Monday, April 26, 2010

හිම තරණය



අදින්නට එක සේ
කඩාගෙන යන්න බැරි සේ
බැඳලා එක රැල සේ
කරන තරණය සිත් සේ

පලමු පල කිරීම: 27-02-2010

Tuesday, April 20, 2010

මාලිමාවියේ


කැරකි කැරකි පෙන්නුවාට එකම පැත්ත
නුවණැති නැවියා මැනලා ගනියි හරි පැත්ත
වැරදුණොත් යන්න වෙන්නේ වැරදි පැත්ත
පෙන්වනු මැන මාලිමාවියේ හරි පැත්ත


පලමු පල කිරීම: 26-02-2010

මාලිමාවිය නිර්මාණයට කරුණු කීපයක් හේතු වුණා:

න්‍යාත්මකව: මාලිමාව පෘථිවි තලයේ ඇති චුම්භක ධාරාව යොදාගන්නා නිසා අනිවර්යයෙන්ම පෙන්නන්නෙ එකම දිසාව (උතුර)

නාවික විද්‍යාත්මකව: තෙරක් නොපෙනෙන මහ සයුර තරණය කරනා නැවියාගේ හිතවතිය

සමාජීයව: ආදරණීය මැණියන්, අක්කා, නංගී, යෙහෙළියක් ලෙසත් ජීවිත තරණයේ ලඟින් ඉන්නා දයාබර බිරිඳක් සේ ද උත්තරීතර "ඇය" දක්වන දිශාව නැවියාට මාලිමාවකට වඩා වැදගත් සමාජයට

දේශපාලණිකව: චුම්භක ධාරාව වගේ බලය ඇති ඇත්තෝ උනුන්ට අවැසි පැත්තම පෙන්වනවා මාලිමාවක කටුව වගේම. තවද අදිසි බලයන් විසින් බලයටම හැරෙන කටුව යොදාගෙන පෙන්වන්න උත්සාහ කරන දිසාව.

Sunday, April 18, 2010

ඉඳි ගසේ මල් පීදිලා


රට ඉඳි ගස් මග දෙපස
මල් පීදි රෑනින් එබිකම් කර
කියන්නෙද ගුලිවී සිටි බව නුහුරුව...




සිතුවම මත ක්ලික් කර විශාල කරගත හැකිය


සටහන: අප වෙසෙන මැදපෙරදිග පරිසරයේ කටුකත්වය හා සොබාදහම ගැන බිඳකි. කටුක ගිම්හාන (summer) කාලය මාස හයකට වැඩිය, මෙහේ වගේම පමණක් දේශයන්හි ඌශ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 47ද පන්නයි.


Thursday, April 15, 2010

විවේකය


නැතත් නොම්බර
ටික් ටික් ගා
දුවයි වේගයෙන්
විසිකර දෑත්
ලුහුබැඳ
දුන්නත් කෑ මොර
ඉඳ හිට

විඩාබර මෙයත්
දවසට දෙවරක්
ගනී මොහොතක
විවේකයක්!

සටහන: තොරතෝංචියක් නැති වෙහෙසකාරි ගමනේ යෙදුනත් ඔරලෝසුවේ කටු දෙක 12හේ පැය පෙන්නුම් කරන දෙවරදී වත් මොහොතක විවේකයක් ගන්නවා එකතැනකට වෙලා. වරකදී ඒ මොහොත විනාඩියකට අඩු සුළු කාලයක් වුනත් සීරුවෙන්, නොවරදවාම ලබාගන්න දෙයක්. ඒත් එවන් පුංචි මොහොතක්වත් වෙන්කරන්න බැරි සේ අද සමාජය (අපි!) කාර්යබහුලයි නේද?

පලමු පලකිරීම: 16-02-2010

Monday, April 12, 2010

කපුටන් නොවන කොවුලනේ


ලැගුම් ගත්ත ද කාක කූඩුවේ
නොබුදින් කසල කුරුලනේ
පැන්නුවත් පසුපසින් කොටමිනේ
නඟන් හඬ කපුටන් නොවෙත් නම් කොවුලනේ

සිරි බරින් පිරි මෙ බක් මහේ
පිපුනා නම් වියලි අතු අගේ
උදා කර වසන්තය පලදරන්
නොවෙත් නම් රැඳීයන් සේ කාකයන්

Wednesday, April 7, 2010

බිංදුව



බොල් වුනත් හිස් බොල තගේ
ඉස්සර වුනොත් ප්‍රථමයා එක තැනේ
ගියොත් පෙල ගැසී පස්සෙන් අනේ
පෙරමුණෙ අගය වැඩි වෙයි බොලේ
බොල් වුනත් හිස් බිංදුවෙ බලේ

Tuesday, April 6, 2010

අබලන් සිග්නල්


චන්දරදාස අවා අගනගරෙට
මොන මොනවද වැඩකට
පාර පනින්න බලන විට
මෙතැනින් මාරුවෙන්න නැහැ පේන්නට

බල බලා ඉඳ පත්ව වෙහෙසට
බැලින්නම් ඔසවා හිස
හත්වල්ලාමෙ නැහැ නොවැ වැඩ
පාට එළි වැජඹෙන උඩ
හතර දිසාවෙම පිරිලා වාහන

රැකගෙන පණ පාර පනින්නත් ඕනෑ
ඔක්කෝම නිවිලා හිත හයියත් නෑ
වැටුනොත් එළිය කඩාගෙන එන්නත් බැරි නෑ
චන්දරේ යට කරගෙන යන්නත් බැරි නෑ

හන්දියේ අතරමන් වෙලා බයත් හිතුනා
දෑස් පියා ගෙනම සිතින් පැතුවා...

ලොකු අනතුරක් වළකන්නට
නොවැටියන්
එකම පාට
එක වර
හැම පැත්තෙම

පැතුම හිරවී ඉන්නා මොහතක හන්දියේ
(පලමු පල කිරීම 19-02-2010)

Monday, April 5, 2010

එළිනැති ලාම්පුව


සිටියත් උජාරුවට සාලෙ කොනේ
එලියක් නම් නැහැ තාගෙ බොලේ
පුරවන්නද කියන්නෙ ආයේ
පෝලිමෙ හිඳ භූමි තෙලේ

Saturday, April 3, 2010

සර්කස්


සැරසී පාටින්
නා නා විධි ඇඳුමින්
සිනා මවා පුම්බන්
රඟති මනරම් කෝලන්

රුදුරු සිව්පාවුන්
හා පැන්චන්
අහිංසක පිඹුරුන්
සීතල මුහුදු සිංහයන්
නියවන වඳුරුමොටන්
හීලෑ කර විදන්

අඟුටුමිට්ටන්
යෝධයන්
කෝටුකිතයියන්
රූබරියන්
සත් පුරුෂයන්
කවටයන්

ගාල්කර කූඩාරමන්

උසින් උසට පැද ඔන්චිල්ලා
පැන පැන යති අත් පා අල්ලා
පනිති රිංගා ගිනි වළල්ලා
කුරුමානමෙ රකිති තුලා'ල්ලා

විස්කම් පෑ රඟන්
මනදොල පිරු දනන්
අත්පුඩි තලයි තුටින්
බරපැන උනුන්ම දරන්

දසුන් අවසනා
කදමලු පුරවනා
යයි කරපින්නා
කූඩාරම් ගලවනා