Friday, October 21, 2011

මිතු කුඩය


රන්ඳා එක්ව නන
විහිදා අත් ඈතට
තනනා උඩු වියන
අව් වැසි කුණාටු
නොනිමි පීඩා මැද
දිරියකි සෙවණ නිති


පිදුම: මිතු කැල වෙත ගෞරවයෙන් හා සෙනෙහසින්

Sunday, October 2, 2011

පුන්සඳ අඳුර (අවසන් කොටස)




බ්‍රහස්පතින්දා රැයක දෙගොඩහරිය පහුවෙනකම් ඉස්පාසුවක් නැති රූපවාහිනිය ද අද මලානිකව ඔහේ හිඳී. වෙනදා අල්ලාප සල්ලාපයෙන් ද වරෙක උණුසුම් වාද විවාද වලින් ද කාමරය දෙදෙරවන ඉලංදාරීන් අද කොහේ ගියාද මන්දා? කාමරය ඇතුළේ තියෙන රස්නයෙන් තෙරෙන්නේ සෑහෙන වෙලාවක් කවුරුවත් කාමරයේ හිඳ නැති බවයි. තවදුරටත් හිටගෙන ඉන්න බැරිය දැනුණ නිසාම ඒ.සී.ය ඕන්කර දහඩියෙන් තෙත් වූ ඇඳුම් පිටින්ම ඇඳ මත වාඩි වූයෙමි.

කෝල් කරන්න ඇත්තේ කවුරුන් වෙන්න ඇත්දැයි හිතන්න උත්සාහ කළෙමි. හදිස්ස්යකට ලොකු පුතා කතා කළාවත් ද?

තවානේ වැඩකළ කාලේ රටේ තිබුණ භීෂණයත්, වැඩ ඇරිලා එන අය තම කාමරයේ උන්නු සමරේ වටකරගෙන බීබීසී අහන්න ආ හැටිත්, නිතර අහන්න ලැබුණ තැන තැන දැවුණ තරුණ ජීවිත යනා දී අප්‍රසන්න මතකයන් ඔළුව තුළ හොල්මන් කරන්නට විය.


දෙදෙරුම් දෙමින් දුවන ඒ.සී.ය ඇති කරන කන්කරච්චලය ද වදයක් විය. ඇඳෙන් නැගිට අඩි කිහිපයක් ගිහින් එය නිමා දාන්න ඕනකරද... ඔන්න ඔහේ තිබුණාවි හිතුණි.


මුන් ඔක්කෝම එකයි... හැමදාම කරන්නේ තව කාව හරි කුලප්පු කරලා උන්ගේ වැඩේ කරගන්න එකයි. අපේ කොල්ලෝ කෙල්ලෝ නැහෙන්නේ...

සිමෙන්ති පෙළොවේ ඇතිල්ලීගෙන ඇරෙන දොර බරා...ස් ගෑ සද්දෙත් එක්කම කට්ටියම කාමරේට කඩාගෙන පැන්නාය.

"ජයසෝම අයියා බර කල්පනාවක වගේ... මොකෝ හෝම් සික්ද?"


කවදත් ජිවිතයේ බරක් නොදැනුණ ශාන්ත අහපු විදියට කවුරුත් හිනාවෙන්න පටන් ගත්තා.


"ඇයි බං අයියේ, මොකද වුණේ? උඹට අසනීපයක්ද? ප්‍රශ්නයක් ද?" අහමින් ඇවිත් පැත්තකින් වාඩි වූ රෝලන්ඩ් ඇහිබැමි රැළි කරගනිමින් මගේ නළලට පිටඅත්ල තියා බැලුවේ සැකයෙන් වගේය.


"කෑම එකත් ගැට ගහපු ගමන් මේසේ උඩ, උඹ දාඩියපිටින් තවම. ඇයි බං අයියේ?"


"විස්ස විද්‍යාලවල කලබලලු නේද?"


"ඕක ඉතිං අළුත් දෙයක් නෙවෙයිනේ අයියේ."


"ඒක නම් එහෙමයි. මේ බලහං රෝලෝ... මිස්කෝල් හතරක්ම. බස් එකෙන් බැස්සට පස්සේ මං දැක්කේ."


"අනේ බං අයියේ?" කියූ රෝලන්ඩ් ඇඟිලි විහිඳුවාගත් අත්ලෙන් දෙතුන්වර නළලට තට්ටු කරගත්තේ මුහුණේ පුංචි සිනාරැල්ලක් මතුකරගෙන.


"ඈ අයියේ, උඹට සමන් හම්බ වුණේ නැද්ද? සිවා කීපවරක් උඹට කතා කරන්න උත්සාහ කරලා තියෙනවා. බැරි තැන සමන්ට කතා කරලා තිබුණා."


"සිවා ඇවිල්ලද රෝලෝ?"


"පොඩ්ඩක් හිටහං බං අයියේ. ඒකා සඳුදා එන්නේ නැහැලු. තව සතියකින් නිවාඩුව දික් කරගෙන."


"ඒ කොහොමද?"


"ඕක අහන්න දෙයක්යැ අයියේ, සිවා ලංකාවට යන්න කලින්ම ආනන්දන් එක්ක ඒ ගැන ප්ලෑන් කරලා ඇති. ඕං උඹට තමා අයියේ තවත් සතියක් අදින්න වෙන්නේ."


"මදැයි."


"ඒ ගැන උඹට කියන්නයි සිවකාරයා ට්‍රයි කරලා තියෙන්නේ."


මටත් නොදැනීන එකපරටම එසවුණ පපුකූඩුව තත්පර කිහිපයක් හුස්ම අල්ලා පහත් වුනි.


"අප්පේ... උඹ එළියට දාපු හුස්මෙන් තෙරෙනවා අයියේ උඹ මොනතරම් ගිනි ගොඩක ඉන්න ඇද්ද කියලා."


"ඒක කියන්න වචන නැහැ රෝලෝ..."


"එච්චර ගිනිකකා හිටියා, උඹ කෝල් එකක් දුන්නේ නැතැයි හාමිනේට?"


රෝලන්ඩ්ගේ බැල්මද ප්‍රශ්ණකරන්නාක් මෙන් විය, ඒ අතරම හරිබරි ගැහී වාඩිවෙන්න හැදු මා දිහා බලමින්...


"අයියේ, ඇඳුම් හෙම මාරුකරගෙන කාලා හිටහං. අපි තේකක් බීලම කතා කරමු."


ඔළුවේ බරක් නිදහස් වූ හින්ද ද මන්දා වෙනදා මෙන් වතුරේ රස්නයක් දැනුණේ නැති ගානයි.



"අයියේ උඹේ කෑම එක පිළුන් වෙලා. රොටි දෙකත් වේලිලා ඇති, මං ඔම්ලට එකක් හැදුවා උදේට කන්න ගෙනා පාන් තියෙනවා අරගෙන කාහං. ශාන්ත මං වතුර එකක් රත්වෙන්න තිබ්බා, උඹේ ස්පෙෂල් ප්ලේන්ටිය දාපං මල්ලී. මාත් ඇඟ හෝදගෙන එන්නම්..."


කී රෝලන්ඩ් ඈත්වෙනකම් ඉඳ ඉක්මනට ඔම්ලට් එක්ක රොටියක් කෑවේ පාන් වලින් ගත්තොත් උදේට මදිවෙන්න පුළුවන් නිසාය. ළඟපාත කඩේක පාන් තියෙන එකක්යැ...


එක මත එක හයිකරපු බන්ක් බෙඩ් හත ඒ මේ අත හරවා සකස් කර කමරය වසර දෙකකට වැඩි කාලයක් අපේ නිවහන විය. පිරිස අතරින් වැඩිමල් දෙදෙනා වූ සිවා හා තමා වෙනුවෙන් ඇඳන් දෙක බා තනි ඇඳන් හැටියට සකස් කරදුන්නේ රෝලන්ඩ්ගේ යෝජනාව අනුවය. හදිසි නිවාඩුක් ගිය සිවාගේ ඇඳ හිස්ය.


අපේ ඇඳන් දෙක අතර යම්තම් එහා මෙහා වෙන්න පුළුවන් හිදැසකි. බිත්තිය අයිනට වෙන්න ඇති සිවාගේ ඇඳ මුල්ලේ දාම් ලෑල්ල හේත්තුකර ගමන්ම ඇත.


එකම කාමරයේ වෙසෙන දහහතර දෙනාගෙන් හය දෙනෙකු බ්‍රහස්පතින්දා වැඩ ඇරී එද්දීම තම ඥාති මිත්‍රයින් ඉන්න දිහා යනවා.


තරමක් පොඩි එනැමැල් පලඟානේ එක එක ප්‍රමාණයේ පොඩි වීදුරු අටක් තියාගත් ශාන්ත ප්ලේන් ටී කේතලයත් අනික් අතින් අරන් ආවා. කේතලයෙන් පිටතට එල්ලෙන තේ උරවල නූල් අඟ ලේබල් සැහැල්ලුවෙන් කැරකෙයි.


"මේ සමන් කොහේ ගියාද බං අයියේ..." අහමින් රෝලන්ඩ් ඇවිත් මා ඉදිරිපිටින් සිවාගේ ඇඳේ වාඩි වුණා.


වැඩියේ මහන්සිවෙන්න එතරම් කැමැත්තක් නැති සමන් පාඩුවේ කාමරේටවි ඉන්නා කෙනෙකි.


රෝලන්ඩ් උත්තරයක් බලපොරොත්තු වුණේ නැතිව ඇති, වීදුරුවලට තේ වත්කරන ගමන්ම...


"අයියේ අපිට අද මාර වැඩක් වුනාණේ..."


"ඒ මොකෝ රෝලෝ?"



"ඔන්න හවස් හතට විතර ආනන්දන් කඩන් පහත් වුණා. අල්-මදල්ලගේ මහගෙදර උත්සවයක්, ගේ සූදානම් කරන්න උදව්වට කියලා අපිව එක්කන් ගියා. හය දෙනාම එකතුවෙලා පැයක් විතර වැඩකරා කියමු. ඔන්න සන්තෝසෙට කියලා ඒකා එකසිය පනහක් දුන්නා."


"පුදුමයි!"


"ඔන්න අපි ආපහු එනවා, කට්ටියම ගොඩවුණා රෙස්ටුරන්ට් එකකට. ආනන්දනුත් කාපිය. අපි එකසිය විස්සක් ගෙවලා ආවා. ආනන්දන්ට තරුවක් එකතුවේවි, සිවාට නිවාඩු, ඒකාගේ වැඩ උඹට. අපිට වෙන්නේ මේවගේ වැඩ..."

තේ උගුර උගුර හිස්වෙද්දී...

හඳ එළියෙන් බැබළුණ බස් නැවතුම් පොළ ඉදිරිපිට දර්ශනය, රනේ කී ආරංචිය, මිස්කෝල් එකින් එක විස්තර කරන්න මට සිදුවිය විය.


"ඉතිං අයියේ එච්චර බය හිතුණේ ඇයි?" ඇහුවේ ශාන්ත


"මලයෝ ජයසෝම අයියා විතරක් නෙවෙයි බං විස්ස විද්‍යාල වල දරුවෝ ඉන්න හැම දෙමාපියන්ම එච්චර බයකින් ඉන්නේ..." උත්තර දුන්නේ රෝලන්ඩ්


"අපි උන්නද මළා ද කියලා බලන්න කවුරුවත් නැහැ." ශාන්ත කීවේ දුක්මුසු ස්වරයකිනි


"එහෙම කියන්න එපා ශාන්ත, මම තවානේ වැඩ කරන කාලේ රටේ තිබුණ තත්වය ගැන කතා කරද්දී මට දැනුනාට වඩා වෙනස් අද මට දැනෙන බය. අපිට නැතිවෙන්න දෙයක් නැහැ, ඒත් අපේ බලාපොරොත්තුව..."


"උඹට ඒ විදියට හිතුණේ ඇයි බං අයියේ?" ඇහුවේ රෝලන්ඩ්


"පෝය හඳ!"


"ඒ හඳේ වරදක් නෙවෙයි බං අයියේ, හඳ අපිට පේන විදියේ වැරැද්ද මිසක්."


වෙහෙසකර දවස නිමාකරමින් සනිටුහන් කර සතියක අග සැහැල්ලුවෙන් ගතකර ඔවුනට නිදි දෙව්දුව අතවැනුවා වෙන්න ඇති... විසිර ගියහ.


Image Credit: http://blog.lib.umn.edu