Saturday, October 28, 2023

සිනාව ඔසුවකි! සිනාසෙන්න | Smile (ශනිදා දහයට!)


උදේ පාන්දර ඔබට උනුම උණු කෝපි කෝප්පයක් පිළිගන්වනවා, ලස්සන සිනාවක් එක්ක. පදමට රෝස්ට් කර කෝපියේ ඇරෝමාව (Aroma, සුවඳ) ඔබේ නාස් පුඩු අතරින් රිංගන්නට කලින්, කෝපි කෝප්පයෙන් රැළි කැරලි දාමින් මතුවෙලා උඩට පාවෙන උණුසුම් දුම ඉහළට ඇදෙද්දි, කෝපි උගුර තොලගාන තුරු නොඉවසිල්ලෙන් බලන් ඉන්න රසාංකුර පිනවන්න කලින් ඔබේ නෙතු යුග ග්‍රහණය කරගන්නේ මොනවද... ලස්සන සිනහව නේද? ඔබ පෙරළා පුදන පිළිතුරු සිනාව, නොකී දාහක් වදන් අරන් යන කවියක්, මියුරු ගීතයක්, සිග්නල් එකක් නොවේ ද? That's the magic.

සිනාසෙන්න, වැඩි වැඩියෙන් සිනාසෙන්න. සිනාව ඔසුවකි. ඔබ සිනාවක් පිරිනමන විට එය ලබන්නා පිළිතුරු සිනාවක්පායි. එය ලැබුවේ එක් කෙනෙකුට වැඩි පිරිසක් නම් ඔවුන් ද සැබැවින්ම සිනාසෙනවා ඇත.
පුංචි සිනාවක් මොළයට ලොකු කෙමිස්ට්‍රියකි (chemistry), ඒත් එය දැනගන්න ඔබ රසායන විද්‍යාඥයෙකු වෙන්න ඕනේම නැහැ. කෙනෙකු සිනාසෙන විට ප්‍රකෘතිමත් වෙන මොළයෙන් මුදාහරින ශ්‍රාවයන් නිසා ආතතිය/මානසික පීඩනය (stress) සමනය කරයි, වේදනාව නසයි (pain reliever) විෂාදනාශකය (antidepressant) හැටියට වැඩකරයි. ඒ වගේම හදගැස්ම (heart beat) හා රුධිර පීඩනය (blood pressure) පාලනය කරයි.
මිනිස් මුව වටා පිහිටා ඇති සියුමැලි මස්පිඩු විශේෂයක් සිනාවට සම්බන්ධය, ඒවා හකු වලට යා වෙලා තියෙන්නෙ. හිතක උපදින සිනහව කියන හැඟීම ස්නායූ මගින් ඒ මස්පිඩු වලට දැනුම් දෙනවා, ප්‍රතිඵලයක් හැටියට මුව දෙකොන ඉහළට ඇදෙනවා. සතුටක සේයාව මුහුණේ ඇඳෙනවා. ඒ සිනාව ඇත්තවශයෙන්ම, අව්‍යාජ නම් එම පුද්ගලයගේ සිත සතුටින් ප්‍රමෝදමත් වෙනවා, මුවමඩලේ ස්නායුවක් විසින් ඒ සුන්දර පණිවුඩය ඇස් වටා පිහිටි සුමුදු මස්පිඩු වෙත අරගෙන පිම්මේ දුවනවා. එහි ප්‍රතිඵලය සුන්දර ඇස්වටා ලස්සන රැළි මතුවෙනවා. අව්‍යාජ සිනාවක් මුවමඩල පුරා විසිරිලා ලස්සන ඇස් කොනින් ප්‍රකාශ වෙන්නේ එහෙමයි. තවද පුංචි සිනාවක් ඔබේ මුහුණ පුරා ඇඳෙන විට, මුහුණේ පිහිටි සියුම් පේශීන් ගණනාවක් ප්‍රබෝධමත් වේ, එහෙම නැතිනම් ව්‍යායාමයේ යෙදෙයි. ඉන් මුහුණේ ලස්සන, තරුණ පෙනුම රැකෙනවා. ඒ කොහොමද? ඒක රහසක්! හොඳට, ලස්සනට හිනාවෙලාම බලන්න...
සිනහව සුන්දරය, අයෙකු උත්පත්තියෙන් ලබන මිලකළ නොහැකි දායාදකි. එහෙත් සිනහව පෑම එහෙමත් නැතිනම් ප්‍රකාශ කිරීමේ කලාව පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්ය. කෙනෙකු සතු, කොච්චර දුන්නත් අඩුවක් නොවන වස්තූන් මේ ලොවේ ඇත්නම් සිනාව ඒ අතරින් මුල්තැන ගන්නවා සැක නැහැ. පමණක් විටෙක ඒ මද සිනාව ලබන්නා ඒ මොහොතේ ලබන සුන්දරම, මිලකළ නොහැකි දායාදය ඒ සොඳුරු සිනහව වෙන්න පුළුවනි. එහෙත්, වියරු සිනහව අනපේක්ෂිත අප්‍රසන්න අවස්ථාවන් ඇති කරතෑකි.
ක්ලැරන්ස් විජේවර්‍ධන ගයන ගීතයේ මෙහෙම කියනවා:
ඉඳහිට හමුවන මේ පුංචි වෙලාවේ
ඇයි මේ ඔය තරමට අගය හිනාවේ
යහළු මිතුරු අය මග දී මුණගැසුනාම
සඟවන්නට එපා පිපෙන සුවඳ හිනාව
ඇත්තටම යහළු සිනහවක් මොනතරම් නම් අගේ ද?

ජිප්සීස් ගායක කණ්ඩායම ගයන ගීතයක, කියනවා:
හිනා හිනා හිනා හිනා වෙන්න හිනා
ඔහ් හිනා වෙන්න හිනා තරැණ වෙන්න හිනා
හිනා හිනා හිනා හිනා වෙන්න හිනා
කරදර ඉවත දමා පොඩ්ඩක් වෙන්න හිනා...
සිනහව කියන්නේ ඔසුවක්, අමිල ඔසුවක්. උදෙන්ම ඔබ මුණගැහෙන පුද්ගලයාට පුංචි, ලස්සන සිනාවක් පිරිනමන්න. එය එම පුද්ගලයාගේ දවසම වෙනස් කරන තිළිණයක්, driving force එකක් වෙන්න පුළුවන්.
ඔබේ චූටි පුතා මිඳුලේ වැහිවතුර වළක බැහැලා මඩ නාගෙන ගෙට එද්දි ඔබට කොහොමද දැනෙන්නේ? චූටි මුව රවුම් කරලා, curve කරලා පුංචි සිනාවක් දාද්දි එයාගේ නෝටි වැඩේ අමතක වෙනවා නේද?
රෙස්ටුරන්ට්, පාරිභෝගික සේවා, පිළිගැනීමේ නිලධාරි, ගුවන් සේවා සේවක මඩුල්ල ආදී පමණක් front-end රැකියා තියෙනවා රස්සාවටම සිනාසිය යුතුවෙන. බොහෝවිට ඔවුන් පුදන්නේ මවාගත් සිනාවක් වෙන්න පුළුවන්, එය මැනිය හැකි ක්‍රමයක් ඔබ වෙත නොවෙන්න පුළුවන්. සමාජයේ අපිට මුණගැහෙන අනික් අය ගැන ද ඒ කතාව පොදුයි. කෙසේ නමුත් පෙරළා ඔබ ඔවුන්ට නිර්‍ව්‍යාජ සිනාවකින් පිළිතුරු දෙන්න.
අද අපි ගෙවමින් ඉන්නේ මෑත ඉතිහාසයේ කවදාවත් මුහුණපා නැති තරම් දුෂ්කර කාලයක්. කෙනෙකුගේ ජීවිතය මොනතරම් බැරෑරුම් ද, දුෂ්කර ද හිතලා බලන්නවත් බැරි අවධියකය. හැකි සෑම විටම ඔබට මුණගැහෙන හැම කෙනෙකුටම සොඳුරු සිනාවක් පිරිනමන්න, ඔහු/ඇය පෙරලා පිළිතුරු සිනාවක් පාවි. අනිවාර්‍යයෙන් එයින් ඉහත කී ශාරීරික සුවයට මෙන්ම මානසික සුවය ඔවුනට ලැබේවි. ඒ ප්‍රතිලාභ ඔවුන්ට ලැබුණත් නැතත් ඔබේ නිර්‍ව්‍යාජ සිනාවකින් ලැබෙන යහපල ඔබේ සිරුරට, සිත් සුවයට ලැබේවි. තවත් සිතක සුවය සදන සතුට ඔබ වටා සතුට වඩාවි.

සිනා බෝ වේවා!

2022 ලෝක සිනහව දිනය නිමීත්තෙන් ලියූවකි

14 comments:

  1. අපි නං හැම වෙලාවෙම ඉන්නෙ හිනා වෙලානේ.

    මීට සෙවණගල රසික සංසදය

    ReplyDelete
    Replies
    1. ඒක අගෙයි. බොහෝම ස්තුතියි!

      Delete
  2. දැනුත් මේ හිනා වෙලාහිනා වෙලා කැස්ස හැදිල ඉන්හේලර් එකත් අරන් ඉන්නෙ..😀

    ReplyDelete
    Replies
    1. ඒකත් ඔසුවක් නෙවැ, බොහෝම ස්තුතියි සටහනට.

      Delete
  3. ජීවිතයේ ගෙවායන්න යුතුය මනාව
    භාවිතයේ තිබිය යුතුයි නිතර හිනාව...

    ජයවේවා

    ReplyDelete
    Replies
    1. අනීවා, බොහෝම ස්තුතියි!

      Delete
  4. හිනා හිනා හිනා හිනා වෙන්න හිනා.....
    කරදර ඉවත දමා චුට්ටක් වෙන්න හිනා....
    අගෙයි කියා දුන් පාඩම

    ReplyDelete
    Replies
    1. කවදාවත් පරණ වෙන්නේ නැති සිංදුව, බොහෝම ස්තුතියි ඔබට.

      Delete
  5. දැන් ඉන්න උන්ට හිනාවෙන්න උගන්වන්න වෙලා. ගොඩාක් කඩවල උන් ඉන්නේ මුස්පේන්තු මුණ දාගෙන බඩු ගන්න ආව එකාට සලකන්නේ තෝ මොකටද ආවේ ගානට.

    කොළොම්පුරේ අසංග

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත, දැන් කඩසාප්පුවල ඉන්නේ බොස්ලා හරියට පාරිභෝගිකයාට නිකම් දෙනවා ගානට කතාව.
      බොහෝම ස්තුතියි අසංග!

      Delete
  6. සමහරු ඉන්න තැන්වල සිනා සාගරයක්!
    ඒ අය හදවතින අපි එක්ක හිනා වෙනවා.
    ඒත් එයලගෙ ඇතුලාන්තය අපට පේනවා නම් අපිට ඉකි ගගහ අඬන්නට වේවි!

    මේ ලෝකෙ සුන්දර තැනක් කරන්නේ ආන්න ඒ අය!
    එයලා හින්දයි අපිත් හිනා වෙන්නේ.

    අපේ ජීවිත ලස්සන කරණ්නට එයාලා අපඉඅට දවස පටන් ගත් තැන ඉඳන්ම හිනාව පුදනවා!
    ඒ ඒ අයගේ ජීවිතය ලස්සන නිසා නොවෙයි!
    එයාලගෙ හදවත ලස්සන නිසායි!

    ආකර්ශණීය ලියමනක්!

    ReplyDelete
    Replies
    1. ඇත්ත. තම බොහෝ වේදනා, අඟහිඟකම්, දුක්කම්කොටළු යටපත් කරගෙන අනුන්ගේ සිනාහවට වෙහෙසෙන්නෝ එමටයි. ඔබ කිව්ව වගේ එයාලා තමයි මෙලොව ලස්සන කරන ඒන්ජල්ස්.

      බොහෝම ස්තුතියි ඇගයුමට.

      මගේ fb මිතුරු ලයිස්තුවේ ඉන්නා ප්‍රවීණ සිංහල බ්ලොග් මිතුරන් කිහිප දෙනෙකුටම "ශනිදා දහයට!" ගැන අප්ඩේට් පෝස්ට් එකකින් විස්තර දුන්නා.

      Delete
  7. අපිට ඇස්වලිනුත් හිනා වෙන්න පුළුවන් කියලා කොරෝනා තමා කියලා දුන්නෙ..මාස්ක් තිබුනට කවදාවත් හිනාව නොපෙනී ගියේ නෑ..

    ReplyDelete
    Replies
    1. ඔව් නෙහ්. ඇත්තෙන්ම Smile Eyes හෙවත් හිනැහෙන ඇස් වලින් නිහඬව දාහක් දේවල් කියන්න පුලුවන් කියනවා නෙහ්.
      ප්‍රසිද්ධ English quote එකක කියනවා SMILE. Your eyes sparkle when you do.

      Delete