Saturday, November 25, 2023

ටෙලිග්‍රෑම් | Telegram (ශනිදා දහයට!)

 




අද ටෙලිග්‍රෑම් කියන විට මුලින්ම හිතට එන්නේ තවත් එක්, එසැණින් පණිවුඩ හුවමාරු කරගත හැකි එහෙමත් නැතිනම්  instant messaging App එකක් හැටියට. ලොව ප්‍රචලිත Facebook Messenger, WhatsApp, Instagram, Twitter, WeChat, Skype වැනි සේවාවන්ට විකල්පයක් හැටියට රුසියානු ජාතික Pavel Durov, Nikolai Durov සොහොයුරන් දෙදෙනෙකුගේ හඳුන්වාදීමක් හැටියට 2013 වසරේ දී එළිදැක්වෙන Telegram සේවය අද සෝෂල් මීඩියා අඹරේ දිලෙයි.

එනමුත් ටෙලිග්‍රෑම් හෙවත් විදුලි පණිවුඩ සේවාව කියන්නේ ලංකාවේ ඕනෑම අස්සක් මුල්ලක් නෑර හදිසි පණිවුඩයක් රැගෙන ගිය සේවාවක් බව ඔබ දන්නවාද? ලංකාවේ ටෙලිග්‍රෑම් සේවාව 1858 වසරේ දී ආරම්බ කර ඇත්තේ කොළඹ හා ගාල්ල අතර පණිවුඩයක් ගෙන යමින්.

ලොව සම්ප්‍රදායීක ටෙලිග්‍රෑම් සංනිවේදනයේ ආරම්බය 18වන ශතවර්ෂය තරම් ඈත කාලය දක්වා දිවෙයි, එය ප්‍රංශ ජාතික Claude Chappe ගේ සොයා ගැනීමකි. එය මුලින්ම යුරෝපයේ ප්‍රංශ ආධිපත්‍යය පැවැති පෙදෙස්වල බාවිතා වූ බව කියැවේ. ටෙලිග්‍රෑම් සංනිවේදනයේ දී දුරකතන පහසුකම් හරහා කියවනු/දෙනු ලබන පණිවුඩය අනෙක් පස ඉන්නා වූ ටෙලිග්‍රාෆ් ඔපරේටර් කෙනෙකු විසින් අතින් සටහන් කරගෙන නියමිත පාර්ශවය (recipient/ප්‍රතිග්‍රාහකයා) වෙත බෙදාහැරීමට යොමු කරයි. සාමාන්‍යයෙන් ටෙලිග්‍රෑම් සේවාව තැපැල් හා දුරකතන/විදුලි සංදේශ පහසුකම් සපයන රජයේ සේවාවක් හැටියට ලොව පුරා ක්‍රියාත්මක විය. අද මෙන් පණිවුඩ හුවමාරු තාක්ෂණය හිනිපෙත්තේ නොවූ අතීතයේ ටෙලිග්‍රෑම් සේවාව නැතුවම බැරි තවත් එක් සේවාවක් විය.

ලංකාවේ ටෙලිග්‍රෑම් හෙවත් විදුලි පුවත් සේවාව තැපල් සේවයට අනුබද්ධ සේවාවක් විය. ඕනෑම තැපැල්, උපතැපල් කාර්යාලයකින් පහසුවෙන් ලබාගත හැකි ෆෝරමයක අතින් ලියා ඉදිරිපත් කරන පණිවුඩය, දුරකතනය ඔස්සේ පණිවුඩය බෙදාහැරිය යුතු අන්තය දක්වා විකාශණය (transmit) කෙරේ. බොහෝ විට තැපැල් කාර්යාල දෙකක් හෝ ඊට වැඩි ගනනාවක් එම හුවමාරුවට සම්බන්ද වෙන අතර ලියුම් බෙදන  ක්‍රමයට නියමිත පුද්ගලයාගේ ලිපිනයට විදුලි පුවත (ටෙලිග්‍රෑමය) බෙදා හරී. විදුලි පුවත් සේවයට අය කරනුයේ පණිවුඩයේ ඇති වචන ගනන අනුවය, එහෙත් සාධාරණ අයකිරීමක් තිබූ සේවාවකි. 

ලංකාවේ මොබයිල් ෆෝන් මෙතරම් ප්‍රචලිතවීමට පෙර යුගයේ හදිස්සියේ අඳුරු වැටුන වෙලාවක තැපැල් මහත්තයාගේ සීනු හඬ ඇහෙනවා නම් එය බොහෝ විට නරක ආරංචියක් රැගෙන එන ටෙලිග්‍රෑමයක් වෙන්න පුලුවන් ඉඩකඩ වැඩිවිය. මඟුල් ගෙදරක වුනත් සහබාගීවීමට නොහැකියාව ප්‍රකාශකරමින් ලැබෙන ටෙලිග්‍රෑම් තිබුණි. හදිස්සියේ සේවා ස්ථානයට වාර්තා කරන්න බැරිවීම දන්වන්වන්න, හදිසි නිවාඩුවක් ලබාගන්න ටෙලිග්‍රෑමයක් නැතිවම බැරි සේවාවක් විය.

ඒ වගේම ටෙලිග්‍රෑම් නිසා සිදුවෙන අකලංචි නැතිවා නොවේ, මේ එවැන්නක් ගැන කතාවක්:

ඉහළ අධ්‍යාපන ආයතනයක සිසු පිරිසක් විනෝද ගමනක් යොදාගත්තේ ඔවුන්ගේ නිවාඩු කාලයක. අද වගේ හැමෝම අතේ කැමරා නැති ඒ කාලයේ කැමරාව ගෙන එන්න මතක් කරන අදහසින් ඔවුන් දුර බැහැරක සිටි මිතුරාට ටෙලිග්‍රෑමයක් යැව්වා. එය  ගෙදරට ආ වේලේ ඔහු ගෙදර නොවිය, ටෙලිග්‍රෑමය ඔහුගේ පියා අතට පත්විය. එය කඩා කියවූ තාත්තා පුතාට ගමන තහනම් කලේය. එකඟ වූ පරිදි කැමරාව ගෙනාපු නැති එක හා චාරිකාවට සහබාගී නොවීම ගැන මිතුරන් ඔහුට දොස් කියන්නට විය. ඔහු ටෙලිග්‍රෑමය පෙන්වන්නට විය.

වරද්දන්නේ නැතිව කමලාවත් අරන් වරෙන් යැයි එහි සඳහන් විය.  කාටත් වරද පැහදිලි විය. ටෙලිග්‍රෑමය සටහන් කරගනිද්දි ඔපරේටර් විසින් කැමරාවත් කියන පද කමලාවත් කියා සටහන් වීම කල හදිය නිසා තම පියා තමන්ව අවිශ්වාස කරබවත් කෙතෙක් පැහැදිලි කරත් ඔහුට ඒත්තු ගන්වන්න බැරි වූ බවත් බොහෝ අසරණව කියන්නට විය.

කෙසේ නමුත් වසර 155ක් සමාජ මෙහෙවරක් ඉටු කර ලංකා ටෙලිග්‍රෑම් සේවාව 2013 ඔක්තෝබරයේ සිට අත් හිටුවන බව අදාල අමාත්‍යාංශ දැනුම් දුන්නා ඊට මාස කීපයකට කලින්.


Pic curtsy Sunday Observer


Saturday, November 18, 2023

සාගර දියක ලුණු | The Salt (ශනිදා දහයට!)

 


සැඳෑ අහසේ මලානික හිරු
නෙක රටා මවනා වළාකුළු
ඈත දියඹෙන් ලහි ලහියේ
පෙරලන් එන දිලෙන රැලි...

හමුවෙලා දෝ
අහස නැමී සයුරට
ඈත,
ඈත සිතිජයේ...

සත්තයි, අසාවි
සාගර දිය ඇයි මෙතරම් කඨෝර
කොහෙන් දෝ මෙතරම් ලුණු,
අපුල කරන් නහය...

යටපත් කරන්න නොහැකිව
රහසේ රූටා වැටෙන
කඳුලේ,
නිම් නැති බර උරලන
හෙම්බත්ව වැගිරෙන
දහඩියේ
ලුණු...

අනේක දුක දරන
ලය නොපලා නික්මෙන
හිස් සෝ සුසුමෙ
කොහේ ද සුගඳ...

උන් දනීද එ'වග
හැමදාම
පාට පාටින් අඳින්නෙම
සිතිජය... 


Tuesday, November 14, 2023

සුවපත්වීම | Healing

 


මෙලෝකයේ  වරක්වත් ශාරීරිකව තැලිච්ච පොඩිවෙච්ච, හිත රිදිච්ච වැටිච්ච, කොන්වෙච්ච පෙලිච්ච යනාදි නිරස සිද්ධීන්ගෙන් බැටකාපු නැති කෙනෙකු ඇත්නම් එය ඉතාම විරල වෙන්න පුලුවනි.

දුර ඈතක පියාසලා ආපසු කැදැල්ල කරා තටුසලන පුංචි කුරුල්ලෙකු පොඩි විරාමයකට නවතින ගසේ අත්ත කඩා වැටෙනවා. ඒ කම්පනයෙන් මිදී, තම කූඩුවකරා පියාඹන කුරුල්ලා හෙට දිනයේ උදේ නැවත කෑම සොයා පියාසර නොකරයි ද? තවත් අත්තක වහන්නේ නැතිවෙයි ද?

එය දහිරිය කියන්න පුලුවන්, ඒ වගේම කලින් වූ අබැද්දිය අමතක කර එදිනෙදා ජීවිතයට මුහුණදීම නොවෙද? එසේ නෙවෙන්න පුංචි කුරුල්ලාට සිද්ධ වෙන්නේ බියෙන් ගුලිගැහී තම කූඩුව තුල කොටුවීම නොවේ ද?

එමෙන්ම ශාරීරික වගේම මානසිකව සිදුවන තාඩන, පීඩන, වේදනා ආදියෙන් මිදී සුවපත්වීම අවශ්‍ය වන්නේය, එසේ නොවුනොත් අර ඇබැද්දීන් විසින් ජීවිතය වෙලාගෙන තව තවත් පීඩාවට පත්කරනවා ඇති.

සැම සිත් සුවපත් වේවා!


Saturday, November 11, 2023

මුදු වෙනු මැන | Be Soft (ශනිදා දහයට!)

 


ඔබව කඨෝරයෙකු කරන්න
ලොවට ඉඩ නොදෙන්න.
අනේක රිදුම් නිසා ඔබ,
ඔබව ප්‍රතික්ෂේප නොකරන්න.
අමිහිරි අත්දැකීම්,
කරුණාවන්ත ඔබ වෙලාගන්න ඉඩ නොහරින්න.
ආඩම්බර වෙන්න,
කවුරු එකඟ නොවුවද
ඔබ ඉන්න තැන සුන්දරය.


Iain S. Thomas කවියාගේ Be Soft කවියේ පරිවර්තනයකි.
පරිවර්තනය: එම්. ඩීන්, ගල්මල්-Coral

Saturday, November 4, 2023

සමාන බව | No Difference (ශනිදා දහයට!)

 


රටකජු ඇටයක් තරම් පුංචි
විසල් යෝධයෙකු වුව ද
අප සැම ලොකු කුඩා නොවෙන්නෙමු
අඳුරේ, වහන් කල විට එළිය
රජෙකු තරම් පොහොසත්
ගුල්ලෙකු තරම් දුප්පත් වුව ද
අප සැම වටී එක ලෙස
අඳුරේ, වහන් කල විට එළිය
රතු, කළු, රඹ,
කහ හෝ සුදු වුව ද
අප සැම දිස්වෙන්නේ එක ලෙස
අඳුරේ, වහන් කල විට එළිය
එනිසා, හැම දේම හරි ගස්සන්න
හරි මගට ගන්න
වහන් කලා ද එළිය (දෙවිඳුනේ)
ගිල්වා අප අඳුරේ?


උපුටා ගැනීම: අන්තර්ජාලයෙන් (කතෘ: Shel Silverstein)
පරිවර්තනය: එම්. ඩීන්, ගල්මල්-Coral

Wednesday, November 1, 2023

පුංචි සිනාවක් | Sunny Smile


 

පුංචිම පුංචි ප්‍රසන්න සිනාවක්,
අගේ නැතුව පිදුව,
එනමුත් උදා එළිය මෙනි
රෑ අඳුර පලවා හැරිය,
දවසම පුබුදු කර
ජීවිතයට වටිනාකමක් දුන්න.



නිර්මාණ ගෞරවය මුල් නිමාණකරුවන්ට හිමිවේ.


උපුටා ගැනීම: අන්තර්ජාලයෙන් (කතෘ: F. Scott Fitzgerald)
පරිවර්තනය: එම්. ඩීන්, ගල්මල්-Coral