කඩිසර ලොව නුඹ නිදියන
බුදියන ලොව නුඹ බැබලෙන
කුලෑටි හින්දද ඔහේ ගුලිවෙන
රනිල කුලේ නිදිකුම්බා නුඹ
වටා පිටාවෙන් වා අරගෙන
මුලේ ගැටති හවුල් කරගෙන
පස සරුකරන නයිට්‍රජන් දෙන
එපා හදන්නට හිනා වායුව නුඹ
අඩක්වත් පිරිනැති කුස අහරින
දෑතින් බදාගෙන හිනාවෙන
වාරු නැති උන් වියරු වැටුන
ගැලුවා නම් ඉතිරිවේද පඳුරේ නුඹ
නිදිකුම්බා පඳුර ගැන පදපෙල ලියන අතර එම ශාඛ විශේෂය හා සම්බන්ධ තවත් කරුණු පෙලක් මතකයට ඇදි ආවා.
පොලෝ පසේ සරුසාර බව රැකෙන්න නයිට්‍රජන් අවශ්‍ය කරයි
පෘථිවි වායුගෝලයේ 75%කට වඩා නයිට්‍රජන් අඩංගුවේ
එහෙත් වායුගෝලීය නයිට්‍රජන් කෙලින්ම පසට ලබා ගැනීමේ හැකියාවක් නැත
රනිල කුලයේ පැලෑටි හැටියට ගැනෙන පරිප්පු, කව්පි, මුං, ආදී දෙපියළි සහිත ධාන්‍ය බෝග (Legumes) හා නිදිකුම්බා පඳුරු වායුගෝලීය වාතය උරාගෙන ඉන් පසට වැඩදායී නයිට්‍රජන් ලබාදෙන හැකියාවකින් සමන්විතයි
එම පැලවල මුලේ ඇති ගැටිතිවල වැඩෙන බැක්ටීරියා විශේෂයක් (Rhizobium bacteria) මේ කර්තව්‍යය ඉටුකරයි
ඒ අනුව පසට නයිට්‍රජන් සපයන ප්‍රධාන මූලාශ්‍රය වායුගෝලය යැයි කිව හැකිය
තවද වර්ෂා ජලයේ දියවිමෙන් යම් ප්‍රමාණයක වායුගෝලීය නයිට්‍රජන් ද දිරාපත්වී පසට එක්වෙන ගස්කොලන් හා සත්ව කොටස් වලින් ද, පසට නයිට්‍රජන් එකතුවේ
නිදිකුම්බා පඳුරේ හැකිලෙන-දිගහැරෙන ස්වභාවය නිසා නෙයෙක් භාෂා වලින් නිදිකුම්බා පැලය සංවේදී පැලය, ලැජ්ජාශීලී පැලය කියන නම් දී තියෙන අතර උද්භිද විද්‍යාත්මක නම මිමෝසා පුඩිකා (Mimosa Pudica - සංවේදී පැලය යන අරුත) වේ. දෙමළ බසින් තොට්ටා සිනින්ගි (Thotta-siningi) යැයි කියන බව ලඟකදී දැන ගත් නමුත් අපේ ගම් පලාතේ කතාකරන දෙමළින් කියන්නේ තොට්ටාල් වාඩි (ඇල්ලුවෙත් මැලවෙන කියන අරුත) කියාය.
නිදිකුම්බා පැලය ගැන වැඩි විස්තර පහත දී ඇති සැබැඳි වලින් කියවන්න පුලුවනි.
කලබලයක දී ලැජ්ජාශීලීව ගුලිවෙන, වටාපිටාව නිසසල වෙද්දී ඔදතෙද දක්වා වැජඹෙන කටු පිරුන නිදිකුම්බා පඳුරු... පොලෝ පසට නයිට්‍රජන් වෙනුවට හිනා වායුව කියා ප්‍රසිද්ධ නයිට්‍රස් ඔක්සයිඩ් නිපද වූවහොත්... මොනවා වෙන්න පුලුවන්ද හිතුන වෙලාවක ලියපු පදපෙලක්.
කවදත් වගේ පදපෙල ගැන ඔබේ අදහස් සටහන් කරලා යන්න...