Wednesday, June 1, 2011

ප්‍රතාපවත් රටඉඳිගස

රටඉඳි මදුලක් කියන්නේ රසබර වගේම ගුණපිරි වියළි පළතුරක්. පොල්, පුවක්, තල්, කිතුල් වගේ තාල (palm) වර්ගයට අයත් වුනත් රටඉඳි ගහ (date palm) වියළි දේශගුණයක් ඇති කාන්තාර ආශ්රිත පරිසරයේ වැඩෙන ගහක්. නොයෙකුත් වර්ග දහස් ගානක් ඇතැයි සඳහන් වෙන රටඉඳි, වසර 6000 තරම් ඈත අතීතයකට උරුමකම් කියන පර්සියානු බොක්ක (මැදපෙරදිග) ආශ්රිත ප්රදේශයට ආවේණික ගහක් හැටියට ගැනෙන අතර 17වන සියවස කාළයේ දී ස්පාඤ්ඤ මිශනාරිවරුන් විසින් ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්රාන්තය හා උතුරු මැක්සිකෝ දේශයට රැගෙන ගොස් හඳුන්වා දී ඇතැයි කියැවේ.


Phoenix Dactylifera කියන උද්භිද විද්‍යාත්මක නමින් හැඳින්වෙන ඉඳිගස උතුරු ඇමෙරිකානු කලාපය, මැදපෙරදිග දේශය, ඉන්දියාවෙන් පටන් පාකිස්තානය බටහිර ආසියාතික කලාපය පුරාද මහා පරිමාණ වගාවක් සේ පැතිර ඇත.


පරිණත ඉඳිගසේ කඳ සාමාන්යයෙන් සෙන්ටිමීටර 90ක් විතර විශ්කම්බයක් ඇතිව මීටර 15-30 උසක් දක්වා වැඩෙන අතර කඳ වටා සර්පිලාකාරව සැකසුන වියළී හැලුන අතුවල කොටස් දකින්න පුලුවන්. පොල් ගහක අතු පිහිටන ආකාරයට කඳ මුදුනේ අතු සියයක් විතර විසිරී පිහිටන ඉඳි අත්ත පිහාටුවක හැඩය එහෙමත් නැතිනම් පොල් අත්තක හැඩය  ගනී. මීටර් 3-5ක් පමණ දික් වෙන ඉඳි අත්තේ පිත්ත  දිගේ ඉරටුව දරන පොල් කොළ වලට සමාන සෙන්ටිමීටර් දෙකක් පමණ පලලින් 30ක් පමණ දිග ඉඳිකොළ සැකසෙනවා. වැඩෙන පරිසරයට ඔරොත්තු දෙන්න පුලුවන් අන්දමට වෙන්න ඇති ඉඳි කොළ ඝණකමින් වැඩියි, පොල් ඉරටු තරම් ශක්තිමත් මැද නාරටියක් නැතත් කොළයේ අග්ගිස්ස තියුණු උලක් වගේය.


රටඉඳි පලතුරක් හැටියට ගැනෙන අතර ඉංග්රීසියෙන් ඩේට්ස් (Dates), අරාබියෙන් තමූර් (Tamoor) හැටියටත් හින්දි හා උර්දු බසින් කජූර් (Khajoor) හැටියටත් හඳුන්වයි. රටඉඳි ඇටයෙන් පැලවෙන ගස ගැහැණු හා පිරිමි ගස් ලෙස ඒකලිංගික මල් දරණ ගස් වේ. පමණක් පත පොතේ සඳහන් වෙන්නේ ගැහැණු මල් කහ පැහැ වෙන අතර පිරිමි මල් සුදු පැහැ බව වුනත් අනෙකක පැහැ වෙනස දැකිය නොහැකි බව කියයි. ඉඳිමල් පොල්, පුවක් වගේම රෑන් ලෙස හටගනී. ගැහැණු ගස ඉඳි පල දරන අතර පිරිමි ගස පරාගනයට උවමනා මල් සඳහාම පමණක් වේ.


ස්වභාවිකව සුලඟ මගින් පරාගනය සිදුවෙන නමුත් ගොවිපල වගාවන්හි දී කෘතීම ක්රමයන් උපයෝගී කරගනී. සඳහා යන්ත්රාණුසාරයෙන් ඇතිකරන සුළං, පිරිමි මල් කපා ගහ මුදුනේ පරාග ඉසීම හෝ මල් රෑන ගහ මුදුනේ ගැට ගැසීම වගේ දේවල් කරන බව කියයි. මහා පරිමාණ වගාවන් හිදී පලදරන ගැහැණු ගස පමණක් වවන්න උනන්දුවෙන බව , ඔවුන් වෙලෙඳ පොලින් ලබාගත හැකි පිරිමි ඉඳිමල් යොදා ගන්නා බව කියැවේ.


ගොවිපල වගාවේ දී ඉඳිපැල; ඇට පැල කිරීමෙන් වගේම පරිණත ගස්වලින් ඇතිවන පැල යොදා ගෙන ද ඇතිකරයි. ඊට අමතරව නවීන කෘෂීතාක්ෂණික ක්‍රම උපයෝගී කරගෙන නොයෙකුත් විශේෂ නිපදවයි. ඉඳිඇට වලින් තොරව වැවෙන ගස්වලින් ඉක්මන්නින් හා වැඩි පලදාවක් වගේම උසස් තත්වයේ පල ලැබෙන බව මතයක් ද ඇත.


දිගින් සෙන්ටිමීටර් 3-7ක් පමණ ද ඝණකමින් සෙන්ටිමීටර් 2-3ක් ඔවල් හැඩයෙන් වෙන ඉඳි අමු අවදියේ දී කොළ පැහැය (අමු වෙරළු වගේ), මෝරන ගෙඩි ක්‍රමයෙන් කහ, රතු හෝ ඒ පැහැ දෙකම සම්මිශ්‍ර ලස්සන පාටක් ගනී. කහට ගතිය පිරුණ ගෙඩි ක්‍රමයෙන් ඒ රතු, දම් පාට ගැහී ඉදෙන්න මාස 6ක් විතර ගත වෙනවා.


මැදපෙරදිග උශ්ණාධික පරිසරය හා ඉඳිගස දේශගුණික තත්වය ඉතා සමීපව පිලිබිඹු කරනවා කිව්වාම හරි. උශ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 26-29 අතර ඇති සීතකාලය ගෙවෙද්දී ඉඳිගස් වලත් පොල් පැලවල වගේම මල් මතුවී සුදු, කහ මල් රෑනින් කඩා හැලෙන්න පටන් ගන්නවා, ගස් වල වර්ගය අනුව වෙරළු ගෙඩි වගේ වටකුරු, දිගැටි අමු ගෙඩි පිරෙන්නේ හරිම ලස්සනට. ඒවා මෝරනවා බලන්න උඩට යනවා වගේ රසදිය කඳ උඩට යමින් පරිසරයේ උශ්ණත්වය ඉහළ යනවා. කහ, රතු ඉඳිගෙඩි තව තවත් ලස්සන පාට ගන්නේ උශ්ණත්වය ඉහළ යන තරමට. ඒ ගෙඩි හොඳට මෝරා දිලිසෙද්දී වසරේ ඉහළම ඌශ්ණත්වය සටහන් වෙලා දවා සති ගානක් පවතින්නේ රටඉඳි පොකුරු දම්පාට වෙලා පැණි පිරෙන්න. පරිසරය හා බැඳි මිනිසුන් ඉඳි ගහ දිහා බලලා දේශගුණික තත්වය කියන්න පුරුදු වෙන්නේ එහෙමයි.



රටඉඳි වර්ග අනුව පලය වෙනස් නම් වලින් හඳුන්වයි. තවද ඒ ඒ වර්ග අනුව හැඩය, පාට ද මදුලේ ප්‍රමාණය හා ගණකම වෙනස් වේ. රටඉඳි වර්ග ගැන පිංතූර හා වැඩි විස්තර මෙතැනින් දැනගත හැකියි. තවත් එවැනි විස්තර සපයන තැනක් විකිපීඩියාව.

කාලාන්තරයක් තිස්සේ ලංකාවට රටඉඳි සැපයූවේ ඉරාකය විසිනි, මෑත කාලයේ ඒ කාර්යය සවුදි අරාබිය හා ඉරානය විසින් ඉටුකෙරේ.


ලාංකික ජන ජීවිතයේ පොල් අතු පාවිච්චිකරීම වගේ වහල සෙවිලිකීරීමේ සිට නොයෙකුත් ආවරණය කිරීමේ කාර්යයන් සඳහා ඉඳිඅතු යොදාගෙනී.

මේ තියෙන්නේ රටඉඳිගස ගැන පිංතූර හා තොරතුරු එකතුවකින් සැකසූ ස්ලයිඩ් ෂෝ එකක්. එය embed කරවිට කොමන්ට් ෆොර්ම් හි ඇතිවූ ප්‍රශ්ණයක් නිසා ස්ලයිඩ් ෂෝ එක මෙතැනින් ඉවත් කරන්න වුනා. මේ ලින්ක් එක මගිනුත් ස්ලයිඩ් ෂෝ එකට යත හැකිය: රටඉඳිගස - Date Palm - Slide Show.

Sunday, May 1, 2011

අරුණලු

දවස නිමාකර ක්ෂිතිජ ඉමෙන් හිරු බැස යන්නේ විඩාබර ලොවට විරාමයක් ලබාදීලා, වෙහෙසකර දවස අග විවේකයක් ගන්න ඉඩ සලසලා. අඳුර පැතිරෙන අහස සෞම්‍ය සඳකැනින් ඔපවත් වෙන්නේ අලංකාරව, ඒ අතර ඉසිරුන පුංචි තරු නොපෙනෙන තරම්. සඳ නැති අහසේ ලොකු පොඩි තරුකැට දිදුලන්නේ අහස හිස් නොකර. ඒ තරුමල් වල දීප්තිය මොනතරම් ද දකින්න පුලුවන් වෙන්නේ අඳුරු අහසේ, බොහෝවිට ගනාදුර අහස ගිලගනිද්දී නොවෙද?

වැහි බිඳක්වත් නැති කලෙක දවසේ සැඩ හිරු රැසින් දැවුන පොළෝතලය පිණි බිඳු වලින් සිසිල් වෙන්නේ ගනාදුරු අහස යට. සැඟව ගිය හිරුගෙන් ලද විරාමයේ ගිමන් හරින ගස් කොළ මත රැඳෙන පිණි බිඳු මද පවනේ ලෙලෙන කොළ මත නොවෙද මුතු බිඳුවක හැඩ ගන්නේ. කොළ අග්ගිස්සෙන් ගිලිහුනත් පිණි පොද නොවෙද වියලි පොලෝ තලය තෙතමාත්තු කරන්නේ.

රාත්‍රී අහස මොනාකාර වුවත් අළුත් දවසක් උදාකර නැග එන නැවුම් හිරු කිරණින් ලොව නැහැවෙන්නේ සුවහසක් පැතුම් මල්පල ගන්වන්න. අරටුවෙන් මතුවෙන්න මානන නැවුම් දල්ලක්, අතුඅග පිපී ලොව පාට කරන්න සුවඳ කරන්න බලා ඉන්න මල් පොහොට්ටුවක්, නිසසල පරිසරය කුරුළු ගීතයෙන් පුරවන්න බලා ඉන්න සියොතුන්; ප්‍රබෝධමත් වෙන්නේ ඒ නැවුම් හිරු කිරණින් නොවෙද.

ජීවිතය ද දිවා-රැයින් පිරුණ දවසක් වගේ නොවෙද, එහෙත් ජීවිතයක ඒ කාල කලාප දෙක දවසේ විසිහතර පැය මෙන් කෙටි වෙනවානම් දිවා රෑ වගේ මාරුවෙනවා නම් වාසනාවකි. බොහෝ විට එක් කාල කලාපයක් අනෙකට සාපේක්ෂව බොහෝ දික් වෙන්නත් පුලුවන්. අඳුර ගිලගත් රාත්‍රිය ගෙවිලා නේද උදෑසැන එළිය එඹී බලන්නේ.

උදේ මුදු හිරු රැසින් පිපිය යුතු මල් පොහොට්ටුවක්, දැඩි අරටුවකින් මතුවිය යුතු ලදල්ලක් ගැන සිතන්න. අරුණලු ලොව විහිදෙද්දී පිපෙන්න නම් පොහොට්ටුව අතු අගට ආයුතු වන්නේය. දල්ල අරටුවෙන් එළිය දකින්න නම් ගසේ පොත්ත මතුපිටට ආයුතුයි. මෙලෙක් මල් පොහොට්ටුව, සියුමැලි දල්ල ගසේ කඳක් හරහා මතුවී එඹී බලන්න මොනතරම් බාධක ජයගන්න වෙනවා ඇද්ද? හිතා බලන්න... හිරු සැඟව ගිය අඳුරු රාත්‍රියක ඉරී කැඩී ගිය ගස් කඳ පොතු පිරිමැදගෙන විවේක ගනිද්දී තව තවත් දැඩිවෙන්න ශක්තිමත් වෙන්න තැනෙද්දී මතුවිය යුතු අලුත් දල්ලක් ඊටත් වඩා ශක්තිමත් වෙන්න වෙනවා; ජය ගන්න නම්.

අපේ ජීවන ගමනේ දී අනේක කම්කටොලු වලට මුහුණපාන්න වෙනවා. ඒවාට දිරියෙන් මුහුණ දී ඉදිරියට යන්න සමත්වෙන්නා ජය ගන්නවා. ඒ ගමනට දිරියක් දෙන්න සමත් විය හැකි, රුකුලක් වෙන්න පුලුවන් දෑ; විශේෂයෙන් විශ්ව සාහිත්‍යයෙන් පෝෂණය වෙන දිරිමත් කරවන කියමන් (inspirational quotes) අලලා කල රචනා අපේ පාඨකයින් අතරට සිංහල බසින් ගෙනෙන්න උත්සාහයක් අරුණලු.

අරුණලු|Inspirational ගල්මල් අඩවියේ තවත් පියවරක්. එන්න කියවන්න, ඔබත් දායක වෙන්න, විස්තර මෙතැනින්.

Sunday, April 17, 2011

කොහා කෝ නුඹ


එරමුදු මල් නොපිපෙන කතරක
ලැඟුම් ගන්නට ගසක් නැතිවද
කොහෝ නද නුදුන්නේ…
කැවුම් කොකිස් මුං අතිරහ
සුවඳ අල්ලන නහය දික්කර
රබන් සුරල් රැව්දෙන දෙසවන
යොමා නෙතු ඈත වැලි මිටියාවත…
සුසුම්ලනු එපා නුඹ
මතුවුනොත් වැලි කුණාටුව
ගිල ගනීවි හිස් කතර
ඇලී දූවිලි තෙත නෙතේ…
තුන්සියක් හැටපස් දිනේ
බත බෙදන ලිප
නිමන්නේ කෝමද…
සුසුමින් රත්කර උතුරවන්
ලබන තුරු අලුත් අවුරුදු දිනක්

 
තම පවුලේ අයගේ උවමනාවන් සකසා දෙමින් ගෙදරින් පිට ඈත දේශවල රැකියාවේ යෙදෙන්නන් බොහෝය. පවුලේ උදවිය එකට එකතුවෙන අලුත් අවුරුදු දවසක කඩාවැටෙන හිතක් අද්දර ඉඳ විමසන්න උත්සාහ කලේ වසර පුරා බත සකසන ඔවුනට කිරි ඉතිරෙන්නේ කවදාද?


ප.ලි:
හැම දුක් කන්දරාවක්ම යටපත් කරගෙන අනුන්ගේ හිත්වල සිනාරැලි මතුකරන්න වෙහෙසෙන අය බොහෝය. එවන් අයියා කෙනෙකුගේ කැපවීමෙන් උගත් මල්ලියෙක් තම වෘත්තීය ක්ෂේත්‍රයේ (මැදපෙරදිග) රැකියාවට පැමිණ උදාවූ පලමු අලුත් අවුරුදු දා දකින යථාර්ථය වටා ගෙතුන කතාවක් OneZeroZero හි පල කල ලොකු අයියේ අවුරුදු ජයද?

Tuesday, March 22, 2011

වතුර වීදුරුවේ දියකර වස විස බොන්නේ ඇයි?

අද මාර්තු මස 22දා; ලෝක ජල දිනය (World Water Day) යෙදී තියෙන්නේ අදට. 1993 වසරේ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් හඳුන්වා දුන් ලෝක ජල දිනය නිමිත්තෙන් ජලය හා ජන ජීවිතයට අදාල විවිධ තේමාවන් මුල්කරගෙන වාර්ෂික වැඩ සටහන් දියත් කෙරේ. 2011 වසරේ ලෝක ජල දින තේමාව ජලය හා නාගරීකරණය (Water for Cities) යන්නයි. පසුගිය වසරේ තේමාව වූයේ සුවසෙතින් පිරුණ ලොවක් සඳහා පිරිසිදු ජලය (Clean Water for a Healthy World) යන්න විය.

නූතන සමාජයේ නාගරීකරණය සිදුවෙන වේගය අනුව වනසම්පත් විනාශය හා පරිසර දූෂණය නිසා ස්වභාවික ජල සම්පත මුහුණපා ඇති තත්වය ගැන අමුතුවෙන් ලිවීම අවශ්‍ය නොවේ. ශ්‍රී ලංකාවේ ස්වභාවික ජල සම්පත බහුලව ඇති නිසා දෝ අපේ රටවැසියන් ජල සම්පත ගැන එතරම් අරපිරිමැස්මක් නැහැ. අපේ අසල්වැසි දකුණු ආසියාතික රටවල මිලියන ගනන් එදිනෙදා පාවිච්චියට ප්‍රමාණවත් තරම් ජලය නැතිව පීඩා විඳිති. ඒ ගණයට අයත් මිලියන 880ක ජනතාවක් ලොව පුරා වූ බව පසුගිය වසරේ ලෝක ජල දිනය නිමිත්තෙන් පල වූ වාර්තාවක සඳහන් විය. ලංකාවේ වියළි කලාපයේ ද බීමට සුදුසු ජලය නැතිව පීඩාවිඳින අය බොහෝය.

භූගත ජල සම්පත සුලබ හෝ දුලබ වුවද නවීන කාර්මිකකරණයත් සමඟ ජල සම්පත මුහුණපාන ප්‍රධාන ගැටලුවක් වෙන්නේ ජල දූෂණයයි. නොයෙකුත් හේතූන් නිසා ජල දූෂණය සිදුවිය හැකිය, ජල සම්පත හා පරිසරය දූෂණයවීමෙන් වලකාලන්නට අපිට කල හැකි පුංචි දායකත්වයක් ගැන සාකච්ඡා කිරීමයි මෙම ලිපියේ අරමුණ.


දැනට භාවිතයේ ඇති විද්යුත් වියළි කෝෂය හෙවත් බැටරිය ක්‍රි.ව. 1800 තරම් ඈත කාලයේ සොයාගැනීමක් බව කියැවේ. බැටරියක අන්තර්ගත රසායනික ද්‍රව්‍ය බඳුන්වෙන වෙනස්කම් වල ප්‍රථිපලයකින් විද්යුත් දහරාවක් ඇතිවේ. ලොව වඩාත් ප්‍රචලිත බලශක්ති ප්‍රභවයක් ලෙස එදිනෙදා කටයුතුවලදී මෙන්ම කර්මාන්ත ආශ්‍රිතව ද බැටරි මගින් කෙරෙන කාර්යය ඉමහත්ය. 2005 වසරේ දී ලෝකයේ බැටරි බාවිතයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 48 ක ආදායමක් ලබන්න ඇස්තමේන්තුකර තිබුණේ යැයි වාර්තා විය. තවද එතැන් පටන් ලොව බැටරි භාවිතය වාර්ශිකව 6% ක ආදායම් වර්ධනයක් බලාපොරොත්තු විය.

තාක්ෂණික දියුණුව හිනිපෙත්තේ වැජඹෙන නවින යුගය විවිධාකාර මෙවලම් (tools) හා උපාංග (accessories) වලින් පිරී ඇත. ඉන් බොහෝමයක්ම ඉලෙක්ට්‍රොනික උපකරණ හෙවත් ගැජෙට් (gadget). නූතන සමාජය බලාපොරොත්තු වෙන්නේ හැකි හැම දෙයම එහා මෙහා යද්දී අරන් යන්න ඇති පහසුතවය හෙවත් ඉංග්‍රීසි බසින් කියන මොබිලිටි (mobility) ය. ඉලෙක්ට්‍රොනික විද්‍යාවේ නිරන්තරයෙන් සිදුවෙමින් පවතින දියුණුව ඕනෑම නිෂ්පාදනයක් ඉතා හුරුබුහුටි, හිතන්නවත් බැරි තරම් කුඩා නිමැවුමක් බවට පත්කරන්නේ තරඟයට මෙනි. ඒ අනුව නිෂ්පාදකයින් ඉලෙක්ට්‍රොනික ගැජෙටයන් පණපෙවන විදුලි සැපයුම හා ඒ සැපයුම උපරිම කාලයක් රඳවා ගත හැකි බලශක්ති මූලාශ්‍රයන් පිලිබඳව උනන්දු වූහ.

ඒ ඔස්සේ කලකට පෙර විදුලි පන්දම් ආදියෙහි පාවිච්චි කල බැටරිය ප්‍රමාණයෙන් කුඩා වෙමින්ද, බලයෙන් වැඩිවෙමින් ද වෙනසකට බඳුන් වෙන්න පටන් ගත්තේය. නිරන්තරයෙන් කුඩා හා සැහැලල්ලු වෙන නිෂ්පාදනයන් හි රැඳවිය හැකි කුඩා පෙත්තක් ආකාරය දක්වා කුඩාවිය, එහෙත් වැඩි බලයක සැපයීමට ඇති ඉල්ලුම නොනැවැතී ඉහල යමින් පවතී. ඒ අතර තුර නැවත නැවත ආරෝපණය හෙවත් රීචාර්ජ් කල හැකියාව ඇති බැටරි නිෂ්පාදනය ආරම්භ විය. මුල් කාලයේ හදිසි අවස්ථාවක බාවිතා කරන ඉමර්ජන්සි ලයිට් වැනි භාණ්ඩ වලට හා කාර්මික අවශ්‍යතා සැලසූ මේවා පසුව මොබයිල් ෆෝන් ප්‍රචලිත වීමත් සමඟ නව නැම්මක් පෙන්විය. ඒ දියුණුව බැටරි නිෂ්පාදනය විශාල වෙනසක් කලේය.

අද කුඩා බිලිඳුන් නලවන හුරුබුහුටි සෙල්ලම් බඩුවක සිට, මොබයිල් ෆෝන් හා ඒ සම්බන්ධ ගැජෙට්, යාන්ත්‍රිකව වැඩ කරන දත්බුරුසුව පටන් අනේක එදිනෙදා භාවිතා කරන දෑවල - කොටින්ම කියනවා නම් සිහින් එලියක් හෝ හඬක් නිකුත් කරන ඕනෑම නිෂ්පාදනයක විදුලි සැපයුම සිදුවෙන්නේ විවිධාකාර බැටරි වලිනි. සංගීතයෙන් හා ඉතා සියුම් දිලෙන තරු වැනි බල්බ වලින් සැරසූ සුභපැතුම් පත් වෙළෙඳ පොලේ දක්නට ලැබීම බැටරියේ තුනී නිමැවුම පිලිබිඹු කරන්නකි.

සාමන්‍ය බැටරියක සින්ක්, කාබන්, ක්ලොරයිඩ්, ඇල්කලයින්, ලිතියම්, රසදිය යනාදි රසායනික ද්‍රව්‍ය එකක් හෝ කිහිපයක් ඇත. රීචාර්ජ් කල හැකි බැටරියක නිකල්, කැඩ්මියම්, ලිතියම්, ඊයම් (ලෙඩ්), සින්ක් ආදී රසායනිකි ද්‍රව්‍ය තිබිය හැකිය. මේ රසායනික ද්‍රව්‍ය ශරීරයට හානිකර ඒවා වේ. ඒ නිසා පාවිච්චි කල බැටරියක් ඉවතලෑමේ දී පරිස්සම් විය යුතුය, නොවුවහොත් දිරාපත්වෙන, ගිනිමැලයකට හසුවී පුපුරන හෝ අපවිත්‍ර ජලයගලන කාණුවක පෙඟී මුදා හරින බැටරියක රසායනික ද්‍රව්‍ය වලින් හිතනවාට වඩා බරපතල හානි පැමිණිය හැකිය. ඉන් පරිසරය දූෂණය විය හැකිය. එසේ පස හා එක්වෙන හානිකර රසායනික ද්‍රව්‍ය භූගත ජලය හා එක්වී ලිං, ගංඟා වැනි පානියා ජල සැපයුම් මගින් ශරීරගත විය හැකිය.

ලොව විද්‍යාව හා තාක්ෂණය පැත්තෙන් ඉහළින් ඉහළට යන්නේ ඉතා වේගයෙනි. ඒවගේම ලෝකවාසී ජනතාවගේ ශාරීරික සෞඛ්‍යතත්වය දිගින් දිගටම පිරිහේ. විද්‍යාව දියුණු නවීන කාලයේ ලොව උපදින කිරිකැටි දරුවන් 125 දෙනෙකුගෙන් සාමාන්‍යයක් සේ අයෙක් උත්පත්තියෙන්ම අසම්පූර්ණ හෘදයක් තුරුල් කරගෙන එනබව, බොහෝ දරුවන් ශ්වසන රෝගවලින් පෙලෙනබව, තවත් කොටසක් රුධිර සම්බන්ධ පිලිකා ආදී අනේක රෝගී තත්වයන් ගෙන් පෙලෙන බව අපේ සමාජයේ කී දෙනාද දන්නේ. මේ අවාසනාවන්ත තත්වයට අපේ රට ගොදුරු වෙමින් සිටී.

ලොව දි‍යුණු විද්‍යාවන් මෙකී අවසනාවන්ත තත්වයට හේතු සොයමින් වෙහෙසෙන අතර දයාබර ඔබට මට කරන්න කාර්යයක් ඇත. අඩුම තරමින් තවත් බැටරියක් විසිකරන්නන් වාලේ විසිනොකර නිසි තැනක බහාලමු. අපි මුල් පියවර තබමු. කුණු කසල ඉවත්කරන, විනාශ කරන උදවිය ඉවතලන බැටරි නිසිපරිදි විනාශකරන්න උනන්දු කරවන්න අපිට පුලුවන් වියයුතුයි.


ඔබත් බැටරියක් පාවිච්චි කරලා විසි කරනවානම්... එය තවත් ජීවිතයකට, හෙට උපදින කිරිකැටියෙකුට හානියක්, පීඩාවක් නොවෙන ලෙස වගකීමෙන් ඉවතලන්න කටයුතු කරමු. එසේ නොවුවහොත් අපි මතු දිනෙක බීමට නියමිත වතුර වීදුරුවට හානිකර වස විස එක් කිරීමට අපිම දායක වූවා වියහැකිය.


"ලෝක ජල දිනය" ගැන වැඩි විස්තර මෙතැනින්.

මෙම ලිපියත් කියවලා බලන්න: උතුරු මැද වකුගඩු රෝගයට රසායනික ද්‍රව්‍ය අඩංගු භූගත ජලයත් හේතුවක්

Wednesday, March 16, 2011

ගුවන් සේවිකා


දොරටුවේ රැඳි එන හැම පිලිගෙන
උනට පහසුව සුබ ගමනක් සකසන
හිරිහැර කරදර මැද සියුමැලි සිනාවක්
නගන්නේ කොහොමද නුඹ

වාසුලියකට උඩ පහල යනෙන
විමානයේ කුසගින්දර නිවාලන
රස බෝජුන් කරත්තය බදාගෙන
රැකගන්නේ කොහොමද නුඹ

බඩු පොදි එක් කරගෙන උනුන්
නිසසල තටු මතින් බැසයන
සුනංගුවේ මීමැස්සියක සේ
පියාඹන්නේ කොහොමද නුඹ

තරු නවාතැනේ ලැගුම් ගන්න
රූපලාවන පෙට්ටියේ සැඟවුන
පුංචි උඳුනකින් කුස රවටා වත
රැකගන්නේ කොහොමද නුඹ

ග්‍රෑම් සියයක් බර වැඩි වුනාම
සිහින් සිනාව අඩු වුනාම
නැගෙන ගෝරනාඩුව යට කරන්න
වෙහෙසෙන්නේ කොහොමද නුඹ

කරේ රැලි මාල වැඩිවුනාම
පියාසල අත්තටු බිඳලුවාම
රිදුම් දෙන පිට පිරිමැදගෙන
ඉවසන්නේ කොහොමද නුඹ


සටහන:
මෑත කාලයේ තරම් ගෝලීකරණය ලෝක ආර්ථිකයේ මුල් තැනක් ගත් යුගයක් තවත් නැති තරම්. ඉන් ඇතිවූ ලොව නන්දෙස එකිනෙක යාකරීමේ අවශ්‍යතාවයට උරදෙන මහාපරිමාණ ප්‍රවාහණ කර්මාන්තය තුල මගී ප්‍රවාහණය ප්‍රධාන තැනක් ගනී. පසුගිය දශක දෙක තුල ගුවන් මගීන් ප්‍රවාහන කර්මාන්තය ප්‍රබල වර්ධනයක් පෙන්නුම් කලේය. ඒ අනුව ගුවන් සේවාවන්හි රැකියා අවස්ථා ද බහුල විය.

මගී ගුවන් සේවා යානයක් තුල සැපයෙන සේවය (inflight service) ඉන් ප්‍රධාන තැනක් ගනී. පැය ගනනාවක ගමන් කාලයක් තුල මගීන්ගේ ඕනෑ එපාකම් සොයා බලමින් ඔවුන්ගේ සුව පහසුව (comfort) ද එමගින් ගමනේ ආරක්ෂාව (safety) ද සකසන කාර්ය මණ්ඩලය පොදුවේ Flight Attendants හෝ Cabin Crew ලෙස හැඳින්වෙන අතර පිරිමින් ගෙන් සැදුම් ලත් සේවක මණ්ඩලය හැඳින්වීමට Stewards හෝ Air Hosts ලෙසත් කාන්තා පාර්ශවය ගුවන් සේවිකාවන් ලෙස කීවද Stewardesses හෝ Air Hostesses ලෙසද හැඳින්වේ. ගුවන් සමාගමක මහජන සම්බන්ධතා පිලිඹිබු කරන කැඩපත සේ සැලකෙන ඔවුන්ගෙන් බලාපෙරොත්තුවෙන සේවාවේ ඉහළ තත්වයන් නිසා ඔවුන් මත පැටවෙන වගකීම හා පීඩනය ද අපමණය.

ගුවන් යානා සේවක මඬුල්ල අතර ගුවන් සේවිකාවන් හිමි කරගන්නේ ප්‍රධාන තැනකි. රූසපුවෙන් පරිපුන් යුවතියන්ට ගුවන් සේවිකා රැකියා අංශයට දොරහැරෙන අතර ඔවුන් පාරිභෝගික සේවාවන් හා මහජන සම්බන්ධතා ආදී ක්ෂේත්‍රයන් අලලා කෙරෙන පුහුණුකින් පසුව පදවි ලබයි. බැලූ බැල්මට සමනලියන් සේ පෙනුනද ඔවුන්ගේ රැකියාවේ ස්වභාවය කටුකය.

යානය තුලදී මගීන්ගේ සුවසෙත සිට ගමන්මලු පොදි මෙහෙයවීම දක්වා වෙන විවිධ කටයුතු ඔවුන්ගෙන් සිදු විය යුතුය. ගුවන් යානයක් ගමන පටන් ගැනීමත් සමඟ ම කෑමබීම පුරවාගත් ට්‍රොලියක් ආම්බාන් කරන ඔවුන් හදිස්සියේ ඇතිවිය හැකි යානයේ ඉහළ පහළ යෑමක්, වා සුලියක බලපෑමක් ආදී අවස්ථාවක ආහාර පාන ඉසිරීමෙන් හා ට්‍රොලිය පාලනයෙන් මිදුනාම වියහැකි අනතුරු වලින් මගීන් හා යානය බේරාගන්න කර යුතු වෙන්නේ සුළුපටු යුද්ධයක් නොවේ. යානයෙන් පිට අහිතකර පාරිසරික තත්වයන් නිසා යානය තුල ඇතිවිය හැකි ගැස්සීමකින් බලාපොරොත්තු නොවූ ආකාරයකට ඒ මේ අත විසිවෙන ගමන්මලු වලින් සිදුවිය හැකි අනතුරු වලින් මගීන් බේරාගන්න ඔවුන්ට කලයුතු වෙන්නේ කැපවීමකි. ඔවුන් විඳින ශාරීරික පීඩාවන් අපමණය. මේ බලපෑමෙන් වසර කිහිපයක් වැඩකරන අතර තුර ඔවුන් කොඳු ඇට, සන්ධි හා අස්ථි සම්බන්ධ විවිධ රෝගවලට මුහුණපායි. පමණක් අය ජීවිත කාලය පුරා පීඩා විඳින රෝගී තත්වයනට භාජනය වේ.

රැකියාව උදෙක් බලාපොරොත්තු වෙන රුව හා හැඩය රැකගැනීමට ගුවන් සේවිකාවන් නිතර උනන්දු විය යුතු වේ. ඔවුන්ගේ පියාසර කාලය හා පඩිපත බොහෝ තදින් වෙලා ඇත. රැකියාවේ පීඩනය බහුල මොවුන් නොයෙකුත් ජාත්‍යන්තර නීතිමාලාවන් යටතේ සුරැකුනද ඔවුන්ගේ සේවාකාලය එතරම් දීර්ග නොවේ. එනිසාම දෝ ඔවුන් දුර ගමනකදී ලැබෙන දීමනා ආදිය ඉතිරි කරගන්නේ අරපිරිමැස්මෙනි. තවද ඔවුන් මුහුණපාන මානසික පීඩාවන් ද කෙලවරක් නැත.


ප.ලි:
සමාජයේ ඔවුන් පිලිබඳව විවිධ මත තියෙන්න පුලුවනි. මින් පෙර මා රැකියාව කල ප්‍රමුඛ පෙලේ ජාත්‍යන්තර ගුවන් සාගමක සේවා කාලයේ දී අහන්න වූ කරුණු වලින් ඇති වූයේ අනුකම්පාවකි. එතරම් පීඩන මැද රැකියාව කරන ඔවුන් ගුවන් යානයට අතුලු වෙන මගීන්ට සිනාවකින් සංග්‍රහ කරන්නට මැලි නොවෙති.


* Picture is only for illustrative purpose

Tuesday, March 8, 2011

දුරු රටක කම්මලේ පොඩි නගේ


දුරු රටක කම්මලක
ලොකු රෙදි කෑලි
යාකරන විරිය දෙන
පොඩි නගේ

නුඹේ කඳුල දහදිය
යටකර විලවුන් මැද
නම දරන පංතියේ
බැබළෙන අඳුම්

සරසනා වීදුරු කුටිවල
මෝස්තර රඟනා බබුන්
වසීකර ගෙනෙනා කාසිය
දිනක දනටත් පිදෙයි

විලවුන් ඉසා සැරසී
කුලඟන පිරිවරන්
බලන් පුදන හැටි දිවි
දිනක දී බෙරිහන්

ආයෙත් උදාවන තුරු
නව කැලැන්ඩරේ දිනක්
සීතලේ ගුලිවෙන එවුන්
සරසන සළු පට මසන්

ඉරිතැලුණ කම්මල
රඳවන වීරිය දරන්
නාය යන පොලවක
නුඹ දාඩිය හෙලන්


පිදුම:
අද ජාත්‍යන්තර කාන්තා දිනය. අනේක බර කරපින්නා ගෙන ඈත දේශවල කම්හල්වල දහඩිය හෙලන, පැසසුමට බඳුන් නොවෙන දිරිය සොයුරියන්ට.


ඔවුන් වේගයෙන් දිවෙන මැෂින් සමඟ පොරබදිති. දහසක් දුෂ්කරතාවයන් මැද කහවනු උපයා පවුල් බර අදිති, රටේ ආර්ථිකයට උරදෙති.
වත්මනයේ මැදපෙරදිග කලාපයේ ඇතිවී තියෙන සමාජ රැල්ල කලාපයේ රැකියාවේ නියුතු විදේශිකයින්ට බලපානවා මෙන්ම කම්හල් වලට ද දැනෙනු ඇති.

මැදපෙරදිග රැකියා අවස්ථා උදාවූයේ ප්‍රතිපත්තිමය තීරණයක් මුල්කරගෙන (වැඩි විස්තර සඳහා පතොක් යාය). වත්මන් සමාජයේ ඇති බලපෑම උඩ එය වෙනසක් වුවහොත්...

Featured Post

ජීවිතය හීයකි - Arrow

  ජීවිතය හීයකි බලාපොරොත්තුවෙ ඉලක්කය වෙත  ඇදී යන හී හිසට ජවය, රුකුල දණ්ඩම ලබා දියයුතු ජීවිතය හීයකි ඈත මෑත  ඉලක්කය ගෙන සීරුවෙන් විදින, ඉලක්කය ...

Popular Posts