Sunday, May 16, 2010

අපේ අත්කම් කලාව - Our Handicraft


හෑල්ලු කදුරු ලීය හරි හරියට
පදම් කර අපූරු හැඩ කපා
පාට සායමින් ඔප කර පන පොවනා
වෙස්මුහුණු කලාව

දැඩි සවිමත් කළුවර කඳ
කපා හැඩකල තනා රැල
බැඳ මෙල්ලම් කල
අලි කපනා කලාව

රත්වී දියකර ඉටි පින්සල
ඇඟිලි තුඩින් රූමත් කර
පාටින් හැඩ වැඩි කර සළුපිලි පට
බතික් කලාව

බංකු පොඩ්ඩක කැරකෙන
සූක්ෂමව ගලපා පහලොස් තිස්
හූයන් වියනා මනරම් රෙන්ද
බීරළු කලාව

මඩ ගොඩකින් නෙලා ගෙනා
පන්කොළය පදම් කර පාට කවා
රටා පැදුරු විසිතුරු දෑ කරනා
පන්වියනා කලාව

කාලයක් පුරා දස්කම් විස්කම්පා
පරම්පරා ගනනාවක් සුරැකුන
මෙදා මහළු අයම වෙහෙසෙනා
අපේ අත්කම් කලාව

විදෙස් සංචාරක කාසියම පතා
දහඩිය හෙලන අත්කම් ජනයා
ගෙවුන අමාවක කල රැක්කේ
පුද්ගලික සමරු විකුණුම් හල

වෙහෙසුන දෑස් යොමුකර
බලා හිදී නැග එන ඉර
ගෙනෙනා කහවනු බර
නොකරන් එය ඉඩෝර

අනේ එත්
යනදා ඔවුන් ගමන යායුතු
යයිදෝ අත්කම් දැනුමත් අප සතු

පොත් මිටියට ම යටවුන
පෝලිමෙ ම එක්වෙන
යොවුන් සිත් පිබිදේ නම්
තුරුලට ගෙන ශිල්පය

එක්කර නව සිතුවිලි
පැද යන්නට නව රළ
නියම අත්වැල
අපේ අත්කම් කලාව

රැකගමු
අපේ අත්කම් කලාව


මෙය ශ්‍රී ලංකාවේ අත්කම් කලාවන් අළලා කල කොටස් දෙකකින් සමන්විත විමසුමක අවසන් කොටස වේ.

පලමුවැන්න "බීරළු රේන්ද කලාව - Galle Lace":
බීරළු රේන්ද කර්මාන්තය ශ්‍රී ලංකාවේ දකුණුදිග වෙරලාසන්න ප්‍රදේශවල දකින්නට ලැබෙන අත්කම් කර්මාන්තයකි. ගාළු ලේස්, බීරළු ලේස්, පෘතුගීසි ලේස් යන නම්වලින් ද ලොව ප්‍රසිද්ධ එම නිමැවුම ඈත ඉතිහාසයකට උරුමකම් කියයි. පෘතුගීසීන් විසින් මීට වසර 600 කට පෙර බීරළු කර්මානතය ගාල්ල අවට ප්‍රදේශයේ හදුන්වා දුන් බවත් ඈත ඉතිහාසයේ ගාළු වරාය මූලික කරගෙන ලොව නන්දෙසට බීරළු රේන්ද සැපයූ ප්‍රධාන වෙළඳ මධ්‍යස්ථානයක් ලෙස ලංකාව කීර්තියක් අත්පත් කරගෙන තිබූ බව සඳහන් වේ. වැඩි විස්තර මෙතැනින් කියවමු.

පලමු පල කිරීම: 11-02-2010

18 comments:

  1. අපේ ගෙදරත් තියෙනව බීරළු කොට්ටයක්. අපේ නැන්ද තමයි දන්නේ ඒව ගොතන්න. නැන්නදා ගියේ කොන්වට් එකකට. ඒ දවස් වල ඉගැන්නුවලු ස්කෝල වල...
    හැබැයි ඉතින් දැන් නැන්නවත් බීරළු ගොතන්නෙ නම් නැහැ...

    ReplyDelete
  2. යුගෙන් යුගේ ඇවිත්
    පරම්පරා ගනන්
    හිමින්සීරුවේ
    දැ අත් කරන් හුරූ

    දෙමින් අලුත් පනක්
    පෙර නොවු විරූ ලෙසින්
    මවත්ය දෑ බොහෝ
    ඔප් නංවමින් සුරු

    ‍රැක ගත යුතුයි ,වහා
    නිසි පිළිවෙලක් සදා
    තව යුග ගනන් මේ සිප්
    ගෙන යායුතුයි ‍රැකන්

    "බාහු සච්චංච ,සිප්පංච"

    ReplyDelete
  3. අත්කම් කලාව නම් විනාශයේ මුවවිට....
    ඔය එකකින්වත් පොඩ්ඩක්වත් මටත් බෑ නෙ..

    ඒත් අය්යෙ මට තියනව ප්‍රශ්නයක්.. ලක්සලේ එහෙම තියෙන handicrafts හදන්නෙ කවුද.. machine වලින්ද ඒව හදන්නෙ.. කියන එක..

    ReplyDelete
  4. ලංකාවෙ අධ්යාපන කර්මේ පොතට විතරක් සීමා කරන්නෙ නැතිව මේවටත් තැනක් දෙනවනම් අත්කම් කලාව තවදුරටත් ලංකාව තුළ පවතීවි.

    ReplyDelete
  5. දැන් කාලයත් එක්ක අත්කම් කලාව මියැදෙනව ඒක ඉතින් කාලෙ හැටි...දැන් අත්කම් ෆැෂන් 1 ඉවරයි....

    ReplyDelete
  6. 2001 වසරේ ඉන්දියාවෙදී මට හමුවුනා ජර්මන් ජාතික මනෝවෛද්‍යවරියක්. ඇගේ අදහස අනුව බීරළු ගෙතීම මානසික හා කායීක සෞඛ්‍යය (mental and physical health) සම්බන්දව ඉතා අගේ සේවයක් ඉටු කරන්න සමත්. මෙ වියුමෙ සූක්ෂමතාවය හා නිර්මාණ හැකියාව යොදාගෙන තරුණ අය හැඩගැස්සීමෙ හැකියාව ඇය ලස්සනට ගෙනහැර දැක්වූවා. අගේ මතය අනුව මුදල් උපයන මාර්ගයක් ලෙස නෙවුවත් විනෝදාංශයක් (pass time) සේ මෙ කලාව ඉගෙනීම තරුණියන්ට ජීවිත ජයගන්න උපකාරි වෙන්න පුලුවනි.

    ඒ අනුව 2003-2004 මා ලංකාවේ සිටි කාලයේ අදුනන වෛද්‍ය අංශයට සම්බන්ද අයෙකුගේ සහයෝගය ද ඇතිව කටයුතු කලා. ඒත් සුනාමිය ඒ පුද්ගලයා අපිට අහිමිකිරීමත් සංචාරක කර්මාන්තය බිඳවැටීමත් නරක ලෙස බලපෑවා.

    සංචාරක කර්මාන්තයේ පිබිදීමක් ඇතිවුනොත් තරුණ පිරිස මෙවන් අත්කම් කර්මාන්තවලට යොමු කරන්න පහසුවක් වේවි. මෙතැනදී අවශ්‍ය වෙන්නෙ මග පෙන්වීම හා අලුත් අදහස් ලබාදීම.

    දකුණු පලාතේ බෙන්තොට සිට වැලිගම දක්වා බහුලව මෙ කර්මාන්ත දකින්නට ලැබෙනවා.

    ReplyDelete
  7. @wath:
    ඒ කාලයේ නොයෙක් අත්කම් හුරුවීම ජීවන ක්‍රමයේ කොටසක් වුණා, එය විනෝදාංශයක් ලෙස කෙරුණා. අද අපේ සමාජයෙන් ඒවා නැති වෙලා ගොස් ඇත්තේ "යල්පැන ගිය" ලේබලය අසාධාරණ සේ අලවලා.

    ඒත් දියුණුයි කියන ලෝකයේ මෙවන් අත්කම් pass-time ලෙස ප්‍රචලිත වෙමින් පවතී.

    උදාහරණයක් සේ ගොතන කටුවෙන් කරන ගෙතුම් (knitting). පසුගිය දිනෙක මං දැක්කා වයස අවුරුදු 10න් ඉහල ගැහැණු ලමුන් සඳහා වූල් ගෙතුම සඳහාවන self-study කිට් එකක්, ඒහි ප්ලාස්ටික් ගොතන කටු යුගලක්, පාට පාට වූල් බෝල කිහිපයක් සමඟ මුල සිට සරළව ලියැවුනු උපදෙස් අඩංගු පොත් පිංචක්.

    අපේ පමණක් බීරළු මොස්තර චීනය මහා පරිමාණ නිශ්පාදන ලෙස යාන්ත්‍රීකව නිපදවා වෙලඳපොළට එනවා.

    බොහෝම ස්තුතියි ඔබේ අදහස් බෙදාගත්තට.

    ReplyDelete
  8. @ගල්මල්-Coral,
    දැන් නම් මගේ හිතේ උඹ ගැන ඇතිවෙලා තියෙන ගවුරවයට මොනාවත් අකුරුකරන්න බයයි....මොනාද ලියන්නෙ කියලා තවපාරක් හිතල මේ පැත්තට එන්නම් කෝ....

    සුලා..

    ReplyDelete
  9. @විහඟ ගීතය:
    හාන්සියේ ඉඳ
    කාසිය ඇද
    වැජඹෙන සඳ
    මාන්සියේ රැකේවිද
    කලාව

    අපි අසරණයි බන්දු...

    ReplyDelete
  10. @චේජනා:
    ලක්සලේ අරමුණ හස්ත කර්මාන්තය සුරැකීම, බොහෝ දෑ අත්කම් නිෂ්පාදන. වෙස්මුහුණු, ඇත්තු වැනි නිෂ්පාදන සම්පූර්ණයෙන් ම මැෂින් වලින් කරන්න පුලුවන් කියලා හිතන්න අමාරුයි. ඒත් අද ලියවැල් ආදි කැටයම්, බතික් ආදිය නිෂ්පාදනය වැඩි කිරීමෙ අරමුණින් සම්පූර්ණයෙන් ම හස්ත කර්මාන්ත නෙවේ.

    ලක්සල නිෂ්පාදන වෙලෙඳ පොලට ඉදිරිපත් කරන කවුලුවක් විතරයි. අත්කම් ප්‍රමාණවත් මුදල් උපයන මාර්ගයක් කර නූතන ක්‍රම යොදා දියුණු කිරීමට තරම් තල්ලුවක් නොලැබීම මෙ ක්ෂේත්‍රයේ පැවැත්ම හා තරුණ පරපුර ඇදගැනීමට අපොහොසත් වී ඇතැයි මට හිතේ.

    ඔබේ අදහස් එක් කිරීම සතුටක්, ස්තුතියි නංගී.

    ReplyDelete
  11. @Praසන්ன:
    1978 වසරේ අධ්‍යාපන සංශෝධනයට කලින් 6-9 ශ්‍රේණිවලට ප්‍රාග්වෘත්තීය නම් විෂයන් ගනනාවක් අඩංගු වුනා. ඒ ඒ පලාත් වලට අනුව දේශීය කර්මාන්ත අලලා විෂය නිර්දේශය සැකසී තිබුනි. ප්‍රාග්වෘත්තීය විෂය I හා II සේ කාණ්ඩ කර පලාත අනුව විෂයන් අනුයුක්ත කර තිබුණි. සෑම සිසුවෙකුම ඉන් එකක් කාණ්ඩයකින් එකක් බැගින් විෂයන් දෙකක් අනීවාර්‍යයෙන් තොරාගත යුතුව තිබුනි.

    ඉන් පොතට බාහිරව යම් ප්‍රායෝගික වෘත්තීය අධ්‍යාපනයක් ලබා දුන්නා. එතැන වැරදි තිබෙන්න ඇති, ඒත් සමස්තයක් සේ යහපතක් වුනා.

    පසු කලෙක එය ජීවන කුසලතා ලෙස නම් මරුකිරීමක් කරා මතකයි. ඉන් පසුව මොනවා වුනාද නොදනිමි (එවන් ක්‍රම වැනසූවෝ බොහෝය ).

    ඉතා අගනා අදහසක් එක් කරමින් කල ඔබේ ඇගයීමට බොහෝම ස්තුතියි.

    ReplyDelete
  12. @indi:
    නැහැ යාළු වටිනා අත්කම් වල අගය හෝ ෆැෂන් ඉවර නැහැ. ඒත් ඒවා ගැන තියෙන උනන්දුව මොට කරලා. අද විදේශීය රටවල ඒවාට ඇති ඉල්ලුම අඩුවක් නැහැ.

    අපේ පමණක් බීරළු මොස්තර චීනය මහා පරිමාණ නිශ්පාදන ලෙස යාන්ත්‍රීකව නිපදවා වෙලඳපොළට එනවා. ජාත්‍යන්තර වෙලෙඳපොලක් නැතිනම් චීනය වගේ රටක් එවැන්නකට පියවර තබන්නේ නැහැ.

    ඔබේ අදහස සටහන් තැබීම ගැන ස්තුතියි.

    ReplyDelete
  13. @සුලා: සොයුරේ ඔබේ සටහන බලා ඉන්නවා

    ReplyDelete
  14. ඔබ කියනදේ හරි යුරෝපයේ බොහෝ රටවල් ඒ ජර්මන් ජාතික මනෝ වෛද්‍යවරිය කියපු ආකාරයට මානසික හා කායීක සෞඛ්‍යය දියුණු කිරීම සඳහා බීරළු ගෙතීම යොදගන්නවා.
    මම හිතුවා ඔවුන් මේවා වෙනත් රටකින් ගෙන්වනවද?? කියලත්.
    නමුත් බීරළු ගොතන මැෂින් පවා ප්‍රදර්ශනයට තබා තිබෙනවා කඩවල.
    ඇත්තටම ඔව් බීරළු කර්මාන්තය අපේ රටට ගෙනෙන්නට ඇත්තේ පෘතුගීසීන්. බලන්න කාගෙන් ලැබුනා උනත් වටිනා කියන දේ කොයිතරම් අත ඇරලා දාලද කියල අපි.. :-(

    ReplyDelete
  15. @nimanthi:
    පෘතුගීසීන් ලංකාවට බීරළු හඳුන්වා දුන්නත් මේ වන විට බීරළු රේන්ද Galle Lace ලෙස ප්‍රචලිතයි. ඒක අපේම දෙයක් වගේ වෙලා, හරියට කොකිස්, අච්චාරු, ලැටිස් කියන වචන වගේම.

    ඔවුන් පලමුව ගාල්ල අවට මුහුදුකර ප්‍රදේශවල ධීවර පවුල් අතරේ තමයි බීරළු කර්මාන්තය පතුරවා තියෙන්නේ.

    මාටින් වික්‍රමසිංහ ශූරීන්ගේ කතාවලත්, සිනමා කෘතීන්වලත් බීරළු රේන්ද වලින් නිමවූ ඇඳුම් ආදිය එමට දකින්නට තිබුනා මතක ඇති. එතුමා පලාතේ කලාවන් හා ජනජීවිතය තම කෘතීන් තුලින් පෝෂණය කලා.

    ඉතිං සොයුරිය, ඔබ අගනා තොරතුරු සමුදායක් එක්කරමින් කල ඇගයීමට බොහෝම ස්තුතියි.

    ReplyDelete
  16. මම හිතුවේ ලොකු ලිපියක් කියලා ඩීන් . . .ඒක නිසා බලන්න ප්‍රමාද කර කර හිටියා.

    සමාවෙන්න ඒකට.

    ඒත් ලොකූ පිටු ගානක් පුරා ලියවිය යුතු ලිපියක් ඒ වචන දාස් ගානකින් කියන්න බැරි තරම් අපූරුවට මේ පද පේලි වලින් කියලා තියෙනවා . . හරිම අපූරුයි ඩීන්.

    අපේ ගමේ අච්චිට පැදුරු වියන්න පුලුවන් කම තිබුනා. අපේ කිසි කෙනෙක් ආච්චිගේ ඒ ශිල්පය ඉගෙනගත්තේ නෑ දැන් ආච්චිත් නෑ. අක්කගේ දුවටවත් කියන්න ඕන රේන්ද හරි බීරලු හරි ඉගෙන ගන්න කියලා.

    ස්තූතියි අපේ හිත් වලට කාවැද්දුවට මේ කලාවන් විනාශ වෙන්න නොදී රැකගත යුතුයි කියන දේ . .

    ReplyDelete
  17. @දුකා:
    ඔබේ අදහස ගොඩාක් අගේ යාළු, මෙ පදපෙලින් උත්සාහ ගත්තේ එයයි.
    දහසක් වැඩ අතර ඇවිත් සටහනක් තබා කල ඇගයීමට බොහෝම ස්තුතියි.

    ReplyDelete
  18. @දුකා
    ඔබ කියනදේ නම් හරි තමා .දැන් පරම්පරාවට මේ දේවල් එකක් වත් බැහැනේ..
    කවුදෝ වියලා දුන්න පැදුරු ටික කොයි තරම් වටිනවද? කියලා මට තේරෙන්නේ ඉතිං ගෙදර දානයක් දෙන්න ගියාම තමා. ඉගනගන්නනම් හිතන්නේ වත් නැහැනේ අපිත් ඉතිං. තියන අවාසනාව වෙන්න ඇති.. ;-(

    ReplyDelete