Sunday, April 17, 2011

කොහා කෝ නුඹ


එරමුදු මල් නොපිපෙන කතරක
ලැඟුම් ගන්නට ගසක් නැතිවද
කොහෝ නද නුදුන්නේ…
කැවුම් කොකිස් මුං අතිරහ
සුවඳ අල්ලන නහය දික්කර
රබන් සුරල් රැව්දෙන දෙසවන
යොමා නෙතු ඈත වැලි මිටියාවත…
සුසුම්ලනු එපා නුඹ
මතුවුනොත් වැලි කුණාටුව
ගිල ගනීවි හිස් කතර
ඇලී දූවිලි තෙත නෙතේ…
තුන්සියක් හැටපස් දිනේ
බත බෙදන ලිප
නිමන්නේ කෝමද…
සුසුමින් රත්කර උතුරවන්
ලබන තුරු අලුත් අවුරුදු දිනක්

 
තම පවුලේ අයගේ උවමනාවන් සකසා දෙමින් ගෙදරින් පිට ඈත දේශවල රැකියාවේ යෙදෙන්නන් බොහෝය. පවුලේ උදවිය එකට එකතුවෙන අලුත් අවුරුදු දවසක කඩාවැටෙන හිතක් අද්දර ඉඳ විමසන්න උත්සාහ කලේ වසර පුරා බත සකසන ඔවුනට කිරි ඉතිරෙන්නේ කවදාද?


ප.ලි:
හැම දුක් කන්දරාවක්ම යටපත් කරගෙන අනුන්ගේ හිත්වල සිනාරැලි මතුකරන්න වෙහෙසෙන අය බොහෝය. එවන් අයියා කෙනෙකුගේ කැපවීමෙන් උගත් මල්ලියෙක් තම වෘත්තීය ක්ෂේත්‍රයේ (මැදපෙරදිග) රැකියාවට පැමිණ උදාවූ පලමු අලුත් අවුරුදු දා දකින යථාර්ථය වටා ගෙතුන කතාවක් OneZeroZero හි පල කල ලොකු අයියේ අවුරුදු ජයද?