය බවටද පත් වන්නේ 1883 වර්ෂයේදීය. කොළඹ ශ්‍රී ලංකාවේ අග නගරය බවට පත්වීමත් සමග රටේ සංවර්ධනය කොළොම්තොට ඔස්සේ දසත පැතිරෙන්නට විය. ඒ අනුව කඳුකරයේ වැවෙන බෝගයන් වූ තේ, කෝපි අස්වැන්න කොළඹට ප‍්‍රවාහණය කිරීමද පහසු කරවීමේ ක‍්‍රමවේදයක් ලෙස කොළඹ කේන්ද්‍ර කරගත් දුම්රිය සේවාවක් ඇරඹීම කෙරෙහි ඉංගී‍්‍රසි ආණ්ඩුකාරවරුන්ගේ අවධානය යොමු වන්නට විය.

ඒ අනුව 1850 දශකයේ එවකට ආණ්ඩුකාර ධුරය හෙබවූ හෙන්රි වෝඞ් ආණ්ඩුකාරවරයා පළමු පස් පිඩැල්ල කපමින් ඉදිකිරීම් ආරම්භ කළ දුම්රිය මාර්ගය කොළඹ සිට අඹේපුස්ස දක්වා ඉදිවන්නට විය.

ඒ ආකාරයෙන් කැනීම් ආරම්භ කරන ලද කොළඹ සිට අඹේපුස්ස දක්වා වූ දුම්රිය මාර්ගය 1858 අගෝස්තු මාසයේදී අවසන් වීමත් සමගම ශ්‍රී ලංකාවේ ප‍්‍රථම දුම්රිය ගමන 1864 දෙසැම්බර් මස විසිහත්වැනි දින ඇරඹිනි.

ඒ අනුව ලංකාවේ ප‍්‍රථම දුම්රිය මග කොළඹ සිට අඹේපුස්ස දක්වා නැගෙනහිරට කිලෝමීටර් පනස් හතරක් වන සේ ඉදිවුන අතර එම ප‍්‍රථම දුම්රිය මගේ මගීන්ද සමග නිල වශයෙන් දුම්රිය ගමන ඇරඹෙන්නේ 1865 වර්ෂයේ ඔක්තෝබර් දෙවැනිදාකය. අනතුරුව ආරම්භ කෙරුණ කොළඹ මහනුවර දුම්රිය ගමන් සේවය 1967 වර්ෂයේ ආරම්භ කිරීමත් සමගම වැඩි වන ජනගහණයට ප‍්‍රවාහන පහසුකම් පුළුල් ලෙස සපයමින් කොළඹ සිට නාවලපිටිය, නානුඔය, බණ්ඩාරවෙල, මාතලේ, බදුල්ල, පුත්තලම, මඩකලපුව, ත‍්‍රිකුණාමලය යනාදී වශයෙන් දුම්රිය මාර්ග සහ දුම්රිය ගමන් සේවා ඇරඹීය.

1928 වර්ෂය වනවිට සම්පූර්ණ කරන ලද දුම්රිය මාර්ගයේ කෙරුණ ප‍්‍රධාන කාර්යයන් අතර කඳුකරයේ තේ, කෝපි අස්වැන්න කොළඹට ප‍්‍රවාහණය කිරීම ඇරඹිනි.

අද ඔබ හඳුනාගෙන සිටින ශ්‍රී ලංකා දුම්රිය සේවය එදා නම්කරනු ලැබ තිබුණේ ලංකාණ්ඩුවේ දුම්රිය මාර්ගය යනුවෙනි. අදත් බොහොමයක් පිරිස් භාවිත කරන නාමයක් වන CGR යන කෙටි නාම යෙදුම වන (Ceylon Government Railway) යන්න කෙටි කොට හඳුන්වන නාමයකි.

1864 වර්ෂයේ පළමුවැනි දුම්රිය අඹේපුස්ස බලා ධාවනය වන කාලයේ මුල්ම අවස්ථාව වන හෙයින් දුම්රිය සංඥා ක‍්‍රමයක් වුවමනා නොවීය. එවකට අද මෙන් විනාඩි දහයෙන් දහයට දුම්රිය ගමන් වාර නොවීය. එහෙයින් එක දුම්රියක් ගමනේ යෙදී පැය කිහිපයකට පසුව අනෙක් දුම්රිය ගමනේ යෙදවීය.

පසුකාලීනව ජනතා අවශ්‍යතාවන්ට අනුව නිතර නිතර දුම්රිය ගමන්වාර ඇති කිරීමට බලධාරීන් පියවර ගැනීමේ ප‍්‍රතිඵලයක් ලෙස ද්විත්ව දුම්රිය මාර්ගයන්හි ලොක් සහ බ්ලොක් උපකරණ ක‍්‍රමය භාවිත විය. 1959 වර්ෂයේදී වර්ණාලෝකය සහ දුම්රිය ධාවන පාලන ක‍්‍රමය ආරම්භ කෙරිණි.

දිනෙන් දින වැඩිවෙන අවශ්‍යතාව හමුවේ ශීඝ‍්‍රගාමී දුම්රිය සේවාවක් ඇරඹීම කෙරෙහි බලධාරීන්ගේ අවධානය යොමුවීමේ ප‍්‍රතිඵලයක් ලෙස class M1 වර්ගයේ දුම්රිය එන්ජින් තුනක් යොදවාගනිමින් Yalpanam Express, Mahanuwara Express, Ruhuna Express යන දුම්රියයන් ධාවනයට එක්විය. එම කාල වකවානුවේදී යාල්දේවී, රුහුණු කුමාරී, උඩරට මැණිකේ නොවීය.

ශීඝ‍්‍රගාමි දුම්රිය ගමනාගමන සේවය ආරම්භ වී වසරක් ඇතුළත කොළඹ ක‍්‍රමය (Colombo plan) යටතේ M2 වර්ගයේ දුම්රිය එන්ජින් පහක් කැනඩා රජයෙන් ආධාර ලෙස අප රටට ලැබුණි.

M2 වර්ගයේ දුම්රිය එන්ජින් පහක් කැනඩාවෙන් ලැබීමත් එවකට ශ්‍රී ලංකා ආණ්ඩුව සතුව තිබූ ඞීසල් එන්ජින් ප‍්‍රමාණය වැඩිවීමත් යන කරුණු හේතුකොටගෙන තරගකාරී දුම්රිය සේවාවක් පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමු විය.

රුහුණු කුමාරි, යාල්දේවි, උඩරට මැණිකේ එකම දිනයකදී ධාවනයේ යෙදුන බවටත් ඔවුන් තුන් නිවුන් සොහොයුරියන් ලෙසත් බොහෝ දෙනෙක් අසා තිබෙන කරුණ සාවද්‍ය තොරතුරකි.

රුහුණු කුමාරි දුම්රිය මුලින්ම ධාවනය කෙරෙන්නේ 1955 ඔක්තෝබර් 24 වැනි දිනකය. දිනෙන් දින දියුණුව කරා ගිය ගමනේදී 1950 දශකය වනවිට රටේ මාර්ග පද්ධතිය වැඩිදියුණු වීමේ ප‍්‍රතිඵලයක් ලෙස බස් සේවා සහ ලොරි රථ ධාවනයට එක්විය. දුම්රියේ ඒකාධිකාරයට තර්ජනයක් වෙමින් පැවතුන මේ සේවාවන්හි ප‍්‍රතිඵලයක් ලෙස තරගකාරීත්වයට පණ පොවමින් රුහුණු කුමාරි කොළඹ සිට මාතර දක්වා මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගමන් ඇරඹීය.

එවකට ලංකා අගමැතිවරයා ලෙස කටයුතු කළ සර් ජෝන් කොතලාවල ශ්‍රීමතාණන් සමග ගමනාගමන ඇමතිවරයා වශයෙන් කටයුතු කළ මොන්ටෙගු ජයවික‍්‍රම, දුම්රිය සාමාන්‍යාධිකාරී වරයා ලෙස කටයුතු කළ බී.ඞී. රම්පාල යන ප‍්‍රභූ පිරිස රුහුණු කුමාරි මාතර බලා යන මංගල ගමනට එක් වී ඇත.
එවකට රුහුණු කුමාරි සිය මංගල ගමන අරඹා ඇත්තේ පස්වැනි වේදිකාවෙනි. කොළඹ දුම්රිය නැවතුම්පළේ ඔබ අද හත්වැනි වේදිකාව ලෙස හඳුනාගන්නේ එදා පස්වැනි වේදිකාව ලෙස හැඳින්වූ ස්ථානයමය.
එදින රුහුණු කුමාරියට පණ පෙවූ එන්ජිම වන්නේ M2 572 M2 572 British Colombia නම් කැනඩා ආධාර යටතේ ලැබුණු දුම්රි එන්ජිමකි. බොහෝ දෙනකු අසා දැන කියාගෙන ඇති පරිදි රුහුණු කුමාරි, උඩරට මැණිකේ, යාල්දේවී තුන් නිවුන් සොහොයුරියන්ය යන කතාව සාවද්‍ය තොරතුරකි. එම සාවද්‍ය තොරතුර ජනතාව අතරට යාමට හේතු වී ඇත්තේද අපූරු කතාවකි.

රුහුණු කුමාරිය ශීඝ‍්‍රගාමී දුම්රිය සේවයට එක්ව මාස හයකට පසුව කොළඹ සිට කන්කසන්තුරය දක්වාත් කොළඹ සිට බදුල්ල දක්වාත් ශීඝ‍්‍රගාමී දුම්රිය සේවා දෙකක් ඇරඹීම කෙරෙහි දුම්රිය දෙපාර්තමේන්තුවේ අවධානය යොමුවන්නට විය. ඒ අනුව කොළඹ සිට කන්කසන්තුරේ දක්වා වූ දුම්රිය යාල්දේවී නමින්ද කොළඹ සිට බදුල්ල දක්වා දුම්රිය උඩරට මැණිකේ නමින්ද ධාවනයේ යෙදවීමට කටයුතු සැලසුම් කෙරිණි.

ඉදිරි සැලසුමට අනුව නව දුම්රිය සේවාව පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ ප‍්‍රචාරක මාධ්‍යයක් ලෙස ලංකාණ්ඩු දුම්රිය සේවයේ නව දුම්රියයන් පිළිබඳව එක්තරා පුවත්පතක පළකළ දැන්වීමක් විය.

”ලංකාණ්ඩුවේ දුම්රිය මාර්ගය ප‍්‍රියංකර සොහොයුරියන් තිදෙනකු ඉදිරිපත් කරයි” යනුවෙන් සඳහන් වූ දැන්වීම දකින ඕනෑම අයකුට හැඟී යන්නේ 1955 ඔක්තෝබර් 24 ගමන් ආරම්භ කළ රුහුණු කුමාරියද අලූතෙන් ගමන් අරඹන බවය. ලංකාණ්ඩුවේ දුම්රිය මාර්ගය ප‍්‍රියංකර සොහොයුරියන් තිදෙනෙක් ඉදිරිපත් කරයි යනුවෙන් සිරස්තල යොදා C.G.R යන ඉංග‍්‍රීසි අක්‍ෂර රූප සටහන මත පිළිවෙළින් G ඉංග‍්‍රීසි අක්‍ෂරය මත ඔසරියකින් සැරසීගත් කාන්තා රුවක් සිතුවම් කොට ඊට යටින් උඩරට මැණිකේ ලෙසද, R අක්‍ෂරය යොදා එහි දමිළ කතක් සේ කාන්තා රුවක් හැඳ එය යාල් දේවී ලෙසත්, ඍ ඉංග‍්‍රීසි අක්‍ෂරය යොදා එහි රෙද්දකින් සහ හැට්ටයකින් සැරසීගත් කාන්තා රුව යොදා ඊට යටින් රුහුණු කුමාරි ලෙසත් නම් කොට එම දැන්වීමේම සුරක්‍ෂිතව ගමන් කරන්න, ලාබෙට ගමන් කරන්න, දුම්රියෙන් ගමන් කරන්න යනුවෙන්ද සටහනක් තිබී ඇත.

දුම්රිය ගමන් කාල සටහනේද සටහන්ව අලූතෙන් ඇරඹෙන යාල්දේවී, උඩරට මැණිකේ දුම්රිය සේවයේ ඇරඹුම් දිනයද සටහන්ව ඇති මේ අපූරු දැන්වීම නිවුන් සොහොයුරියන් යන කතාවට හේතු සපයා ඇත.

කෙසේ වුවත් නිවුන් සොහොයුරියන් වන උඩරට මැණිකේ සහ යාල් දේවී සුබ නැකතින් ගමන් අරඹන විට සංශෝදනය වූ කාල සටහනට අනුව ගමනේ යෙදුන රුහුණු කුමාරිය ලංකාණ්ඩු දුම්රිය මාර්ගයේ ප‍්‍රථම කාන්තා නම හිමි දුම්රිය ලෙස රන් අකුරෙන් ලියවෙමින් අතීතයේ සිට ගමන් අරඹා ඇත.
ඒ ආකාරයෙන් රුහුණු කුමාරි, උඩරට මැණිකේ, යාල්දේවි, ගාලූ කුමාරි, මුතු කුමාරි, රජරට රැජින, පොඩි මැණිකේ දුම්රිය ගමනට ආඩම්බරයෙන් එක්ව සිටින විට ඇයි පිරිමින්ගේ නම් දුම්රියට නොදමන්නේයැයි අපි විමසා බැලූවෙමු.

දුම්රිය සාමාන්‍යාධිකාරී බී.ඒ.ටී. ආරියරත්න මහතාට මේ ගැටලූව යොමු කළ පමණින් ඒ මහතා මුලින්ම කළේ වාවාගත නොහැකිව වගේ හිනා වෙන එකය.
හිනාව අතරතුර ක්‍ෂණිකව ලබාදුන් පිළිතුර අප පුවත්පතෙහි පළ කළහොත් මා හිතන්නේ එය විශාල ඛේදවාචකයක මූලාරම්භයක් වේවි යන්නයි.

අන්න ඒ නිසා ක්‍ෂණිකව ලබාදුන් පිළිතුර පැත්තකට දමා දෙවනුව ඒ මහතා ලබාදුන් පිළිතුරට අපි අවධානය යොමු කරමු.

මා හිතන්නේ කාන්තාව කියන්නේ ආකර්ෂණීය සාධකයක්. මේ නම් දුම්රියට හොඳින් ගැලපෙනවා. ඇය තුළ ඇති අපූරු ගමන් රටාව, සුන්දරත්වය, ඒ වගේම ඒ ඒ ප‍්‍රදේශයන්හි අනන්‍යතාව තහවුරු කරන ප‍්‍රධාන සාධකයක් තමයි කාන්තාව.

ඒ වගේම මට මතකයි පිරිමින්ගේ නම් දුම්රිය එන්ජින්වලට යොදල තිබුණා. ඔවුන් එවකට සිටි ආණ්ඩුකාරවරු.

Class M2 දුම්රිය එන්ජිමකට දුන්හිඳ කියලත් යොදල තිබුණා. දුම්රිය යකඩ වලින් සැදුනක් වුවත් දුම්රිය ගමනේදී ඇසෙන හඬ පවා රිද්මයානුකූලයි.

අපේ රටේ කාන්තාවට වෙන රටවල කාන්තාවන්ට වගේ නෙවෙයි. විශේෂ සැලකිල්ලක් හිමිවෙනවා. අන්න ඒ ගෞරවනීය සැලකිල්ල කාන්තා නම් යෙදීමට හේතුවන්නට ඇති.

කාන්තාවන්ගේ නම් දුම්රියට යෙදීමේ ඉතිහාස කතාවක් තියෙනවද යන්න තව දුරටත් සෙවීම සඳහා අප සම්බන්ධ කරගත්තේ දුම්රිය ඉතිහාසය පිළිබඳව පර්යේෂණාත්මක අධ්‍යාපනික පොත් රැසක් පළ කළ සිරිසේන රාජපක්‍ෂ මහතාවයි.

1967 වර්ෂයේ දුම්රිය ස්ථානාධිපතිවරයකු ලෙස දුම්රිය සේවයට එක්වන රාජපක්‍ෂ මහතා වසර ගණනාවක සේවා කාලයක් නිම කරමින් 1984 වර්ෂයේ සිය සේවයෙන් විශ‍්‍රාම ලැබීය. සිය රාජකාරි ජීවිතයේ ලබාගත් අත්දැකීම්වලට අනුව සොයාගත් පර්යේෂණාත්මක තොරතුරුවලින් අනාවරණය වන පරිදි කාන්තාවන්ගේ නම් පමණක් දුම්රියට යෙදීම පිළිබඳව ඒ මහතා පැවසුවේ මෙවැනි කතාවක්.

දුම්රිය සේවය කියන්නේ රටේ ප‍්‍රවාහන සේවාවක්. එම ප‍්‍රවාහන සේවයේ ආරම්භය කොළඹින් වුවත් ගමනාන්තය වන්නේ නුවර හෝ යාපනය හෝ අනුරාධපුරය හෝ කොහේ හරි ප‍්‍රදේශයක්. ඒ වගේම අපේ රටේ විවිධ පළාත්වලට වෙන් වූ අනන්‍යතාවක් තිබෙනවා. අප උදාහරණයකට ගත්තොත් උඩරට, පහතරට, උතුර, රජරට ඔය ආදී වශයෙන් පළාතෙන් පළාතට වෙන්වූ අනන්‍යතාවක් තියෙනවා. ඒ වගේම හලාවත ප‍්‍රසිද්ධ මුතු වලට. ගාලූ කොටුව පිළිබඳව කියැවෙන ගාල්ලට යන දුම්රිය ගාලූ කුමාරි වෙනවා. එතකොට හලාවතට යන දුම්රිය මුතු කුමාරි වෙනවා. මුහුදුබඩ දුම්රිය මාර්ගයේ සෑම දුම්රියක්ම වගේ අගට යෙදෙන්නේ කුමාරි නම.

එතකොට උඩරට ඉන්නේ මැණිකෙලා. බදුලූ යන දුම්රිය උඩරට මැණිකෙ වෙනවා. අපි හිතමු උඩරට ඉන්නේ අප්පුල නිසා උඩරට අප්පු කියලා දුම්රියට නම් තැබුවා කියලා. එය කිසිඳු ගැලපීමක් නෑ. නමුත් උඩරට මැණිකේ කියනකොට ආකර්ෂණය වැඩි ගතියක් තියෙනවා. නමෙහි හුරුපුරුදු ගතියක් තියෙනවා.

ඒ වගේමයි යාපනය එහෙම නැත්නම් උතුරට යන දුම්රිය යාල් පානම් කියලා හඳුන්වන ගමේ නමෙන් යාල් කෑල්ල සමග උතුරේ කාන්තාවන්ගේ අනන්‍යතාව හෙළිවන දේවි නම අගට යෙදිලා තියෙනවා. මේ දුම්රියන්ට තබා තිබෙන්නේ ගමනාන්තය, එහෙම නැතිනම් දුම්රිය ගමන් කරන ප‍්‍රදේශයේ නම හා එම ප‍්‍රදේශයේ කාන්තාවගේ අනන්‍යතාවය.

ඕනැම අයකුට කුමාරි නම ඇසූ පමණින් ඔහු දන්නවා එම දුම්රිය උඩරට යන දුම්රියක් නොවේ කියලා. මොකද මැණිකේ නම ඇසුනම මගියාට සන්නිවේදනය වෙනවා පොඩි මැණිකේ, උඩරට මැණිකේ යාපනේට හෝ මුහුදුබඩ දුම්රිය මාර්ගයට හෝ නොයන බව. එය යන්නේ කන්ද උඩරටට.
ඒ වගේම අපි සිඤ්ඤෝ කියල දැම්මානම් එහි ආකර්ෂණයක් නෑ. යාපනය ප‍්‍රදේශයට හෝ කන්කසන්තුරේට යන දුම්රියට අපි යාල් කන්දසාමි කියලා නම් තැබුවහොත් ආකර්ෂණය ගිලිහෙනවා.

උතුරට යන දුම්රිය දේවි වන්නේ, රුහුණට යන දුම්රිය කුමාරිලා වන්නේ, උඩරට දුම්රිය මැණිකෙලා වන්නේ ඔන්න ඔය ආකාරයට.
ඒ වගේම නොදන්න තවත් දෙයක් තියෙනවා. දුම්රියට කාන්තා නම් වගේම දුම්රිය එන්ජිමට පිරිමි නම් යොදන අවස්ථාත් තියෙනවා. ඒ කාලේ වාෂ්ප එන්ජින්වලට යෙදුවේ අපේ රටේ හිටපු ආණ්ඩුකාරවරුන්ගේ නම්. එහිදී ඔවුන් එම ආණ්ඩුකාරවරුන්ට කරන ගෞරවයක්, සිහිපත් කිරීමක් ලෙස ඒ නම් යොදනු ලැබ තිබුණා. ඒ අනුව ෆෙඞ්රික් නෝර්ත්, මැකලම්, එඞ්වඞ් බාන්ස්, හෙන්රි ග්‍රෙගරි යන නම් එන්ජින්වලට යොදලා තිබුණා. මේ වන විට විවිධාකාර නම් යෙදීම් පවා අපට අහන්නට දකින්නට ලැබෙනවා.

කඳු පල්ලම් බැසගෙන යන එන ගමන බොහෝ දුෂ්කරය. පසුකළ යුතු බාධක බොහොමයකි. ශක්තිමත්භාවයක් නොවේනම් සියල්ල බිඳවැටීමට වුවද හැකියාව ඇත. සියුමැලි සොඳුරු රිද්මයද කැටුව දුම්රිය කාන්තාවට සමාන වන්නේ එතැනින්ම යයි මට සිතේ.

”උඩරට මැණිකෙට පට කුඩ දෙක දෙක කෝච්චියක් එනවා”

උපුටා ගැනීම: ලංකාදීප 2014/02/04

Sunday, April 7, 2024

පාට පාට සරුවත්

 


හිරු දවනවා.
කඩ වීදිය පුරා
ලබයි ලාබයි කියනවා.
අතේ ගුලිකරගත් නෝට්ටුව
හිස් උරමලු අරගෙන
සාප්පුවෙන් සාප්පුවට දුවනවා.
හෙම්බත්ව දුවනා
මිනිසුන්ට
පාට රසකර සරුවත්
හැදෙනවා
කඩවීදියේ තැන තැන.
දවන හිරු යට
සීතකර සරුවත්
කාසි දී අරගෙන
උන්ම බොනවා.


Wednesday, April 3, 2024

බල්ටිමෝ - දෛවයේ සරදමක්


කඩා වැටෙමින්
පාලම බල්ටිමෝ
හෙළි කලේ
කුණු නැවක්,
මොන කුණු රජෙක්,
දෛවයේ සරදමක්
උන්ගේම
පිලිකන්නේ
විස කුණු ගොඩක්

Wednesday, March 27, 2024

ධීවර බිරිඳ

සැර මූදු රළ
හැපී දියකඩනයේ
දෙබෑවේ,
දියඹේ
ඔරුකදේ පහන් සිල
සොයන
නුඹේ හද...

Friday, March 22, 2024

ජීවිතය ජීවත්කරන ජීවය - ජලය


මෙලොව අර්බුදයකට හැරෙන
ජීවිතය ජීවත් කරන්න ගිවිස
ඔබව රකින මූලික දෙයක්,
එපා, එපා නොසලකා හරින්න මා...
දනිමි මා ඔබ කවුරුන්ද,
එපා හිත් වේදනා ඇති කරගන්න
ඔබේ කතාව මා නොදන්න
මමය ඔබේ මතකය
නැතිවුනොත් මා, නිසැකව ඔබද 
එපා යන්න ඈතට, වෙන්න මට අවංකව
රැකගන්න හොඳට, පරිස්සමෙන්
සෙනෙහසින්, මා නිමල
මා ඔබය, ඔබ මාය
එන්න, එන්න මා වෙත
මා වෙමි ජලය, නිදහසේ උපන්
සුරකිනු මැන,
නැත්නම්
මා ඈත, ඈතක පලායන...

සටහන:
අද මාර්තු 22, දිනට යෙදෙන ලෝක ජල දිනය (World Water Day) වෙනුවෙන්. මෙවසරේ තේමාව “Leveraging Water for Peace” - ලෝක සාමය උදෙසා ජලය යන්නයි.
මුල් ඉංග්‍රීසි නිර්මාණය Isha Foundation විසින් පලකරන ලද්දකි.

Tuesday, March 19, 2024

පොඩි මිනිහගේ මලගම | At The Burial Of The Common Man

පෙරහැරේ වාහන දෙකක් පමණි
කවුරුවත් දකින්නැතුව ඇති
සලිත, කම්පිත, වේගයෙන් හද ගැස්සෙන
මා බිය වූයෙමි.
පිරිමියෙකු නේද?
හිතට හයිය ගත්තෙමි.

බෝහෝ වැදගත් යමක් සිදුවිය
මේ දැන්, මෙලොව
මිමිනුවෙමි ජාතික ගීය.
තව දරාගත නොහැක මහදට.
පෙරහැර දෙස බැලුවෙමි.
මැඩගෙන, දිව ගොස් එක් වුයෙමි
මිනීවල වටේ උන් කීප දෙනා අතරට.
දිරිය ගතිමි, මිදුනෙමි නොරිස්සුමෙන්.
මලගිය ඇත්තෝ,
ඒ නාඳුනන මිනිසා කවුරු වුනත්,
මට අරගලයට පණ දුන් ජීවියෙකි.
එනමුත් දැන් ඔහු තනිවුන,
මුනිවත ඔහුගේ එකම ජය.
වැලපෙන්නෙමි
තම එකම එක සෙන්පතියාගේ සොහොන අසල
සෙබලෙකු විලස.

At The Burial Of The Common Man
For Raúl Luis
When a funeral procession passes by followed by only two cars  and no one notices, I tremble, I shake, I palpitate, I'm afraid to be a man. But I get over it.
Something very important has just happened in the world and I begin to hum the National Anthem. By now my heart can’t take it. I had followed the procession with my eyes. Suddenly I break into a run, I stand next to the others around the grave, I gather my courage and drop in a handful of dirt. That dead man is for me the triumph of the species, that anonymous dead man who was, despite it all, the spirit of the battle. But now the dead man is alone, silence his only victory. And I weep like a soldier before the tomb of my only general.

කියුබානු ජාතික Rafael Alcides (1933-2018) කවියාගේ At The Burial Of The Common Man (For Raúl Luis) කවියේ පරිවර්තනයකි.

Saturday, March 16, 2024

බොක්ක

මහ මුහුද භූමිය තුලට නෙරීමෙන් ඇති වූ පෙදෙස බොක්කය. ඉන්දීය සයුරේ පිහිටි ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් සුවිසල් බෙංගාල බොක්ක වගේම වයඹින් මන්නාරම් බොක්ක යන බොකු දෙකය. බෙංගාල බොක්කේ තත්වය අපේ රටේ දේශගුණයට වගේම කාලගුණයටත් බලපෑම් කරන ප්‍රධාන සාධකයකි. බෙංගාල බොක්ක Bay of Bengal  වෙන අතර ලංකාවේ දේශපාලන කලාව විටින් විට මතුකරන, රැල්ල යටම නිදියන ඛණිජ නිධි ඇතැයි කියන්නේ Bay of Mannar බොක්කේය.  

ප්‍රමාණයෙන් ලොකු කුඩාව මුහුදුකරයේ පිහිටි බොක්ක ධීවර කර්මාන්තයට පිටුවහලකි. දකුණේ වැලිගම බොක්ක ප්‍රමාණයෙන් ලොකු, නවතා තබන ධීවර යාත්‍රා වලින් අලංකාර දසුනක් මවන තැනකි.

පසෙකින් රූමස්සල කඳුවැටිය ද අනික් පැත්තෙන් පෞරාණික ගාලු කොටුව ද අතරින් එබී බලන ඉන්දියන් සයුර හදන බොක්ක ලොව සොබාවික වරායන් වලින් එකක් උරුම කර දෙමින් ගාල්ලට ගෙන දෙන්නේ සුන්දර දසුනකි. ගාලු වරාය වගේම ලොව Yacht/යොච් යාත්‍රාකරුවන් අතර ගාල්ල සුප්‍රසිද්ධ බොක්කකි, වසරේ නොයෙක් කාලවල විවිධ පාට හා මෝස්තර වල යොච් යාත්‍රා වලින් ගාල්ල ලස්සනවේ.

සම්ප්‍රාදායීක ලාංකික නිවසක මුලුතැන්ගෙයහි මූලික අංගයක් වූයේ විවිධාකාර ලිප් වලින් සැදුම්ලත් ලිප් බොක්කය. කාලයාගේ ඇවෑමයෙන් නවීකරණය වුව ද ශබ්දනඟා කියැවුනේ නැතත්, විවිධ නම් වලින් බෞතීස්ම වුනාට කවදත් නිවසෙක වැදගත්ම බොක්ක එයය.

එතැනින් පිලියෙල වෙන ආහාර රසකර අනුබව කර පසුව ගිහින් තැන්පත් වෙන තැන ආහාර බොක්ක ආමාශයයි. පමණට වඩා බුදින ආහාර නිසා කෑම බොක්කේ ඇතිවෙන කැලතිල්ල, අසීරුතවය නැත්නම් 'ගෑස්ටික්' ඇතිකරන පීඩාව අච්චර නම් ඒසා විසාල බෙංගාල බොක්කේ කැලඹිල්ල කොච්චර නම් වෙත් ද?

අහුලා කන කුකුලාගේ මෙන්ම හැමදේම අනුබව කරන කැරපොත්තාගේ ආහාර ජීරණය පද්ධතියේ ග්‍රයින්ඩරය ගොජුර (gizzard) ද තවත් බොක්කකි.

ඒ බොකු මේ බොකු මොනවා වුනත් සිංහල බස්වහරට මෑත අතීතයේ එක් වූ බොක්ක ලොකු කුඩා කා අතරත් ජනප්‍රිය කුළුපඟ, සුමිතුරු, සමීප, ෆිට් මිතුරෙකි. එනමුත් ජනවහරේ කියවෙන්නේ 'එකට කෑවත් බොක්ක වෙනස් ' කියාය.


ඒ හැර ඔබ දන්න තවත් බොක්ක ඇත්නම් Comment කරන්න.


Friday, March 15, 2024

නවසඳත් රත්වෙලා

 



වෙනදා
සිසිලසින් දිලුන
නවසඳත්
රත්වෙලා ද
උහුලා ගනු බැරිව
රස්නය...

නුබ
නැහැ ලස්සන
සඳේ
නුඹේ
රතු මුහුණට...

Monday, March 11, 2024

අතරමං

ඉඟ සුඟ නලවා
පුරුදු සද්දයම දා
ඇයි විග විගහට දාලා ගියේ
මා
සමුද්දරේ...




@5:06 am ඉස්ටේසමේ

Thursday, March 7, 2024

හීන මල්

රැයේ මියැදෙන
උදයේ පීදෙන
රුපියල් හතලිහක
පාට පාට
කෝටි ගනන්
හීන මල්...

Saturday, March 2, 2024

මිටි හිස්

 


කෙත්වතු පුරන්වෙලා,
කම්මල වල් වැදි ඇත.
හුරුවෙයල්ලා
අලුත් කලාව;
තලන්නැතිව
දෙසන්න...


සටහන:
මෙය ඡායාරූපයට ලියපු පදපෙලකි, පාවිච්චි කරලා ඉවතලෑ මිටි හිස් කිහිපයකින් කර ලස්සන නිර්මාණයක පිංතූරය නෙත ගැටුන වෙලාවේ ඇති වෙච්ච සංකල්පය.

මිටි හිස ඉංග්රීසියෙන් hammerhead, එදිනෙදා බාවිතා කරන මිටියේ යකඩ හිස කොටස. ඒ වගේම ඉංග්රිසි කටවහරේ දී කෙනෙකුගේ බුද්ධිමත් බව අඩුබව දැක්වීමට යෙදෙන පදයකි.

Thursday, February 29, 2024

Impossible... Imperfect... ද? පොඩි විරාමයක් දෙන්න

 

අපි කවුරුත් කැමැතියි ජීවිතයේ දිනන්න, පැසසුම් ලබන්න, සුන්දරත්වය, අලංකාරය, සුවඳ විඳින්න... ඒත් අපි කාගෙත් ජීවිතයේ යම් යම් අඳුරු අවස්ථාවන් තියෙනවා. පමණක් වෙලාවට එක පිට එක අසාර්ථකවීම්, පාඩු ලැබීම්, අසනීප, අසතුට වගේ දේවල් වගේම මෙයයි හරියටම කියන්න බැරි කනස්සල්ල හිත වෙලා ගන්නවා. එවන් තත්වයක දී අනන්තව හිතෙන්න ඇති බැහැ කරන්න බැහැ මේක Impossible. ඒක එහෙම වුනේ මගේ අඩුපාඩුවක්, වරදක් එහෙමත් නැත්නම් Imperfect නිසා කියලා.

මිනිසුන් වූ අපි ඉක්මනින් හිතෙන් වැටෙනවා. ඒ හැම කඩා වැටීමකම අපිව ඔසවන්න පුලුවන් පණිවුඩයක්, ආශීර්වාදයක්, සුබ පැතුමක් ඒ හැඟීමක (සෘණාත්මක හැඟීමෙ) තියෙනවා කිව්වොත් ඔබ පිලිගන්නවා ද?

Impossible - වෙන නම් බැහැ, නොහැකියි කියලා අතෑරලා දාන්න හිතෙන හැම වෙලාවෙම හිතන්න හඬගා කියන්න, ඔබේ සිතට දැනෙන්න කියන්න I'm Possible -- මට පුලුවනි කියන මන්තරේ. අනිවාර්යයෙන්ම, ඔබට දැනේවි වෙනස... ඔව් ඔබට පුලුවනි. ඔව් ඔබේ හිත පිලිගනීවි ඔබට පුලුවන් කියන එක, එහිත ඔබව ඔසවනවා සත්තයි.

උදේ පාන්දර කැඩපතක් ඉදිරියේ හිටගන්න ඔබ කීවරක් නම් දකින්න උත්සාහ කර ඇද්ද ඔබේම අඩුපාඩුවක් දකින්න? එයාට වගේ මට ලස්සනට ලියන්න බැහැ, මහන්න බැහැ, කොච්චර උත්සාහ කරත් රසට උයන්න බැහැ, මොනතරම් වියදම් කරත් හැඩට අඳින්න බැහැ... කෙලෝරක් නැති අඩුපාඩු ගැන. ඕනැම දෙදෙනෙකු ගතහොත් ඔවුන් දෙදෙනා අතර තිතට තිත කොපි කැට් සමානකම් වලට වඩා අනේක වෙනස්කම් තියෙන්න පුලුවන් සම්බාවිතාව වැඩියි කියලා ඔබ පිලිගන්නවා ද? වෙනසකට පුරුදු වෙන්න Imperfect කියන්නේ I'm Perfect කියලා හිතන්න. අර same කැඩපතම ඔබට ඔබේ ලස්සන මතුකර පෙන්නාවි. ඔබ දැකපු අඩුපාඩු බොහෝමයක් එසේ නොවන බව ඔබේ හිතට ඒත්තු ගැනෙන්න පටන් ගනීවි.

Impossible -> I'm Possible වෙන්නෙ Imperfect -> I'm Perfect වෙන්නෙ පුංචිම පුංචි මැජික් විරාම ලකුණකින් (පුංචි ඉඩක්/හිදැසක් අරගෙන) එය ඉංග්‍රීසියෙන් apostrophe කිව්වට සිංහල බසින් ආමන්ත්‍රණය/ඇමතීම ලකුණ කියනවා වගේම ලොප් ලකුණ හැටියට හඳුන්වන්නේ. ඔබේ හිතට එන, ඔබේ ශක්තිය ඉහිරවන, drain කරන සෘණාත්මක අදහස් දෙකට ද පොඩි විරාමයක් දීලා බලන්න. එහෙනම් අපි නොහැකිය, බැරිය, ඇදකුද අඩුපාඩුකම් කියන ඒවා හිතෙන් ලොප් කර අමතමු හිතට සුබවාදීම, ධනාත්මකව, change කරමු positiveව. එසිත ඔබව ඔසවාවි, පිම්මේ...

2024/02/29 for the leap year, on පිම්මේ

Tuesday, February 27, 2024

නටුවෙ කටු | Thorns

 

සුරකින්නට මිස
රිදවන්නට නොව
නටුවෙ කටු,
පරිස්සමින්
ඇදී ඉහළට
පිපීයන්
මොට්ටුවේ
ලස්සනට...

Monday, February 26, 2024

හුයන්නනී

හුයන්නනී
හැන්ද අතැති
ඇතිවෙන්න බෙදාගෙන කාපල්ලා
ඈඳිගෙන
කුස්සියේම
මහ බංකුවේ...


ps:
හුයනවා = උයනවා, අරක්කැමියා, කෑම හදන cook
හුයන්නනී = cooks
හෝටලේ මුදලාලි කවදත් හොඳින් සලකන්නේ කුක්ලාට

Thursday, February 15, 2024

රෝස පොහොට්ටු

 


හෙට
පිපෙන්නට නියමිත
රෝස පොහොට්ටු
බොහෝමයක්
නටුවෙන් මිදෙන්නැති
ඊයේ...

Saturday, January 13, 2024

නිදහස් කරමි | Freeing (ශනිදා දහයට!)

 



කුමට හිරකරම් ද
තාල තනු රිද්ම
කූඩුවේ...
නිදහස් කරමි
ඇඟිලි තුඩින්
පද පේලියේ,
මුමුනන්න
ඔබේ මුවින්
සිත් සේ
එක් කර
සිතැඟි තාලයේ...

Saturday, January 6, 2024

හුදෙකලාව | Loneliness is a Lie (ශනිදා දහයට!)

 


තනි යහනේ මා පාළුවේ නම්, මා කවුළුව වෙත පියමනිනවා ඇති, නිතැතින්ම අහස, ඈත රෑ අහස කරා මා නෙතු ඇදේවි, සත්තයි හුදෙකලාව මුසාවක්! මේ විශ්වයේ තනි නොතනියට මෙතරම් පිරී තියෙද්දි...

And if I'm alone in bed, I will go to the window, look up at the sky, and feel certain that loneliness is a lie, because the Universe is there to keep me company. — Paulo Coelho


පරිවර්තනය: එම්. ඩීන්, ගල්මල්-Coral