Tuesday, December 6, 2011

පාර කියාපන් රළ පෙළේ



සැඩ කිරණින් දවාලූ හිරු
නෑගම් යන දුර ඈතක
හිස් අහසේ රටා මවන රොද වලා
වසා කළු වලා සොවින් බරවෙලා

පියන් නැති උස කවුළුවෙන්
කොහෙන් දෝ එඹීබලන
හිරු කිරණ ඈත දියඹේ
රිදී පලසක් එලා දිලෙනවා

විඩාබර හිරු සැඟවෙන විට
සයුරු රළ රටා මවන
පාට අරන් කොටු පවුර
තුටින් සැඳෑ දසුන දකිනවා

පවුර පාමුල වරම් යදින නුඹ
පාට රැළි මත දුරට පදින්නේ
ඈත දියඹේ අරුණලු ගනින්නී
ඇගේ හිරු මූදු වැල්ලේ දකින්නී

ඈත ගොඩකරේ රඟන රළ පෙළේ
ඇදී ගිහින් මහසයුරේ දුර ඈතට
පාර කියාපන් අතර මං එවුනට
දිනකර උදාකරන් ඒ පුංචි ලොවට

නොවැම්බර් මාසයේ මැද වෙනවත් එක්කම හිරු රජු කෙමෙන් කෙමෙන් ඈතට යද්දි හිස් අහසේ මතුවෙන වලාකුළු තරඟයට වගේ ඒ මේ අත දුවමින් එක්වෙමින්ද වරෙක විසිරෙමින්ද පාවෙමින් රටා මවනවා. උණුසුම අඩු වෙද්දී වටාපිටාවේ පිරී තියෙන දුහුවිලි ද පොළොවට බැස තැන්පත් වෙන නිසාදෝ ඇස් මායිම තව තවත් ඈතට විහිදෙනවා. ඒත් මෙවර දෙසැම්බරය එඹී බලන්න ඔන්න මෙන්න තිබියදී ද කතරක සිසිරය ගෙනෙන සුන්දරත්වය වෙනුවට අහස ඝන කළු වලාකුළු වලින් පිරිලා... අමුතුම අඳුරක් පළාතම වෙලාගෙන විය.

බැලූ බැලූඅත දකින්න පුළුවන් ඉදිකිරීම් බිම්වල උස දොඹකර තරඟයට ඉහළ නගින ගොඩනැගිලි ගැන කියාපානවා වගේය. ඈතක ඉදිවෙන සුවිසල් පාලම බිම්කඩ දෙකක් යාකරන්නට කඩිමුඩියේ ඉහළට එසවෙනසේය. තැනින් තැන හිටවූ උස් මිටි ගස් වලින් සැකසුණ කොළපැහැ තීරු, කට්ටි දකින්නට පුළුවන් වුවද වෙනදා දිස් වූ ලස්සන නැතුවද? ඉන් ඔබ්බට වෙන්න පෙනෙන මුහුදු තීරය කිහිප පොලකින් ගොඩබිම ඇතුළතට නෙරා ඇවිත් මවන දියකඩිති ද පළාතම වසාගත් අඳුරේ...

මුහුදු ඉම පැහැදිලි නැතත් ඒ මේ අත යන මුහුදු යාත්‍රාවල ඡායාව දෑස් ඈතක බැඳ තබා ගනාවා කීවොත් නිවැරදියි. ඒත් අද ඒ මුහුදු ඉම ද හිස්වෙලා වගේය.

අඳුරු වලාකුළු ඉරාගෙන කොහෙන් දෝ ඇදී ආ සැඳෑ හිරුගේ මුදු කිරන මිටක් අඳුරේ ගිලුන කරදිය දියකඩිත්තේ තීරුවක් පාට කලේ ඝණ අඳුරේ තරම කියාපාන්න ද ඒ අඳුරේ දිලෙන රිදී රේඛාවක තරම ඒත්තුගන්වන්න ද නොදනිමි. ඒ කෙසේ වෙතත් ඇඳුරු අහස යට සැඳෑ අහසේ පාට අරගෙන දියකඩිත්තේ මූදු රැළි රටා මවනවා දිස්වේ…

බැසයන හිරු කිරණින් නැහැවෙන සගර ජලතලය, තාලයට ඉහළට එසවී බැසයන, තරඟයට ඉදිරියට ඇඳී අතරින් පතර ඇති ගල්කුලක හැප්පී පාට පාට පෙණ හැටියට සිඳී බිඳී යන අයුරු... ඈත අහසේ වළාරොඳ පාටින් දිලෙන අතර ජබොග් ගා වතුරට ඇද වැටෙනවා වාගේ සිතිජ ඉමෙන් නොපෙනී යන විඩාබර හිරු මවන ලස්සන සැඳෑ වෙලාවක ගාලු කොටුපවුරේ ඉඳන් දකින්න පුළුවන් සුන්දර දසුනක් හිතේ ඇඳේ... (කැමරා ඇස හසුකරගත් ඒ ලස්සන මේ මෑතකදී කියවන්න මගේ ඇස ඉදිරිපත් කර තිබුණා).

ඒ කොටුපවුරේම අනික් පැත්තේ පාමුල දවසේ රාජකාරියට තෙරක් නොපෙනෙන මුහුදේ ඈත යන්න සූදානම් වෙන ධීවරයින්ගෙන් පිරිලා තියෙනවා දකින්න පුළුවන්. බැස යන හිරු මැවූ සුන්දර දසුන් අතර මූදු රළ මත ඇදෙන ධීවර යාත්‍රා... රෑ අඳුරේ මුහුදේ ගෙවන ඔවුන්ගේ මාළු මඩියේ බර කිරන්න තරාදි බලා ඉන්නවා ඇති, මිල කරන්න කාසි ගැනෙනවා ඇති. ඒත් පෙරළා ගොඩට එන ඔවුන් දකින්න පෙරුම් පුරන සිත ඈත සිතිජයෙන් මතුවෙන පළමු අරුණැල්ලේ පටන් අරුණලු එකිනෙක ගනිනවා ඇති. හිරු සේවයට ඇවිත්, කුරුලු කිචිබිචිය  පැතිරුණ ද ධීවර බිරින්ඳෑට හිරු පායනවා ඇත්තේ ඔහු ගෙපැලට පා තැබුවාම.

පසුගියදාක ඇති වූ චණ්ඩ මාරුතය නිසා මුහුදු ගිය බොහෝ දෙනෙකු සැඟව ගිය දුක්මුසු පුවත හිතට කරදරයි. රැල්ලට නැගෙන, ගොඩකරේ (inland) රඟදෙන රළ පෙළේ... රුදුරු මහ රළ මැඩගෙන ඈත සාගරයට ඇදී ගොස් අතරමං වූ එවුනට පාර කියන්න පුලුවන් නම්...

පදපෙල විස්තර කරන ලෙස වූ ඉල්ලීම් නිසා සටහන පසුව එකතු කරා.


Image credit: http://farm4.static.flickr.com/3620/3482810329_c133eeb7af.jpg

29 comments:

  1. ලස්සන පද පෙළක්.

    ReplyDelete
  2. පිටින් ඉඳන් බලන අයට සුන් දරත්වය විතරක් පේන දේවල් වල ඇතුලෙන් බැලුවොත් කොයි තරම් දුක් කතා තියෙනවද....

    අපිට ලස්සනට පේන හිරු මූදුකොනෙන් බැස යන හැන්දෑව... මූදු යන අයගෙ ජීවිත වල යලි හමුවීම අනිස්තිර වෙන්වීමක් හැම දාකම නැවත නැවත...

    ඈත දියඹෙ ඉන්න ඔහුයි මෑත වෙරලෙ ඉන්න ඇයයි යාකරන පණිවුඩකරු.. රළ පෙළ..

    ඩීන් අයියා ..අපූරු සිතිවිල්ලක් හැමදාම වගේ..

    ReplyDelete
  3. අපූරු සිතුවිල්ලක්!!! ලස්සනයි නිර්මානය..:)

    ReplyDelete
  4. මේකනම් හද පතුලෙන්ම ලියාපු එකක් කියලා හැඟුනානෙව!

    මම බොහොම කැමති විදිහේ කවියක්

    ReplyDelete
  5. ලස්සන පද පෙලක්....

    ReplyDelete
  6. පහුගිය දවස් වල දකුනු පළාතෙ ඇති වුන සුළඟ ධීවර පවුල් කීයක් නම් අදුරු කරන්න ඇතිද ? ඒ කී දෙනෙක් ඈත මුහුදෙන් හිරු නැගෙන කම් බලාගන ඉන්නවා ඇතිද ? ඩීන් අයියගෙ පදපෙළ තුලින් මට පෙනුනෙ තව ටික දවසකින් හැමෝටම අමතක වෙලා යන ඒ අසරණ ජීවීත.

    ReplyDelete
  7. රළට හැකිනම් පිහිටක් වන්නට..

    ReplyDelete
  8. "ඈත ගොඩකරේ රඟන රළ පෙළේ
    ඇදී ගිහින් මහසයුරේ දුර ඈතට
    පාර කියාපන් අතර මං එවුනට
    දිනකර උදාකරන් ඒ පුංචි ලොවට"

    විටෙක විනාශයත්, විටෙක නිහඬත්වයත් මෙ තුලින් මිනිස් ජීවිත වලට කියාදෙන පාඩමෙන් පුංචි ලොවට ආලෝකයක්ම වේවා..!!!

    ස්වභාව දහමෙන්.. අපූරු කවි පෙලකින්..
    ගැඹුරු අදහසක්..!
    සුබ පැතුම් අයියට.. තව තවත් නිර්මාණ ගෙනෙන්නට..!!! :)

    ReplyDelete
  9. මට අරුත් කිහිපයක්ම හිතට එනවා, මේක සාගරය වෙනුවෙන් ලියූවක්ද?

    ReplyDelete
  10. ඩීන් අයිය ඔයාම විස්තර කලොත් මේ වචන ටික මොකක් ගැනද කියල.

    ReplyDelete
  11. මංගල මදු සමය පතා කුලගෙට ආ රූපිකාව
    පාළු ලොවක තනිකරදා දියඹට යනවා
    කුසගින්දර නිවා ගන්න දියඹට යනවා
    හෝ හෝ හෝයියා ............හෝ හෝ හෝයියා ............

    දයාරත්න රනතුංගයන්ගේ මේ ආදරනීය ගීතය මතක් උනා ඩීන් මල්ලී. අපිව විටෙක සනසන කුල්මත් කරන මුහුදේ කියාගන්න බැරි දුකක් ඇතිවෙන වෙලාවල් කොයි තරම්ද? තමන් ආදරය කෙනෙක් ඈතට යනවිට හිතට දැනෙන වේදනව මේ ගැඹුරු දියේ වැළලිලා තියෙනවා නේද? අතරමං වෙච්ච කෙනෙකුට පාර කියන්නට රළපෙල නැගේනම් කොයිතරම් සැනසුමක් වේවිද? කවදත් වගේ ලස්සන නිර්මාණයක් මල්ලී. ජයම පතනවා සෙනෙහසින්.

    ReplyDelete
  12. පදපෙල ගැන අදහස් බෙදාගත් හැමටම බොහෝම ස්තුතියි. පසුව වෙන වෙනම පිළිතුරු ලියන්නම්.

    ReplyDelete
  13. හරිම ලස්සනයි. පද පෙළ කියවනකොට සිතින් මා ඔබ කියන ඉසව්වේ තනිඋනා.

    ReplyDelete
  14. මහා සයුර සැමදා මවෙත ගෙනාවේ ගුප්තමය චමත්කාරයක් ..පාළුවක් . බිදෙන රල දිහා ඕනා තරම් වෙලා බලා ඉන්න හැකියි. කවදත් වගේ අලුතින් යමක් දුටුවා

    ReplyDelete
  15. @Praසන්ன:
    ඔබේ සටහන ලියන අපිට කවදත් ශක්තියක් යාලු.

    ReplyDelete
  16. @සපතේරු උන්නැහේ:
    //ඈත දියඹෙ ඉන්න ඔහුයි මෑත වෙරලෙ ඉන්න ඇයයි යාකරන පණිවුඩකරු.. රළ පෙළ..//

    මේ වාක්‍යය මගේ පදපෙළට ලොකු එකතුවක් කරා. බොහෝම ස්තුතියි ඔබේ විමසුම් සටහනට.

    ReplyDelete
  17. @හිතුවක්කාරි:
    ගල්මල් අඩවියට සාදරයෙන් පිලිගන්නවා. බොහෝම ස්තුතියි සටහනට.

    ReplyDelete
  18. @තිස්ස දොඩන්ගොඩ:
    මගේ කාර්යාලයේ කවුළුවෙන් පෙනුන දසුනත් මෑතක දී ලංකාවට බලපෑ චණ්ඩ මාරුතයෙන් බැට කාපු ධීවර ප්‍රජාවත් අතර දුවමින් ලියාපු පදපෙලක්. පදපෙල ඔබේ හිතගත්තා කියන එක ලොකු ඇගයීමක් නොවැ මහත්මයෝ.

    ReplyDelete
  19. @Dinesh:
    ඔබේ සටහනට බොහෝම ස්තුතියි දිනේශ්.

    ReplyDelete
  20. @ලකී:
    ඔව් ලකී, ඔබ හරි ඒ සිද්ධිය තමා පදපෙලට මුල් වූයේ.

    //පදපෙළ තුලින් මට පෙනුනෙ තව ටික දවසකින් හැමෝටම අමතක වෙලා යන ඒ අසරණ ජීවීත//

    මං පසු සටහනේ කී පරිදි රැල්ලට නැගී රළසේම බැස අමතක මතක ගොඩට එකතුවේවි.

    බොහෝම ස්තුතියි ඔබේ සටහනට.

    ReplyDelete
  21. @නලිනි චන්දිමා:
    රළට නම් ඈත සයුරට ඇදිලා යන්නවත් පුලුවන් කියමු, ඒත් රැල්ලට?

    ReplyDelete
  22. @ඔබ නොදු‍ටු ලොවක්.....:
    බොහෝම ස්තුතියි ඔබේ සටහනට

    ReplyDelete
  23. @නන්දු:
    ඔව් නංගී, මොනතරම් උරන වුනත් මොනතරම් පෙළුවත් ධීවර ඔවුනට මුහුද තරම් සමීප වෙනත් දෙයක් නැති තරම්. බොහෝම ස්තුතියි ඔබේ විමසුම් සටහනට.

    ReplyDelete
  24. @හරී - පිණිපළස:
    පදපෙලට මුල් වූ මූලික කතාව පසු සටහනක් හැටියට එකතු කරා, තවත් අරුත් මතුවෙනවා නම් ඒ ගැන මං ගොඩාක් සතුටුයි. බොහෝම ස්තුතියි නංගී.

    ReplyDelete
  25. @කස්ස:
    ඒ කාරිය ඉටු කරා මලේ.

    ReplyDelete
  26. @Chandi:
    දයාරත්න රණතුංගයන්ගේ ඒ ගීතය බොහෝම හැඟුම්බරයි වගේම අර්තවත් නේද අක්කේ.

    පදපෙලේ තවත් පැත්තක් පෙන්වා දුන් චාන්දි අක්කාට බොහෝම ස්තුතියි.

    ReplyDelete
  27. @readmyeye:
    ඒ ඉසව්වට ඇලුම් කරන ඔබට මේ පදපෙල ගොඩාක් දැනෙන්න ඇති.

    ReplyDelete
  28. @Bindi:
    ඇත්තෙන්ම මුහුදු රළ ලොකු පොඩි මොනාකාර වුවද ඒ ගුප්ත චමත්කාරය ලස්සනයි.

    //කවදත් වගේ අලුතින් යමක් දුටුවා // එය සතුටක්.

    ReplyDelete