Thursday, July 28, 2011

නූතන වහලා ද නුඹ


කළු ගලින් ගල
කරමතින් ඇද ඔසවන්නැති
කළු ගලේ හැඩි
සුදු කිරිගරුඬ තහඩු වහන්නැති
කළු සිතින් හැඩ
සුසිනිඳු රටා මවන්නැති
කළු අතින් තව
සිහිවටන තැනෙයි හිතෙන්නැති
සුදු තාජ් මහල
සෙවණේ නුඹ අත සිඳින්නැති


කළු රටින් ගාල්කර
රුවල් නැවින් දුර ගෙනෙන්නැති
කළු දුමින් මුවාකර
එවැසි එවුන් පලවාහරින් කියන්නැති
කළු රළු ගෝරයින්
පුරවා ගැඹුරු අගලත් කපන්නැති
කළු ගලින් වටකර
රළත් ජයගෙන උසට බඳින්නැති
සුදු ඕලන්ද කොටුව
සෙමෙන් නුඹ පිටමං කරන්නැති


නිවහල් ලොව අද
ගාල් කරනු මොට ද ඇදවා ගනිතෑකි
නිදහස් ලොව අද
යදම් මොට ද බැඳ තබා ගතෑකි
අවිහිංසා ලොව අද
කස මොට ද හිරකර පෙලතෑකි
කාසිදිලෙන ලොව අද
නුඹ මොටද කහවණු ගෙනතෑකි
දියුණුයි ලොව අද
රුවල් මොට ද පිටමං කලතෑකි

සටහන:
අද ලෝකයේ රැකියා සඳහා සංක්‍රමණය අමුතු දෙයක් නොවෙන විදියට නූතන සමාජ ආර්ථික ක්‍රමය සැකසී ඇත. ඒ සඳහා මිනිස් ශ්‍රමය සැපයුමට ද වක්‍රව හෝ සෘජුව ක්‍රම යෙදී ඇත. අපේ රටටද එහි විශේෂත්වයක් නැත. විදේශ රැකියා සඳහා සංක්‍රමණය ගැන පතොක් යායේ පලකල ලිපියෙන් වැඩි විස්තර කියවන්න පුලුවනි.

මේ වන විට විදේශ රැකියාවල නිරත ලාංකිකයින්ගේ සංඛ්‍යාව මිලියන 1.5 කට අධිකය. ඉන් බහුතරයක් මැදපෙරදිග දේශවල රැකියාවේ නියුතු අය වෙති. මෑත කාලයේ මෙකලාපයේ ඇති වී ඇත්තාවූ නොසන්සුන්තාවයන් නිසා විදේශිකයිනට සපයන රැකියා සීමාකරන තත්වයක් උදාවෙන්න බොහෝ ඉඩ ඇත.

එදා කළු අප්‍රිකාණුවන් බුරුතු පිටින් අල්ලා ගාල්කර වහලුන් හැටියට රුවල් නැව් වලින් පිටමං කර බටහිර අප්‍රිකාවේ සුදු-මැදුර හා සම්බන්ඳ කුප්‍රකට වරාය ගැන ලිපියක් මෙතැනින්.

24 comments:

  1. දැන් ඕකට කියන්නෙ විදේශ විනිමය කියල නේද?....

    ReplyDelete
  2. @රතු මුහුද:
    හ්ම්... එකත් එහෙමයි නොවැ. බොහෝම ස්තුතියි ඇවිත් සටහනක් කර ගියාට.

    රතු මුහුද මගේ ජීවිතයට ගොඩාක් සමීපයි. ඒ පැත්තෙන් එන මුහුදු හුලඟ, සුවඳ, ඉරබැස්ම තවමත් හිතේ රැඳී ඇත. නැවතත් මතක් කරාට පිං.

    ReplyDelete
  3. අපිට මෙහෙම කට්ට නම් ඒ කාලෙ අයට ඉතින් කුමන කතාද? නියම කවිය ඩීන් අයිය.

    ReplyDelete
  4. @කස්සා:
    ඇත්ත එදා වෙනස්, අද කාළයේ ටෙලිෆෝන් පහසුකම් වගේම නොයෙකුත් අදහස් හුවමාරු කරගත හැකි ක්‍රම තියෙනවා, යන්න එන්න පුලුවන් ප්‍රවාහණ ක්‍රම තියෙනවා.

    එදා වගේම අදත් කාරිය ඉටුකරගත්තාට පසුව එළවන එක පොදුයි.

    ඒත් වෙනස ගිය පුද්ගලයින් මොනවා හරි කරලා සල්ලි එවනවා - රටට විදේශ විනිමය; කිසිම පැත්තකින් ඔවුන් ගැන තඹයක සැලකිල්ලක් නෑ.

    බොහෝම ස්තුතියි මල්ලී ඇවිත් සටහනක් එකතු කළ එකට (දැන් සනීප වෙලා ඇතැයි හිතනවා).

    ReplyDelete
  5. @රත්ගමයා:
    ඒ පැත්තට ගිහින් හිනාවෙලා ආවා.
    ඇවිත් අකුරු දෙකක් කොටලා ගිය එක ගැන ස්තූතියි. ඒ වචනය ගොඩාක් වටී. දෙවන පද කාණ්ඩයෙන් ගාලු කොටුව ගැන කියවෙන්නේ.

    ReplyDelete
  6. එදා බලහත්කාරයෙන් කරගත් වහල් සේවයට, අද ස්වකැමැත්තෙන්ම එක් වෙන වටාපිටාවක් නිර්මාණය වෙලා. දිග පළල හරියටම නොදැන වුණත්, දැන දැන වුණත්, ඒ ගමන නොයා බැරි තැනට මිනිසුන් පත් වෙලා.
    නමුත් වහල් සේවයේ වෙනසක් ඇත්ද?
    අදිසි යදමින් බැඳගෙන, කරවා ගත යුතු සියල්ල උපරිමයෙන් කරවාගෙන, අනතුරුව අත් සිඳීම...

    ReplyDelete
  7. දකින දකින නිර්මාණවල ගැඹුර වැඩි හින්දා,
    කොමන්ටුවක් තියලා යන්න තරම් වචන නැති හින්දා,
    "wow" හෝ "බව්" නොකියා යමි. එනමුත්

    "අපේ වහල්කම" ගැන මතක් කරවපු මේ නිර්මාණය බලලා සද්ද නැතුව යන්න හිතුනේ නෑ.
    ඩීන් අයියා, අපූරුයි නිර්මාණය!

    ReplyDelete
  8. හිතට හොඳටම වැදුනා . ලෝක ඉතිහාසයක් වගේ ඔබේ කවිය .

    නලිනි කියන්න වගේ එදා බලෙන් . අද කැමැත්තෙන් ..සමහර විට අදත් බලෙන් නැත්නම් රැවටීමෙන් මේවා කෙරෙනවා . ඇයි අර ''ආරියවතී'' කියන මව නෙක දුක් විඳලා ආවහම දොස්තර කෙනෙක් කිව්වා නේද එයාම එන ගහගෙන කියල . ඒ කතාවට මොකදවුනේ . මම වැඩිය ලංකාවේ පත්තර නොබලන නිසා අහන්නේ . ඒ මවට යුක්තියක් ඉටුවුනාද . නැත්නම් සෝඩා බෝතලේ රැස් ඉවරද .

    ReplyDelete
  9. @නලිනි චන්දිමා:
    ආදි කාලයේ ගෝත්‍ර අතර යුද්ද වලින් පරාජය වූ අය, සිරකරුවන් හෝ තැරැව්කරුවන් විසින් මුලාකල අය බටහිර සමාගම් වලට වහලුන් ලෙස විකුණා ඇත. නූතන ලෝකයේ අනේක ප්‍රඥාප්ති වලින් වහල් සේවය නතර කර ඇත - නීතියෙන්. ඒ නීති සැකසූ ජගත් සංවිධාන හා සම්බන්ධ ආයතන විසින් ක්‍රමාණුකූලව හා බලෙන් පැටවූ ප්‍රතිපත්ති හා කොන්දේසි නිසා ඇති වෙන සමාජ ආර්ථික අවපාතය බුද්ධිය හා ශ්‍රමය නූතන වහල්කමට අඛණ්ඩව සැපයෙන තැන හදන්නේ වැකුම් ක්ලීනරයක් හසු කරගන්න සැහැල්ලු දෙයක් වගේ.

    බොහෝම ස්තුතියි නංගී වැඩ රාජකාරි අතර ඇවිත් සටහනක් එක් කරාට.

    ReplyDelete
  10. @හිතමිතුරු:
    ඇවිත් පදපෙලක් රසවිඳීමත් සතුටකි.

    මේ නිර්මාණය Amazing Spring හි ඉංග්‍රීසියෙන් කරන්න හිටි එකක් වුනත් පවතින වාතාවරණයන් ගැන සිතා ගල්මල් අඩවියට සීමා කරා. නිර්මාණය මෙලෙස නම් කලෙ අද විදේශ (විශේෂයෙන් මැදපෙරදිග) සේවයේ නියුතු අයගේ තත්වය මතුකර පෙන්වීම, ඒත් මාතෘකාව සමඟ මාත් ලොකු සටනක යෙදුනා.

    එකම බෝට්ටුවේ නිසා දියරැලි, වාසුලි අඩු-වැඩියෙන් දැනෙනවා එකසේම.

    බොහෝම ස්තුතියි ඇවිත් සටහනක් ද එක් කරාට.

    ReplyDelete
  11. @Bindi:
    මකරන්ද (පොත් ගුල) පැත්තේ ගියාම දැක්කා බින්දි නිවඩුව ඉවරවෙලා ඇවිත් ඇති බව, සන්තෝසයි. ඇවිත් ඇගයීමක්, සටහනක් එක් කිරීම ගැන බොහෝම ස්තුතියි.

    එදා වගේ බලෙන්ම නොවුනත් ස්වකැමැත්තෙන් ඇදගන්න පුලුවන් අවස්ථාව සැකසිලා තියෙන්නේ.

    ආරියවතී මහත්මියගේ ප්‍රශ්ණය සෝඩා බෝතලයක්ම වුනා කියන එක හරි. මැතිවරුත් ගමන් ගියා. ඉන් පසුව මේ මෑතක දී ද (ජොර්දානයේ වගේ මතක) ඒ හා සමාන ඇණ සිද්ධියක් වාර්තා වුනා.

    පසුගිය කාලයේ සිදුවීමක් නිසා ඉන්දුනීසියාව එරටින් ගෘහසේවිකාවන් සවුදි අරාබියට යැවීම නතර කරා. දෙදිනකට පෙර පලවූ පුවතකට අනුව මේ රමසාන් කාලයේ සවුදි ගෘහණියන් ඉතා උග්‍ර සේවක හිඟයකට පත්වෙලා ලු. සාමාන්‍ය මාසික වැටුප සවුදි රියාල් 800 සිට 2500 දක්වා වැඩි වෙලා බව වාර්තා වුනා. එකෙත් වාසිය එජන්සිකාරයින්ට වෙන්න ඕනේ.

    ReplyDelete
  12. ඩීන් අයියා...රාමදාන් කරීම්...

    පෝස්ට් එක දාපු දවසෙමයි කියෙව්වෙ.. තාම මොකුත් ලියන්න බැරිවුනා...හරියට අපි ගැනම ලියපු පද පෙලක් වගේ... අන්තිම කවියනම් අපිටමයි... අපි කැමැත්තෙන්ම යදමින් බැඳිල කැමැත්තෙන්ම වහල් සේවයට ඇවිත් නේද කියල හිතෙන වෙලාවල් අනන්තයි...

    ReplyDelete
  13. @සපතේරු උන්නැහේ:
    බොහෝම ස්තුතියි රමදාන් සුබ පැතුමට.

    කතාවේ මූලාශ්‍රය ඔබ, මා හා ඒ තත්වයේ ඉන්න අයට ගොඩාක් දැනෙනවා නම් තමයි. අපිම අපිව වරෙක විත්ති කූඩුවටත් තවත් වරෙක චූදිත කූඩුවට නංවා ගන්නා අවස්තා එමටයි හේතුවට තල්ලු වූ හා තල්ලු කල වාතාවරණය මොනවා වුනත්. තවත් විදියකින් අරකී තත්වයට මුහුණ දෙන්න හැකියාව ලැබුණා නේද කියලා හිතෙන විට දැනෙන ශක්තිය? එයම නේද ඉස්සරහට ගෙනියන්නේ.

    වැඩ කරන්න නියමිත කාල සීමාවේ අඩුවීම ලැබෙන්න ඇතැයි සිතමි.

    පමා වුනාට කාරි නැහැ, බොහෝම ස්තුතියි සටහනක් එක් කරාට.

    ReplyDelete
  14. අපොයි අමතක වුනානේ... සුබ පැතුම් අය්යා ඔයාටත් මුළු පවුලටමත්

    ReplyDelete
  15. @Bindi:
    බොහෝම ස්තුතියි ඔබේ සුබ පැතුමට. ගෙදර ඇත්තන්ටත් බින්තියන් (බින්ති = අරාබියෙන් දුව) දෙදෙනාටත් ඔබේ සුබ පැතුම පිරිනැමුවා.

    ReplyDelete
  16. නිර්මාණයේ පසුබිම ගැන:
    ඉන්දියාවේ පිහිටි තාජ් මහල ගැන අමුතුවෙන් ලියන්න උවමනාවක් නැහැ. තාජ් මහල ගොඩනැගීමට ලොව නන්දෙසින් මිනිස් බලකායත් ගොඩනැගිලි ද්‍රව්‍යත් ගෙනා බව ප්‍රකට කරුණකි. ඔවුන්ගේ ශ්‍රමයෙන් ගොඩනැගී, කලා හැකියාවන් ගෙන් අලංකාර වූ කිරිගරුඬ වලින් ඔප් නැංවූ තාජ් මහල ස්මාරකයක් සේ දිලෙන විට මුගල් අධිරාජ්‍යයේ සාජාන්වරු උද්දාමයට පත් වෙන්න ඇති, ආඩම්බර වෙන්න ඇති. එවන් තවත් මහලක් ඉදිවීම වැළැක්වීමට ඇති මගක් හැටියට අලංකාර තාජ් මහල ගොඩනගන්න දහඩිය හෙළු, කලාවන් ගෙන් සැරසූ පිරිසගේ අත් සාජාන්වරුන් විසින් කපා දැමූ බව පතපොත සඳහන් කරයි.

    ක්‍රි.ව. 1640 දී පෘතුගීසීන් පලවාහරිමින් ගාලු වරායෙන් ඕලන්දයින් ලංකාවට ඇතුළත් වී ඇත. ක්‍රි.ව්. 1663 දී දැනට පවතින ගාලු කොටුව ගොඩනගා ඇත. ඒ සඳහා කළු අප්‍රිකානු වහලුන් ගෙන්වා ගෙන ඇත.

    කොටුව ගොඩනැගීමට පෙර එම ප්‍රදේශයේ පදිංචිවී සිටි වැසියන් පලවා හැරිය බවත්, ඒ අණට අවනත නොවූ අය අනේක හිංසාවලට මුහුණ පෑ බවත් කියවේ. කලාපයේ ඕලන්ද යුද කෙන්ද්‍රයේ ආරක්ෂාවට වගේම ගොඩබිම දෙසින් ඇතිවිය හැකි බලපෑම් අඩු කිරීමට කොටුව ඉදිරියෙන් අගල් කපා එහි කිඹුල්ලු වැනි සතුන් ඇතිකර තිබූ බවත් කියවේ.

    ගාලු කොටුව හැඩ ගෙන ඕලන්ද කොටුව නමින් ප්‍රසිද්ධ වෙද්දී දහඩිය හෙළු (ඉතිරි වූ) කළු වහලු තවත පාර්ශවයකට විකුණා කාසි කරන්න ඇති, රුවල් නැවක පටවා පිටමං කරන්න ඇති.

    (1969 දී පැවැති නිදහස් අධ්‍යාපන සංවත්සර සැමරුම් ප්‍රදර්ශනයක් සඳහා අඳින ලද පැරැණි ගාලු කොටුවේ සිතුවමක් අප පාසැලේ සෑහෙන පළලක් ඇති පන්ති කාමරයක බිත්තිය පුරා විය, දැනටත් ඒ සිතුවම හිතේ ගොඩනගා ගැනීම අසීරු නැත).

    නවීන ලෝකයේ නෙයෙකුත් ප්‍රඥාප්ති මගින් වහල් වෙළෙදාම අතුගා දමා ඇත. එහෙත් ලෝක සමාජ හා ආර්ථික ව්‍යූහය විසින් පැත්තක ඇති කර ඇත්තා වූ අවස්ථා ද ඒ අතරම තවත් පැත්තක ක්‍රමයෙන් නැතිවී යන අවස්ථා ද යන කරුණ අතර ප්‍රවාහනය වෙන මිනිසාගේ අවශ්‍යතාවයන් රැකියා සඳහා සංක්‍රමණය කිරීමට මඟ පාදයි. ලංකාවේ ප්‍රචලිත මැදපෙරදිග රැකියා මේ ගණයට වැටෙන අතර අද ලොව පුර භූගෝලීය, ආර්ථික හා සමාජීය සීමාවන් අභිබවා රැකියා සඳහා සංක්‍රමණය සිදුවේ.

    රැකියා සඳහා සංක්‍රමණය කිරීම සාමාන්‍යයෙන් ස්වකැමැත්තෙන් සිදුවන්නෙකි. විදේශ රැකියාවන්හි නියුතු ලාංකිකයින්ගෙන් නිතිපතා සැපයෙන විදේශ විනිමය රටේ ආර්ථිකයට සැලකිය යුතු දායකත්වයක් කරයි. එහෙත් ඔවුන්ගේ සුබසාධනය, දියුණුව, අනාගතය ඔවුන් අයත් රටට මෙන්ම ඔවුන්ගේ ශ්‍රමය ලබන්නා වූ රටටත් කිසිම සැලකිල්ලකට බඳුන් වෙන්නෙ නැත. ශ්‍රමය ලබන්නා වූ රටින් එය බලාපොරොත්තු වෙන්නත් බැරිය. ඒ ශ්‍රමිකයින් පත් වී හා පත් කර ඇති තත්වය නිසා ඔවුනට තත්වයෙන් මිදෙන්න ඇති ඉඩ ප්‍රස්තාව ද අල්පය.

    අනේක පැති වලින් ග්‍රහණයට හසු වූ සංක්‍රමණික ශ්‍රමිකයා ගෙනහැර දැක්වීම ඉලක්කය වූ මේ නිර්මාණය එතරම් කැමැත්තක් නැතිව වුවද නූතන වහලා ලෙස නම් කරන්න සිදු විය.

    එදා වහලුන්ගේ දහඩිය ශ්‍රමය යටකර තැනුන තාජ් මහල වගේම ඕලන්ද කොටුවද යුනෙස්කෝ මගින් නම් කල සංස්කෘතික උරුමයන් වේ. ඒත් නුඹට...

    ReplyDelete
  17. මගේ සහෝදරයාටත් සහෝදරියටත් පුංචි පැංචියන් දෙන්නාටත් සාමකාමී උපවාස මාසයක් වේවා..

    සුලා..

    ReplyDelete
  18. @සුලා:
    බොහෝම ස්තුතියි සුලා, ඔය ලෙන්ගතු පැතුම් අපිට බොහෝම වටිනවා මලේ.

    වැඩකටයුතු කරගෙන හොඳින් ඉන්නවා නේද? ඉඩක් ලැබුනාම මෙල් එකක් දාන්න: galmal.coral@gmail.com

    ReplyDelete
  19. ගල්මල් අඩවියට එක්වූ yasasi හා Chandy VIC ඉතා සාදරයෙන් පිලිගන්නෙමු.

    ReplyDelete
  20. බොහොම වටිනා අදහසක්.
    රටට විදේශ විනිමය ගෙනෙන අයට අපේ රට සලකන හැටි ගැන නම් හරිම කණගාටුයි. විශේෂයෙන්ම මද පෙරදිග රැකියා කරන කාන්තාවන්ට. ඔවුන් දහසක් කරදර මැද රැකියාව කර ලංකාවට එනකොට ගුවන් තොටුපලේදී ලැබෙන්නේ හරිම අඩු සැලකිල්ලක්. යුරෝපයෙන් හරි ඔස්ට්‍රලියාවෙන් හරි එන මගීන්ට පහසුවෙන් යන්ද ඉඩදෙන ගමන්, මැද පෙරදිග ඉඳන් එන කාන්තාවන් අනවශ්‍ය විධිහට රදවාගෙන නොයෙක් වාසි ගන්න හදන (such as utilizing their duty free allowance)ගුවනතොටුප්ල නිලධාරීන් මම දැකල තියනවා. හරිම කණගාටුයි ඒගැන.

    ReplyDelete
  21. ප ලි . බොහොම ස්තුත්යි ඔබේ අඩවියට පිළිගැනීම ගැන

    ReplyDelete
  22. @Chandy VIC:
    බොහෝම ස්තුතියි ඔබේ සටහනට, අවාසනාවට ඒකයි ඇත්ත තත්වය.

    මැදපෙරදිග දේශයේ ජීවත් වෙමින් අහන දකින දේවල් මුල් කරගෙන කර නිර්මාණ ගනනාවක් ගල්මල් අඩවියේ හමුවේවි. ඉන් කිහිපයක්:
    කඟවේනිය නුඹ - http://galmal.blogspot.com/2010/06/blog-post_05.html
    ග්ලාස් ක්ලීනර් - http://galmal.blogspot.com/2010/07/blog-post_28.html
    ලොක්කයියේ - http://galmal.blogspot.com/2010/05/blog-post_07.html

    ReplyDelete
  23. එළකිරි නියමයි ,,,තව ලියමු ..

    ReplyDelete