Thursday, January 6, 2011

නාවිකයා: 3-මුහුදු කොල්ලකාරයෝ

මැද පෙරදිග රටක ස්වාභාවික ගෑස් ප්‍රවාහන නවුකාවක වැඩ කරන ඔවුන් යුරෝපය කරා යන්නේ එන්නේ මුහුදු කොල්ලකාරයෝ පිරි ගමන් මාර්ගයක් හරහාය. එම ප්‍රවාහන නවුකාවේ වැඩ කරන නැවියන් අතර අයෙකි විතාරණ. ගෑස් පුරවා ගත් ඔවුන්ගේ නැව තවත් ගමනකට සූදානම්, බියෙන් පිරි ඔවුන්ගේ ගමනක් වටා ගෙතුන කොටස් තුනකින් සමන්විත කතාවේ මෙය තුන්වෙනි (අවසන්) කොටසයි.

පලමු කොටස නාවිකයා: 1-ඉර බැස්ම
දෙවැනි කොටස නාවිකයා: 2-භීතිය


අපි තේ එකක් බීලා ආයෙ බ්‍රිජ් එක උඩට ආවා.

ශිෆ්ට් එක ඉවර වෙන අන්තිම වටයේ වැඩ, මේක ගොඩාක් කල්පනාවෙන් කරන්න ඕනේ, හැන්ඩ් ඔවර් කරන්න එපැයි.

ශිෆ්ට් එක ඉවරවෙලා කැබින් එකට එන ගමන්...

"වි තරණේ... උඹට මොනවද හිතෙන්නේ මුහුදු කොල්ලකාරයින් ගැන..."

උඩුම්බා මීට කලින් කීපවතාවක්ම මේ ප්‍රශ්ණය අහලා තියෙනවා, හැම පාරම මම මඟ ඇරියා...

"උඹට මොනවද හිතෙන්නේ..." මං පෙරලා ඇහුවේ පුංචි හිනාවක් එක්ක.

"අපි අප්‍රිකාණුවන්, අපිට බොහෝ වෙලාවට හිතන්න පුලුවන් තවත් අප්‍රිකාණුවෙක් හිතන විදිය ගැන... මට ඕනේ උඹලා හිතන විදිය ගැන දැන ගන්න..."

මට මෙදා පාර බේරුමක් නැහැ කියලා හිතුන නිසා මං විස්තර කරන්න හිත හදා ගත්තා.

"මට හිතෙන්නේ මුහුදු කොල්ලකාරයෝ කියන සෝමාලියෝ ත්‍රස්තවාදීන් නෙවෙයි".

ඉවසුමක් නැති උඩුම්බා "නෑ... නෑ උන්."

"හරි උන් කලින් ත්‍රස්තයින් වෙන්න ඇති, මං කියන්නේ උන් දැන් එහෙම නෙවෙයි කියලා..."

"උඹලා එහෙම ද හිතන්නේ..."

"බලපන් උන් මුලින්ම අල්ලගත් නැව් ගැන. ඒවා ඇමෙරිකානු, සවුදි, ප්‍රංශ... ඊට කලින් උන් කලේ එච්චර ලොකු නැති මුහුදු කොල්ලකෑම්. ඉන් පස්සේ නැව්වලට ආරක්ෂාවට කියල ජාත්‍යන්තර යුධ නැව් මෙතැනට ආව... උන් ආවත් කොල්ලකෑම්, නැව් අත්පත් කරගැනීම් නතර වුනේ නැහැ..."

"උඹලා හැමදාම ඇමෙරිකානු විරෝධී.... නොන්සන්ස්!" උඩුම්බා හරස් වුනා.

"පොඩ්ඩක් ඇහුම්කන් දීපන්... උන්ගාව තියෙන ආයුද ගැන බලපන්. එච්චර නවීන් ආයුධ කොහෙන්ද ත්‍රස්තයින්ට. මට හිතෙන්නේ මේ කොල්ලකාරයින් නාවික රක්ෂණ සමාගම් වලින් ගෙවීම් ලබන අය..."

"ලඟකදී අත්පත්කරගත් නැවක්, ස්ටාෆ් එක බේරගත්තේ යුරෝපා රක්ෂණ සමාගමක් නෙ... උඹ කොහොමද එහෙම කියන්නේ..." උඩුම්බා කේන්තියෙන් කිවා...

"දැට්ස් ද පොයින්ට...." මට ඉහේ මල් පිපුණා වගේ දැනුනත් උඩුම්බලා ගැන ඇතිවුනේ දුකක්... ඒ අදහස යටපත් කරගෙනම...

"බලපන් මට ඕනකරන තැනට උඹ ආවා... නාවික රක්ෂණ සමාගම් කියන්නේ යුරෝපා රටවල් මූල් කරගත් ව්‍යාපාර. උන් මුන්ට ඇමදීලා භීතියක් ඇති කරා කලාපයේ, ඉන්පසුව මේ පලාත හරහා යන නැව් වලට විශේෂ රක්ෂණ ක්‍රමයක් ඇතිකරා. රක්ෂණ සමාගම් ලොකු මුදලක් අය කලත් නැව් සමාගම් ඒකට එකඟ වෙන්න වෙනවා, නැතිනම් බඩු පටවන්න ක්ලයන්ට්ලා මැලි වෙනවා. ඉඳහිට සෝමාලියෝ නැවකට හිරිහැර කරපුවාම බටහිර හමුදා පොඩි පියවරක් ගන්නවා. බටහිර බලවතුන්ට ඕනේ මේ ලොකේෂන් එක උන්ගෙ බලය යටතේ තියාගන්න. කොල්ලකාරයෝ නැවක් අත්පත් කරගත්තාම රක්ෂණ සමාගම් සල්ලි දීලා බේරාගෙන හොඳ නම ගන්නවා. ඒ සමාගම් තව තවත් ප්‍රසිද්ධ වෙනවා... උන් තව තව සල්ලි හම්බ කරනවා."

උඩුම්බා ඉස්සරහටයි පස්සටයි සීරුවෙන් ඔළුව සලලා "උඹ හරි" කියන විදියට සිහින් හිනාවක් දාන්න ඇති කියලා හිතුනේ අඳුරේම සුදු දත් පේලිය දැක්ක නිසා.

"වි තරණේ, උන් ඔක්කෝම හම්බකර ගන්නවා. බලපන් මෙ පැත්තෙන් එහා මෙහා යන නාවිකයින් පොඩි දුකක් ද විඳින්නේ. මෙ පලාත හරහා යනවා කියලා දැනගත්තාම අපේ පවුල් වල අය පොඩි ගින්නක් ද දරනවා ඇත්තේ... ඇයි මෙහෙම වුනේ?" කියන ගමන් තම කරේ එල්ලෙන කුරුසය අරන් උඩුම්බා සිපගත්තේ අනික් පිටි අත්ලෙන් ඇස් පිසලමින්.

උඩුම්බාගේ වම් උරහිසට මගේ වමත දමා ඔහුගේ දකුණු උරහිසත් මගේ වම් උරහිසත් තදින් ගැටෙන සේ හිරකර ගත්තේ අපිරිමිත සෙනෙහසිනි...

එතැන් සිට අපි කිසිම වචනයක් නොදොඩා කැබින් එකට ඇතුල් වූයෙමු.

නාවිකයා කතාව මින් නිමාවේ. නවුකාව ඉදිරියට ඇදේ, විතාරණලා ද ජීවිකාව සමඟ ඒ ගමනේ යෙදිය යුතුය.

ප.ලි.
මෙය කල්පිත රචනාවකි, නම් ගම් හා චරිත මනහ්කල්පිතයන්ය
සීගිරි.කොම් ෆෝරමය පැවැත්වූ සීගිරි සාහිත්‍ය තරඟාවලිය 2010 සඳහා ඉදිරිපත් කල කෙටි කතාවකි

14 comments:

  1. හිතුවට වඩා වෙනස් අවසානයක් !!! වෙනස් පැත්තකින් හිතන්න කියාදුන්නට ස්තූතියි අයියාට,,,, දිගටම කතා ලියන්න,,
    ඔබට ජය !!!!

    ReplyDelete
  2. මමත් හිතුවේ නෑ මෙහෙම අවසානයක්..

    කොහොම වුනත් මම නම් ඔය මුහුදු කොල්ලකාරයෝ තියා නාවුක ජීවිතේ ගැන වත් අඹමල් රේණුවක් තරම් වත් දන්​නේ නෑ...

    හ්ම්ම්.. හිතන්න යමත් ඉතුරු කරල තියෙනවනේ...

    ජය වේවා....!!

    ReplyDelete
  3. කතාව හිතපු නැති ඉමකින් ඉවර කරලා. ප්‍රෙක්ෂකයා බලාපොරොත්තු නොවුනු පැත්තකට හරවලා. කොටස් තුනකින් පලවීමත් එයට හොඳ රුකුලක් දුන්නා. ස්තූතියි රසවත් ලියවිල්ලක් ඉදිරිපත් කරාට. අපි දකින දේට වඩා ගොඩක් දෑ ඇති බව පසක් කරන තවත් නිර්මානයක්.

    තවත් කතාවකින් හමුවෙමු.

    එළ එළ

    ReplyDelete
  4. අම්මප ඇත්තටම එහෙම වද්දෝ ඇත්තම සීන් එක?

    ReplyDelete
  5. විතාරණලා රැගත් නැව මුහුදු කොල්ලකරුවන් ගහණ පෙදෙස පසුකර රතු මුහුදට ඇතුල් වුයේ පසුගිය (දෙවැනි ) කොටසේ අග භාගයේ දී. ඔවුන්ගේ ගමනාන්තය වූ ස්පඤ්ඤයේ මැඩ්‍රීඩ් නුවර දක්වා ගමන නැවියන්ට සුපුරුදු රාජකාරී ශිෆ්ට්, පාළුව හා කාන්සිය අතර මාරුවෙන් මාරුවට චක්‍රාකාරව ගෙවී යාවි. පෙරලා හිස් නැව දෝහා නුවරට එද්දී ද මුහුදු කොල්ලකරුවන්ගේ ඉසව්ව හා බැඳුන නුහුරු "භීතිය" විසින් ඔවුන් පෙලාවි.

    ඒ ඉසව්ව පසුකරන හැම නැවියෙකුටම ආරක්ෂාව නොඅඩුව ලැබේවා. සියළු රැකවරණය හා ආශීර්වාදය හිමිවේවා!

    ReplyDelete
  6. නාවිකයා කථාව තුලින් නැව මුහුදු කොල්ලකාරයෝ අතට පත්වීමක් වැන්නක් බලාපොරොත්තු වුන සෙයක් ප්‍රතිචාර්යයන් ගෙන් පෙනී යනවා.

    දෙවැනි කොටස නිමාවෙද්දී නැව කොල්ලකරුවන්ගේ අණසක පෙදෙස පසුකර සිටියහ. කලාපය හරහා යන එන නැව් බොහෝමයක් එසේ ආරක්ෂාකාරිව කලාපය පසු කර යති. එහෙත් විටින් විට ඇතිවන අකරතැබ්බයන් නිසා පොදුවේ නාවිකයින් හැම පෙලෙන "භීතිය" ඔවුන් පත්කරන තත්වයත්, නාවිකයින් දෙදෙනෙකුගේ මත ගැටුමින් නූතන "මුහුදු කොල්ලකෑම" විමසීමත් ඉලක්කය විය. අපි "නාවිකයා" කතාව හරහා එතැනට ලඟා වූයෙමු.

    ReplyDelete
  7. @හරී - පිණිපළස:
    බොහෝම ස්තුතියි නංගී සටහනට.
    ඉහතින් මං සඳහන් කල සටහන් දෙකින් කතාවේ අරමුණ පැහැදිලි කලා.

    ReplyDelete
  8. @නිශ්:
    අකරතැබ්බයක් බලාපොරොත්තු වූවා වගේ...
    කතාව ඉක්මනට ඉවර කලේ නැහැ. ඉහත මගේ සටහන් දෙකෙන් කතාවේ ඉලක්කය පැහැදිලි කලා.

    බොහෝම ස්තුතියි ඔබේ සටහනට.

    ReplyDelete
  9. @සෝරෝ:
    නාවිකයින් රැගත් නවුකාව "භීතියෙන්" මුහුදු කොල්ලකරුවන්ගේ කලාපය පසුකර පරිස්සමෙන් තරණය කළෝය... ඔන්න ඒ ගැන සටහන් දෙකක් ඉහතින් එකතු කරා.

    බොහෝම ස්තුතියි ඔබේ සටහනට.

    ReplyDelete
  10. @Ravi:
    සිදුවෙන දේවල් අනුව එහෙමයි කියා හිතන්න කරුණු බොහෝය...

    බොහෝම ස්තුතියි ඔබේ සටහනට.

    ReplyDelete
  11. මුලු කතාවම එක සැරේම බැලුව.. හිතන්න යමක් ඉතිරියි... හැමදාම වගේ...

    ReplyDelete
  12. @චේජනා:
    බොහෝම ස්තුතියි නංගී කතාව කියවා සටහනක් තැබුවාට.

    ReplyDelete
  13. චන්දිමාJanuary 19, 2011 at 9:20 PM

    ප්‍රශ්නය දිහා වෙනත් කෝණයකින් බලන්න පොළඹවන මේ කතාවෙන් නාවිකයා කතා ත්‍රිත්වය අවසන් කියලානම් හිතෙන්නෙ නැහැ. කියලා තියෙනවා වගේම, විතාරණලාගේ ජීවිතය තව දුරටත් ඉදිරියට ඇදෙන නිසා වෙන්නට ඕන.

    ReplyDelete
  14. @චන්දිමා:
    ඔවුන් නිරුපද්‍රිතව භයානක අඩවියක් පසුකර තරණය කළෝය. එතැන් පටන් දිවා-රෑ දිනචරියාව වෙනසක් ඇද්ද? නැත. පෙරලා එද්දී ද තවත් වරක් එම අඩවිය ම පසුකරනු ඇත. ඔවුන් හැමටම නිරුපද්‍රිත ගමනක් පතමු.

    බොහෝම ස්තුතියි නංගී විමසුමට.

    ReplyDelete