Friday, December 27, 2019

මකුළුවාගේ ශෝකාලාපය - Weeping Web Mistress


ගැණලා අංශක ගානට
මැනලා බෙදා පාද කෝණ
තෝරාගෙන මෝස්තරය ඔබින
රැය පුරා වෙහෙසී, සුදෝ සුදු
දැලක් වියුවා...

හැඩ වැඩ බලද්දි
මුල්ලෙන් මුල්ලට ඇදී දැලේ
හිරවුන පුංචි කඳුළු බිඳුවක්
සුළඟේ තාලෙට නටනායුරු දැක
දුකත් හිතුණා...

ඉරා අඳුරු සළු පට
එඹී බැලුමට සැරසෙන
හිරුට ඉඩ දී පලා යන
තුසර බිඳුවක් නළලත වැටුණා
සිසිලක් දැනුණා...

රතු පොත්තේ කළු තිත් ළහිරු දිලෙනා 
හැඩ පුංචි ඉඟුරුගොළුවා
දැල වෙත හෙමිහිට ඇදෙනු පෙනුණා
කුළුදුල් ගොදුරක රසබර
සතුටක් දැනුණා...

අඬු පඬු මැදගෙන හෙමිහිට
සැරසී වට පිට බලද්දි
කබල් පුටුවක නැගි
වයසක ගැහැවිනිය
මුස්නය මානනවා...

English Version: Web Mistress


ඉඟුරුගොළුවා = Ladybird, ලේඩිබර්ඩ් නම් කෘමියා
ගැහැවිනිය = ගෙහිමි කාන්තාව, landlady, female landlord








Sunday, November 24, 2019

කෙක්ක - The Picker



ලඟාවිය
නොහැකි
උසක
පීදුම
ඇද
කඩා
බිම
හෙලන්නට
දණ්ඩ
කෙළවර
ඇමිණූ
කොක්ක

Wednesday, November 13, 2019

පාවෙමි - Afloat


පාවෙමි
නිදහසේ
හොඳ සිහියෙන්
එපා
එල්ලන්න
පාට පාට
ඊයම් බරු...

Friday, November 1, 2019

වෙරළක සැඳෑව - Sunset Beach


ඉස්සර දවසක ලස්සන හවසක
රන්වන් මූදු වැලි තීරය දිගේ
ඔහේ ඇවිද ගිය කාලය මතක ද...
ඈත එපිට ආකාසෙ සිපගෙන
නිල් සයුර දිලිසෙන ලස්සන...
පෙරළි පෙරළි එන රළපෙළ
වෙරළට ගේන මුදු කිරිපෙන...
පාට සේළයෙන් සැරසී වලාපෙළ 
බැස යන හිරුට සමුදෙන ලස්සන...
දසත අඳුර පැතිරෙන ඇසිල්ලේ  
මියුරු හඬ දී පියාඹා යන සියොත් කැල...
ඈත දියඹේ මතුවෙන සැඟවෙන
පහන් සිළු පාවෙන ලස්සන...
මුසුකොට සරසන සුන්දර සැඳෑව...
නෙක වද විඳ බැටකන දවස අග
පුංචි ඉසිඹුව...

Friday, October 25, 2019

හැරමිටිය - Walking Stick


හැරමිටිය අතේ දරන්නා එය ආධාරකයක් කරගෙන සෙමින් සෙමින් පියවර මැනිය හැකිය. පුරුද්දට අතේ අරන් හයියෙන් යා හැකිය. වටේ කරකැවිය ද හැකිය, එනමුත් හැරමිටිය අනෙකාගේ නාසයේ නොගැටෙන සේ පරිස්සම් විය යුතුය.

Tuesday, October 15, 2019

දුගඳ මලක ශාපය - Curse of a Stinking Flower



හදිස්සියකදි රන් පවුමට
ඉහළම මුදලක් ගෙවනවා...
අවපැහැ දැන්විම
පහන් කණුවේ බඳේ
මලකඩ කම්බි පටකින්
එල්ලී ගෙන
සුළඟේ පොරබඳි...

අනතුරකදි විගස ළඟාවෙන
රක්සන පොරොන්දු
විසල් දැන්වීම් පුවරුව
වැල්ල අද්දර පාර කෙළවරේ
ඇණ මුරිච්චි දෙක තුනකින්
එල්ලී ගෙන
ජීවිතය යදී...

රාජ රාජාසිරි මැද වැඩුණ
නැගෙන හිරු පහස ලැබ
පිපි කීඩාරමෙ
දුගඳින් ශාප ලද
නීල් සයුර,
රන්වැලි තීරය
නිම් නැති අඳෝනාව
නෑසෙනා සේ
ගොලුව හිඳී...

වාරයෙ නුහුරු
මූසල වාරකන් මාරුතය
ගේදොර රුදුරුව පෙලනවා
රන් තරු මාල කාන්තිය
වාරික අගාධයේ බොඳවෙනවා
හිත්පිත් නැති කුණාටුව
වැටකෙයියා පඳුරු නවනවා
බත සරිකර සකි සිව්සක
අසරණව එඹී බලනවා
හැඩි දැඩි සීසර් සිහිවෙනවා...

සටහන:
21-04-2019 දා සිදු කල මෙලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් රටේ සංචාරක කර්මාන්තය සම්පූර්ණයෙන්ම බිඳ වැටුණි. සංචාරක කර්මාන්තය මත යැපුන කුඩා පරිමාණ ව්‍යාපාර හා ස්ව‍යං රැකියා බොහෝමයකි. සංචාරකයින් ප්‍රවාහනය ඉන් ප්‍රමුඛත්වයක් ගන්නා ස්වයං රැකියාවකි, බැංකු ණය මත වාහන මිලදීගෙන උපයමින් වාරික ගෙවාගෙන ජීවිකාව ගෙවන මොවුන් ඉතා අසීරු තත්වයට පත්ව ඇත. රජය සහන වැඩපිළිවෙළක් ගැන කතා කර ද මෙවැනි ස්වයං රැකියාලාභීන් ලද සහනයක් නැත. ඉපැයීම් ඇහිරුණ ද මොවුන් බැංකු වාරික නියමිත පරිදි ගෙවිය යුතුමය. නිර්මාණයට පාදක වෙන්නේ එවැන්නෙක්. මෙය ප්‍රහාරයෙන් මාස දෙකකට පමණ පසුව කල අකුරු කිරීමකි, අද වෙද්දි පවා තත්වයේ වෙනසක් නැත.

* වාරය හා වාරකන් යන වදන්; වාරය = සීසන් හා වාරකන් = අවාරය, ඕෆ් සීසන් අරුතින් යොදා ගෙන ඇත

Tuesday, October 1, 2019

පායන තුරු නවසඳ - Waiting for New Moon


මගේ අහස ගිලගෙන අඳුර
පහර පිට පහර දෙමින්
පිරික්සයි ඉවසුමේ සිතිජය
නිදි නැති රැය දිගුය
රිදුම් දෙන උරහිස්
විඩා බර දෙනෙත්
පෙළන්නේ නොනිමිව
කඳුළු නැත මුතු හැඩව ගලන්නට…

අයදිමි මා,
මගෙ පුංචි හදවත;
හිරු පහස නොඅඩුව ලබන කල
නුඹ සුවිසල්ය පුන් සඳක් විලස,
එනමුදු අද මා අඳුරේ...
නුඹේ යහ රිද්මය මට අවැසිය
මං පාදා එතෙර කරයුතු දයාබරයන් අසරණව...
නෙතු අයා හිඳිමි මා බලාපොරොත්තුවෙන් 
පායන තුරු නවසඳ
තවත් වරක්...

මාගේ Waiting for New Moon නිර්මාණයේ අනුවාදයකි

Monday, September 30, 2019

Monday, September 23, 2019

තව එකවරක් - Once Again



ඝන අඳුරේ
සැඟවිලා
පුංචි තරු
සඟළ
මුදු කන්පෙති
පාළුය
කවදා ද
පායන්නේ 
නව සඳ...

Wednesday, September 18, 2019

වාරය - In Turn


තොරක් නැතිව
ඇදහැළුණ වැස්ස
පුංචි විරාමයක් දීලා...
වීදි පහන් එළියේ
කඩිසර මෙරුවන් 
සැනකෙළියක...
අඳුරු අහසේ
උදා හිරු ද සැඟවීලා
කාක කරච්චලය
පහන් කණුව වටේ
විසිරුන මෙරුවන්
අහුලන...
ඉක්මන් කරපිය කුහුඹුවනේ
පෙරහැර 
නිසල මෙරුවන් 
ගෙනියන...
හිරු රජිඳු මුවා වෙලා
ඉවසුම් නැතුවා ඇති
ඔද තෙද පාවි
ඉරා තිමිර පට
වස්සවා තව වැස්සක්...

Monday, August 12, 2019

පාට



මුසුකොට සප්ත වර්ණ
කලතා
සැදෙන සොබා සුදු එළිය අවර්ණයි...
මතුපිට වැටෙනා එසුදු එළිය අරගෙන
‍යටකර
සඟාවා අන් පැහැ සැම
පාට, පාටින් දිලෙන්නේ
මතුකර 
විහිදුවා රිසී පැහැ, පැහැයෙන් පමණයි...

සටහන:
ආලෝක දහරාවකින් ලැබෙන එළියේ පැහැයක් නැහැ. එනිසා ආලෝකය අවර්ණයි කියනවා, එය සුදු ආලෝකය හෙවත් White Light හැටියටත් හඳුන්වනවා. ස්වභාවික හිරු ආලෝක දහරාවක් වුවද විදුලි පන්දමක ආලෝක දහරාවක් වුවද ඒ එළිය අවර්ණයි. එහෙත් අවර්ණ/සුදු ආලෝකය හැදෙන්නේ දේදුන්නක ඇති පාට හතේ ඒකතුවකින් කිව්වොත් පිළිගන්න මැළිවෙන්නත් පුළුවන්.

සරල විද්‍යාව අනුව රතු පාට වදමලක පෙති කියන වස්තුව රතුපාටින් පෙනෙන්නේ ඒ පෙති මතුපිට වැටෙන අවර්ණ/සුදු ආලෝක දහරාවේ අනෙකුත් වර්ණ උරාගෙන (අවශෝෂණය කරගෙන) වස්තුවේ පෘෂ්ඨය විසින් රතු වර්ණය විහිදුවා හරින (පරාවර්තනය කිරීම) නිසාය. එම වස්තුව තැඹිලි ගෙඩියක් නම්, පෘෂ්ටයේ පාට සැදෙන්නේ සුදු ආලෝකයේ අන්තර්ගත රතු, කහ හෝ ඊට අදාළ පැහැයන් වල සම්මිශ්‍රණයක් විහිදුවා හැරීම නිසාය.

ඉතිං, කෙටියෙන් කිව්වොත් කොයි පාටත් දිලෙන්නේ අනික් පාටවල් යටපත් කර විනාශ කරලා තම රිසි පැහැය හෝ පැහැ එකතුවක් විහිදුවා නෙවැ.

Tuesday, July 30, 2019

මහැදුරු



මවාපාන
යස්සයා
බිය පතුරුවන
බලා ඉඳී
නටන්න
තොයිලය
පේවී
පන්දම් විලක්කු
අතින් කටින් ගෙන...

Monday, July 22, 2019

බෙයාරිං


ලොකු රෝද
සීරු මාරුවට
සුමටව
කරකවා
ගමනාන්තයට සේන්දු කරන්න
තෙරපෙන
ගෙවෙන
පොඩි බෝල
බෙයාරිං...

රෝද
බකල් වූ දා
ගැලවී විසිවෙන
ගෙවී ගිය
බෙයාරිං...