Tuesday, June 19, 2012

ධාරිතාව

දකුණතේ මාපට හා දබර ඇඟිලි තුඩු අතර තදින් හිර කරගත් මයික්‍රෝ SD කාඩ් එක ගිලිහී වැටේවිදෝ බියක් ඇති වුණි. කාඩ් හෝල්ඩරයේ සවිකරන්න උත්සාහ කරන දෑතම වෙවුලුම් දෙයි. දික්කර දෙපා තුඩු වලින් වාඩිවී උන් පුටුව වාරුවෙන් කොන්සෝල මේසයට ලං කර ගත්තේ දනිස්ස මේසයේ පැත්තකට හේත්තු කරගන්න හිතාගෙන. කුඩා කාඩ් එක ඒ මේ අත පෙරළා බැලුවත් මාපට ඇඟිල්ලේ නියපොත්ත තරම් කාඩ් එකේ 32GB තරම් විශාල ධාරිතාවයක් තියෙන්න පුළුවන් ද... හිතේ සැකයක් ඇතිවුණා. වමතේ වූ කාඩ් හොල්ඩරය දකුණු කලවාවට බරකර SD කාඩය සවිකරගන්න පුළුවන් විය.



දෙවැනියා කලින් දැනුම් දුන් පරිදි අවශ්‍ය කරන ඩොක්‍යූමන්ටස් එහෙම සූදානම් කර තිබුණේ. ඒ අතර අලුත් ප්‍රොජෙක්ට් එහෙකට අයිති සැලසුම්, ලියකියවිලි ආදි රහසිගත ලිපිලේඛන බොහෝමයක් වුණි. ඉහළ නියෝගයක් පිළිපදින නමුත් ඉටු කරන්න වෙන කාරිය ගැන හිතට එතරම් ප්‍රියක් නොවිය. තමා ඩොක්‍යුමන්ට් කොන්ට්‍රොලර් නොවෙද හිත ප්‍රශ්ණ කරයි.


20GB පමණ දත්ත තොගය කොපි වීමට සෑහෙන වෙලාවක් යාවි...


මේ වෙද්දි ආයතනයේ හැම ඩෙස්ක් එහෙකම නානා මාදිලියේ කොම්පියුටර් වලින් පිරිලා. ඉහළම තනතුරුවල ඉන්න අය කිහිප දෙනෙකුට හැර අනික් හැමෝම USB, ෆ්ලෑෂ් ඩ්‍රයිව්, සීඩී රයිටරයක් පාවිච්චි කරන්න බැරි තරම් විනය නීති මාලාවක් ක්‍රියාත්මකයි. ආයතනයට යන එන ෆැක්ස්, ලියුම් කඩදාසිය පවා ඩොක්‍යූමන්ට් මැනේජ්මන්ට් සිස්ටම් එකේ අතුළත්වේ.


අද මහා විශාල දත්ත පරිමාවක් දරන්න පුළුවන් කුඩා ප්‍රමාණයේ විවිධ මාධ්‍ය තිබුණ ද ආයතනයක රහසිගත බව, ආරක්ෂාව රැකී තියේද හිතුණි.


ඒ කාලේ... මුලින්ම වැඩ කර සමාගම 80 මුලදී රජය ලබා දුන් බදු සහන පාවිච්චි කර විශාල කොම්පියුටර් සිස්ටම් එකක් ගෙන්වූයේ පිටරටකින්. ප්‍රමාණයෙන් විශාල කොම්පියුටරය, වර්ක්ස්ටේෂන් දෙක හා තඩි ප්‍රින්ටරය වෙනුවෙන් තරමක් ලොකු වීදුරු කාමරයක් හැදුණා. එයාර්කන්ඩිෂන් කෙරුණා. වරායෙන් බඩු ටික ගේන්න ළංවෙද්දී කීවරක් ඒ කාමරය පිරිසිදුකර මොප් කරන්න වුණාද?


කොම්පියුටර් හයිකරන්න ආපු කට්ටිය එහා මෙහා ගියේ හරි උජාරුවට, අමුතු තේජසකින්. ඔවුන්ට ගොඩාක් සැලකිලි ලැබුණා. කතා කළේ ලොක්කෝ එක්ක විතරයි. කට්ටිය වීදුරු කාමයට ඇතුල් වුණේ සපත්තු ගලවලා, මේස් පිටින්ම වෙනමම සෙරෙප්පු වගයක් දාගෙන.


වීදුරු බිත්තියට පිටින් ඉඳන් කන්තෝරුවේ කට්ටිය ඒ දිහා බලන් උන්නේ පුදුමෙන් වගේ, හරිම උනන්දුවෙන්.


ඒ අතර තේ රට පටවන තවත් සමාගම් කීපයක්ම කොම්පියුටර් හයිකරන්න පටන් ගත්තා.


පමණක් උදවියගේ රස්සාවල් නැතිවේවි කියලා කතාවක් පැතිරුණා. සමහරු කලබල නොවුනාමත් නොවේ.


කොම්පියුටර් ඔපරේටර්වරුන් හැටියට පුහුණු කරන්න තෝරාගත් කිහිප දෙනා අතර මා ද ඇතුළත් බව දැන ගත්විට මොන තරම් නම් සතුටක් ඇති වූණාද? එදා වැඩ ඉවරවෙලා ගෙදර යන්න තිබුණ හදිස්සිය නිසාමද කොහේද ඔරලෝසුව හිමින් ගමනක වගේ දැනුණා. ආරංචිය අහපු අම්මාගේ දෑසින් කඳුළු කඩා වැටෙන්න පටන් ගත්තා, මුහුණ පුරා හිනාවක් ඇඳුණා. කිසිත් කතා කරන්න බැරිව මගේ හිස අතගෑවා.


අංශ කිහිපයකින් තෝරාගත් කණ්ඩායමේ හය දෙනෙකු හිටියා. සති කීපයක පුහුණුව අතර දී මූලික ඔපරේටර් හැටියට මාව පත් කරා.


ඒ කාලේ, ඒ ඒ අංශවලට අදාළ අය ඇවිත් නියමිත වැඩ කොටස කරේ වෙලාව බෙදාගෙන. මූලික ඔපරේටර් හැටියට ඒ හැම කෙනාටම අවශ්‍ය උදව්, උපකාර කරන්න මට පැවරුණා, වැඩ කරන කාලයෙන් වැඩිපුර කොම්පියුටර් කාමරයේම ගෙවන්න පටන් ගත්තා.


කොම්පියුටරය හයි කර සමාගමේ උදවිය සතිපතා ඇවිත් නඩත්තු කටයුතු කරලා යනවා.


ඔපරේටර්ලා හරිම උනන්දුවෙන් අලුත් ක්‍රමයට වැඩ කරගෙන ගියා. ඒත් සමාගමේ ගිණුම් අංශයේ වයසක ලොක්කෝ මේ ක්‍රමේට එතරම් කැමැත්තක් පෙන්නුවේ නැහැ. සිස්ටම් එකෙන් කරන ගිණුම් වලට අමතරව පුරුදු පොත් ගොඩත් එයාලට නැතිවම බැරි විය.


අවුරුදු කීපයකට පසුව වර්ඩ් ප්‍රොසෙසින් වලට PC දෙකක් ගේන්න සූදානම් කරා. ඒත් එක්කම පුහුණුවක් ලැබුණා. වීදුරු කාමරයේ පැත්තක් අලුත් කොම්පියුටරයකට වෙන්වුණා. පරණ සිස්ටම් එක වගේ නෙවේ ක්‍රීම් පාටට හුරු CPU එක උඩ හුරුබුහුටි පාට මොනිටරය, ඊට ගැලපෙන කීබෝඩය කාගෙත් සිත් ගත්තා. අනෙක හයි කළේ ඩිරෙක්ටර්ගේ කාමරයේ.


කොළයක් දෙකක් අරන් ඇවිත් දඩිබිඩිගා කොටන, ප්‍රින්ටරය රිදවන කඩිසර ඔපරේටර් කණ්ඩායමට අතරට නන්දා මිස්, ඔලිම්පියා මිස්ලා එක් වුණා. ටයිප් රයිටරයට හුරු නන්දාගේ ඇඟිලි කීබෝඩය මත දිව්වේ අමුතු රටාවකට.


ඒ කාලයේ... PC වල හාඩ් ඩිස්ක් තිබුණේ නැහැ. ඔපරේටිං සිස්ටම් තිබුණේ ෆ්ලොපි ඩිස්ක් දෙකක. ඉන් පටන් ගන්න PCය වර්ඩ්ප්‍රොසෙසරය වගේ අවශ්‍ය කරන සොෆ්ට්වෙයාර් ඇති ෆ්ලොපිය දා පාවිච්චි කරනවා. මවුස් තිබුණේ නැහැ. වර්ඩ්ප්‍රොසෙසරයේ බෝල්ඩ්, අයිටැලික්, අන්ඩර්ලයින් වගේ දේවල් කළේ ෂෝට්කට් වලින්. ඒ හැම එකම මතක් තියාගන්න ඔපරේටර් කෙනෙකුට හැකියාවක් තියෙන්න ඕනේ. කරන කියන ලිපි කටයුතු ෆ්ලොපිවල සේව් කරලා තිබ්බේ.


ඒ කියන්නේ 80 මැද කාලයේ… මුලදී ආපු අඟල් 5.25 ෆ්ලොපි ඩිස්ක් (floppy disk) එක පාවිච්චියට ගන්න මොනතරම් සූදානමක් කරන්න වුණාද? කිලෝ බයිට් 360 ක විතර ෆ්ලොපියක් මහා විශාල දෙයක් විය. ඉන් පස්සේ කිලෝ බයිට් 720 ක් දක්වා වැඩි වුවද, නැවෙන සුළු කවරයක තිබුණ ඩිස්ක් පලුදු නොවෙන්න මොනතරම් පරිස්සම් කරන්න වුණාද? අවුරුදු ගාණකට පසුව ආ තරමක් ඝනකම් කවරයක වූ අඟල් 3.5 ෆ්ලොපි ඩිස්ක් ඒ අතින් හොඳ විය.


ඒ කාලේ කොම්පියුටර් සිස්ටම් නඩත්තු වැඩ වලට දී ඉන්ජිනේරුවන් අඟල් 8 ෆ්ලොපිත් පාවිච්චි කරා මතකයි.


ඩිරෙක්ටර්ගේ කාමරයට 20MB හාඩ් ඩිස්ක් (hard disk) එකක් හයි කරපු ඩෙස්ක්ටොප් එකක් ගෙනාවා. ඒකෙන් තවත් සොෆ්ට්වෙයාර් සිස්ටම් කිහිපයක් ගැන හොඳ දැනුමක් ආවා.


ඒ අතර දවසක්...


"කුලේ කැමැති නැද්ද පිටරටක රස්සවට යන්න?" නන්දා මිස් ඇහුවා.


"තවම එහෙම දෙයක් ගැන හිතලා නැහැ."


"ඇයි ඒ?"


අම්මා තනිකර දා ඈතට යන්න අමාරුයි කියන්න බැරිව නිහඬ වූයෙමි.


"අපි අඳුරන පිට රටක වැඩ කරන අංකල් කෙනෙක් නිවාඩුවට ඇවිත් ඉන්නවා. එයා එක්ස්පීරියන්ස් ලීඩ් කොම්පියුටර් ඔපරේටර් කෙනෙක් හොයනවා. කුලේ ගැන මං කිව්වා."


"ඉතිං!"


"අංකල් කිවා ඔයාගෙන් අහලා බලන්න කියලා."


"ඇයි කුලේ කතා නැත්තේ?" අපි අතර වූ නිහඬතාවය බින්ඳේ නන්දා මිස්.


කවුරු ගැනත් හොයලා බලන හොඳ යෙහෙළියක් වූ නන්දා මිස්ට අපේ ප්‍රශ්ණ අමුත්තක් නොවිය. ඇගේ උනන්දු කිරීම නිසාම අරකී පුද්ගලයා මුණගැහුණා.


සති කිහිපයක් ගෙවුණා. අවුරුදු හතක් විතර දුක සැප බෙදාගෙන වැඩකර පිරිස ගෙන් වෙන්වී නුපුරුදු මැදපෙරදිග නගරයක විවිධ දේශවලින් ආ පිරිස අතර තනි වූණා. යමක් කතා කරන්න දන්න අඳුනන කෙනෙකුට උන්නේ නන්දා මිස්ගේ අංකල් පමණි.


නන්දා මිස් ඉඩ ලැබෙන විදියට ගිහින් අම්මා ගැන සොයා බැලුවා, විස්තර ලියුවා.


නවීන පන්නයේ කොම්පියුටර් කිහිපයකින් සමන්විත EDP අංශයකින් ආයතනයේ කටයුතු කෙරිණි. රැකියා ස්වභාවය අනුව ඔවුන් පාවිච්චි කර සොෆ්ට්වෙයාර් වෙනස් විය. මුහුණ දුන් ප්‍රශ්ණ ද විවිධය, මාස කිහිපයකින් පිළිවෙළකට වැඩ සකසන්න පුළුවන් විය.


නන්දා මිස්ගේ පියාගේ අභාවයෙන් තනිවූ රෝගී අම්මා බලාගන්න කෙනෙකු නැති කල ඇය රැකියාවෙන් අයින් වුණා. ඒ අතර අංකල්ගේ යෝජනාව අනුව අම්මාගේ ආශීර්වාදය ලබා නන්දා අපේ ගෙදර එළිකළ පහන වුණා. ඒ වෙන විටද ජීවත් වූ ගෙය අහිමි වූ මව ද අපේ ගෙදරම උන්නා, ටික කලකින් ඇය ද මෙලොව හැර ගියා.


ක්‍රමයෙන් උවමනාව පරිදි අනික් ඩෙස්ක් වල ද වූ කොම්පියුටර් කිහිපයක් අරක් ගන්න පටන් ගැනුණි. 90 මැද වෙද්දි ඉහළ තනතුරු දැරූවන්ට ඊමේල් නැතුව බැරිවිය.


ක්‍රමයෙන් අළුත් PCවල හයිකර ආ හාඩ් ඩිස්ක් වල ධාරිතාවය වැඩි වෙන්න පටන් ගැනිණ. වැඩ කරන PCවල රැඳී ඇති තොරතුරු ආරක්ෂාව සඳහා වෙනම බැක්අප් කරන්න සිදුවිය.


දෙදාහේ මුලදී විශ්ව විද්‍යාලයෙන් පිටව ආ දෙවැනියා වැඩ පුරුදුවෙන්නෙක් හැටියට සමාගමට සම්බන්ධ වුණා. හැම දෙයම අළුත් විදියට බලන්න පුරුදු වූ ඔහු අළුත් ගැජට් වලට ලොල් කෙනෙක්.


ෆ්ලෑෂ් ඩ්‍රයිව් ආපු මුල් කාලයේ දෙවැනියා එක්ක ගිය සම්මන්ත්‍රණයක දී ලැබුණ 128MB ෆ්ලෑෂ් ඩ්‍රයිව් එක තවමත් හොඳට වැඩ කරනවා.


දැන් නම් ෆ්ලෑෂ් ඩ්‍රයිව් වල ධාරිතාවය ගොඩාක් වැඩියි. සේප්පුවේ ෆ්ලෑෂ් ඩ්‍රයිව් හා පෝටබල් හාඩ් ඩිස්ක් මොනතරම් තොගයක් තියේද මන්දා?


ජීවිතයේ අනේක ප්‍රශ්ණවලට උරදුන්නද නන්දාගේ උනන්දුව නිසාම පිළිවෙළකට ගෙයක් දොරක් හදා ගන්න පුළුවන් වුණා.


දිනපතා වැඩ වලදී කොම්පියුටර් පාවිච්චිය නැතුවම බැරි දෙයක් වුණා. සමාගමේ කොම්පියුටර් සම්බන්ධ වැඩ කටයුතු හොයා බලන්න කොම්පියුටර් ඉංජිනේරුවන්ගෙන් සමන්විත වෙනම IT අංශයක් පිහිටවූවා. පැත්තක තියෙන පොඩි සර්වර් දෙකේ පෙනෙනවාට වඩා මහා ලොකු ධාරිතාවයක් ඇත. එදා වගේ නොව, එයත් සාමාන්‍ය කාමරයකි වෙනසකට ඇත්තේ වැඩියෙ කාටවත් යන්න බැරි ආරක්ෂිත තැනක් වීම පමණි.


මේ වෙද්දි ලීඩ් ඔපරේටර් කෙනෙකුගේ අවශ්‍යතාවය නැතිවෙමින් තිබුණා. ආයතනයේ ලිපි ලේඛන ආදිය කළමනාකරණයට සිස්ටම් එකක් ගෙනා පසුව ඩොක්‍යූමන්ට් කොන්ට්‍රොලර් හැටියට පත්කළේ පුද්ගලිකව උදව්වක් හැටියට බව කුලේ නොදන්නවා නොවේ.


දරුවෝ දෙන්නා ඉහළ අධ්‍යාපනය ඉවර කරන්න තවත් අවුරුදු කිහිපයක් තියෙනවා. ඒත් තව අවුරුදු දෙකක් ගත වෙන්න කලින් මේ රස්සාවෙන් අයින්වී ගමරට බලා යන්න වෙන්නා. ඒ රැකියාවක් සඳහා ලබාදෙන විසා වලට නියමිත වයස් සීමාවට ඉක්මවන නිසාවෙනි.


"මිස්ට කුලේ ඉස් දැට් රෙඩි" දෙවැනියා ලඟට ඇවිත් කතා කරනකම් දැක්කේ නැහැ.


නියපොත්තක තරම් කාඩ් එකක නොසෑහෙන වටිනා තොරතුරු තොගයක් පිටව ගියේය.


සටහන:
නුහුරු පරිසරයක හුරු මිනිසුන්ගෙන් තවත් එක් චරිතයකගේ පාවහන්ලාගෙන දකින්න, තාක්ෂණය හා පාහන්න ගත් පුංචි උත්සාහයක්...

ලංකාවේ කොම්පියුටර් තාක්ෂණය ගැන කලින් පල කල නිර්මාණයක් අහංකාර සුකුමාලිය

30 comments:

  1. පරිගණකයේ පරිණාමය ඩීන් අයියා කෙටි කතාවක් ඔස්සේ ඉදිරිපත් කරලා. හරි ලස්සනයි.
    කියවගෙන යන විට මගේ හිතත් අතීතයට දිව ගියා. මම මුලින්ම රැකියාවට ගියේ 1992 අග භාගයේ. එතකොට අපේ ආයතනයේ තිබුනේ stand alone PC විතරයි. බැංකු ශාකාවේ ගණු දෙනු කරුවන්ගේ දත්ත සියල්ල තිබුනේ ඔය PC එකේ. ඒ දවස්වල නිතර බ්‍රේක් ඩවුන්. අපේ කළමනාකාර තුමාට පරිගණකය ගැන වැඩි විශ්වාසයක් තිබුනේ නැහැ. ඒ නිසා ගණුදෙනු කරුවන්ගේ ගිණුම්වලට අදාළ ලෙජර් කාඩ් වෙනම පවත්වාගෙන ගියා. මාසේ අවසන් වැඩ කරන දිනයේ තමයි පරිගණක ක්‍රියා කරුට වැඩ වැඩිම දවස. ඒ විතරක් නෙමෙයි. ජංගම ගිණුම් වල මාසික වාර්තා කම්පියුටරයෙන් මුද්‍රණය කරන්න රෑ එළිවෙනකන් නිදිමරන්නත් ඕනේ. බොහෝ විට ප්‍රින්ටරයේ කොල හිරවෙනවා. සමහර විට රෑ එලි වෙනකන් වාර්තා මුද්‍රණය කරන කොල අල්ලා ගෙන ප්‍රින්ටරයට ගානට යොමු කරන්න ඕනේ.
    දවස අන්තිමේ බැක්-අප් ගන්න අපිත් පාවිච්චි කලේ 5.25 ෆ්ලොපි ඩිස්ක්. බැක්-අප් ගන්නකොට නිතර Errors එනවා. එතකොට ආයෙත් මුල ඉඳන් පටන්ගන්න ඕනේ. පස්සේ පස්සේ ඩීන් අයිය කියපු ජාතියේ 3.5 ෆ්ලොපි ආව. ඊට පස්සේ තමා කරදරයක් නැතුව බැක්-අප් ගන්න පුළුවන් උනේ.
    කල් ගතවීමේදී ටර්මිනල්ස් ලැබුණා. කටයුතු පහසු උනා. පරිගණක ක්‍රියාකරුවෙක් ශාකාවකට අවශ්‍ය නැති තත්වයක් උදා උනා. නමුත් සතියකට වරක් වත් බ්‍රේක්-ඩවුන් සිද්ධ උනා. ඒ වෙලාවලට ප්‍රමාද වන ගණු දෙනු කරුවන් සනසන්න අපිත් අනේක විධ බොරු කිව්වා. පසු කාලීනව server capacity වැඩි කළා. බ්‍රේක්-ඩවුන් අවස්ථා විරල උනා. අද බැංකු වල වැඩට අලුතෙන් එන අයට අපි කාපු කට්ටෙන් දහයෙන් පංගුවක් වත් නැහැ. නමුත් අතීතය දිහා ආපහු හැරිලා බලනකොට කාපු කටුත් සුන්දර මතකයන්.

    ReplyDelete
    Replies
    1. පසුගිය අවුරුදු විසිපහ ඇතුලත කොම්පියුටර් තාක්ෂණය දියුණු වූ වේගය බොහෝම වැඩියි. පුද්ගලයා විසින් කොම්පියුටරය මෙහෙයවන්න පටන් අරන්, අද වෙද්දි කොම්පියුටරය විසින් මිනිසා මෙහෙයවන තැනට ඇවිත් තාක්ෂණය එදිනෙදා ජීවිතය යටපත් කරගත් විදිය දකින්න පුලුවන්.

      මෙය ඒ කාලාන්තරයේ කතාව ඉදිරිපත් කරන්න දැරූ උත්සාහය. ඒ වෙනුවෙන් අපේ රටේ කොම්පියුටර් බාවිතය ප්‍රචලිත වෙන්න පටන් ගත් යුගයේ සිට ගොඩ නැඟුවා. ඒ සඳහා මා ක්ෂේත්‍රයට පිවිසි 83 කාලයේ සිට ලත් අත්දැකීම් උපකාරී වුනා.

      ඒත් කාරිය හිතූ එතරම් ලේසි වුනේ නැහැ, කෙසේ වෙතත් මේ සටහන් ලොකු සතුටක් ගෙනාවා.

      ඔබ ලියූ කතාව ඇත්ත, එදා වගේ අද අය කට්ට නොකෑවත් ඒ විඳි කට්ට අමුතුම එක්ස්පිරියන්ස් එකක්.

      බොහෝම ස්තුතියි.

      Delete
  2. නියපොත්තක් විතර කෘතිම බුද්ධියකින් අච්චර ඉතිහාසයක් ඇති මනුස්සයාගෙ වටිනාකම අවම වෙලාද? ආයතනයට සම්පතක් වුණු, වෙසෙසින් තෝරාගෙන පුහුණු කරන ලද්දකු වුණු කෙනාට අන්තිමේදි රැකියාව දෙන්නෙත් උදව්වක් හැටියට. :(

    ReplyDelete
    Replies
    1. නූතන ලෝකයේ කොම්පියුටර් තාක්ෂණය දියුණුවේ ප්‍රතිපලය හැම ක්ෂේත්‍රයකින්ම විදහා දැක්වෙන කරුණක්. දෛනික ජීවිතයේ මොබයිල් ෆෝන්, ATM වගේ සේවාවන් වලින් පටන් වෛද්‍ය අංශයේ සංකීර්ණ CT, MRI ආදී ස්කැන් කිරීම්, ඩිජිටල් ඉමේජිං දක්වා උපයෝගී කරගන්න තාක්ෂණය උදාහරණ සපයනවා.

      එවගේම එම තාක්ෂණය එදිනෙදා කටයුතු වලදී නැතිවම බැරි ටූල් එකක් බවට පත්වෙලා. ඉන් ක්‍රියාකාරීත්වයේ ප්‍රවීනතාවය (ෆන්ෂනල් එක්පර්ටයිස්) කියන ප්‍රධාන කාරනණය කොම්පියුටර් තාක්ෂණය මත රඳා පවතිනවා. ඉන් ආයතනික පැත්තෙන් වාසි බොහෝමයක් සැකසෙන අතර කාලයත් සමඟම එම ටූල් උපයෝගී කරගන්න පිරිස යම් දුරකට තාක්ෂණයට යටපත් වෙනවා. ඉන් ඇති වෙන්නේ කෘතිම බුද්ධිය විසින් මිනිසා යටපත් කිරීමක් එහෙමත් නැතිනම් මිනිස් බුද්ධිය මත රඳා පැවැත්ම අවම කිරීමක්. ලාබයම ඉලක්ක වෙන ව්‍යාපාරික ලෝකය මේ අවම කිරීම උපරිම කරගන්න නිතර වෙහෙසෙනවා.

      ඒ අනුව කාලයක දී චැම්පියන්ලා වූ කුලේලාගේ තත්වය සිදුවන වෙනස මෙය නොවෙද?

      Delete
  3. ශ්‍රීමාJune 20, 2012 at 12:31 AM

    ඩීන් අය්යගෙ කොම්පියුටරයේ ආගමනය ගැන සටහන නම් හරි රසවත්. ඒ එක්කම ඔය කතාව අස්සෙන් අය්යව තමා මැවිල පේන්නේ.

    ReplyDelete
    Replies
    1. ආයතනයක කටයුතුවල දී කොපියුටර් තාක්ෂණය හවුල් කර ගැනීමත් සමඟම සිදුවූ තවත් දෙයක් තමයි ආයතනයේ කටයුතු යම් දුරකට මධ්‍ය ගතවීම. ඒ අනුව ආයතනයක දැකිය හැකි එකිනෙකට වෙනස් රැකියා අංශවල කටයුතු, පුද්ගලයින් ගැන මේ ක්ෂේත්‍රයේ රැකියාවෙන් ලබාපු අත්දැකීමක් එමටයි. කුලේ වටා නිර්මාණය වෙන්න එදා සිට අද දක්වා සීග්‍ර වෙනසකට බඳුන් වෙන අංශයක පුද්ගලයාගේ වටිනාකම වෙනස් වෙන හැටි දකින්න.

      Delete
  4. රැකියාවක් කරන්න පුලුවන් සුදුසු කාලයක් තියෙනවානේ..මට හිතෙනවා කුලේ දැන් නිදහස් විය යුතුයි කියලා .අපි තව කෙනෙකුට එ අවස්තාව දෙන්නත් එපැයි...එක එ රැකියාවේ ස්වාභාවය නම්..කුලේට පුලුවන් තවත් තමන්ගේ දැනුම එක එක පැති වලට යොමු කරන්න නේද..

    ReplyDelete
    Replies
    1. විශ්‍රාම යෑම කියන කාරනය අනුව ඔබේ අදහස හරි. මෙතැන කුලේගේ චරිතයෙන් සෘජුව කියවෙන්නේ නැති පැත්තක් තියෙනවා. එනම් පුද්ගලික ආයතනයක් ගොඩනැගෙන කාලාන්තරයක් තුලදී ඇති/හැකි ශක්තියකින් දායක වූ පුද්ගලයෙකු ගනන් නොගැනෙන තැනට පත් වෙන අයුර නොවෙද?

      Delete
  5. මේ වගේ කොම්පූටර් විකාශනය ගැන දන්න කෙනෙක් ලියපු පළවෙනි පෝස්ට් එක මං හිතන්නේ... නියමයි..

    ReplyDelete
    Replies
    1. කොම්පියුටරයේ පරිණාමනයට වඩා අද සුළු දෙයක් බවට පත්වී ඇති කොම්පියුටර් ස්ටෝරේජ් පැත්ත ගැන ඉදිරිපත් කරන්න ගත් උත්සාහයක්.

      බොහෝම ස්තුතියි ගෝල්ඩ් ෆිෂ් මල්ලි.

      Delete
  6. A to Z ලස්සනට ලියල තියෙනවා.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි ප්‍රසන්න

      Delete
  7. ලස්සන රචනයක් ඩීන් අයියා. ඔය පරිණාමයේ සමහර තැන මටත් මතකයි. දැන් අපි හරි දියුනුයි නේද ?

    ReplyDelete
    Replies
    1. කොම්පියුටරේ ගොඩාක් දියුණුයි, එදා පුංචි බයිට් අද ගිගා බයිට් තරම් ලොකු වෙලා. ගොඩාක් තොරතුරු රඳවා ගන්න පුලුවන්. එහෙත් රඳවනය ප්‍රමාණයෙන් කුඩාවෙලා, එන්න එනම කුඩාවෙලා. එයත් ඒ කාල වකවානුව තුල මිනිසාගේ දැණුම තරම්ම වැඩි වෙලා වුනත් බුද්ධිය වගේම නේද?

      Delete
  8. හොදට ලියල තියෙනවා.... අපිනම් දැක්කේ p4 යුගය විතරනෙ...

    ReplyDelete
    Replies
    1. ඔව් ඒ තරම් දියුණු තත්වයක ප්‍රොසෙසර් වලින් පටන් ගන්න ලැබීම වාසනාවක්. 1983 වසර පටන් මේ දක්වා PC තාක්ෂණයේ වෙනස අත්විඳින්න ලැබීමත් එක් තරා ලැබීමක්.

      Delete
  9. පොස්ටුව කියවූ හැමටත් විශේෂයෙන්ම සටහනක් තැබූ හැමටත් බොහෝමත්ම ස්තුතියි. පසුව කොමන්ට් වලට වෙන වෙනම පිළිතුරු ලියන්නම්.

    ReplyDelete
  10. කාලෙකින් කියවපු හොඳ නිර්මාණයක්. ස්තුතියි මේකට.
    (නාකන්දල මැතිණියට ස්තුතියි ඇහැ ගැටෙන්න සැලැස්සුවට)

    ReplyDelete
    Replies
    1. ඔබේ සටහන වචන දහස් ගානක සටහනකට වඩා දැනුනා. ශක්තියකි, දිරියකි. බොහෝම ස්තුතියි.

      (එතුමියට මගේ ද ස්තුතිය)

      Delete
  11. නියමයි ඩීන් . . හරිම අගෙයි . . දශක කීපෙයක හරස්කඩක් වගේ මේ ලිපිය . . උපරිමයි . . .

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි සහෝ.

      පසුගිය අවුරුදු විසිපහ තුල PC/computer දියුණු වූ තරම් වේගයෙන් යාන වාහන දියුණු වුනා නම් ඒවා ගමන් කරන වේගය මොන වගේ වෙන්න තිබුණාද? එක විදියකට එහෙම නොවීම එක්තරා විදියකට වාසනාවක්, නැතිනම් ඔපේරේටිං සිස්ටම් වල වගේ patch/upgrade දදා වාහනත් දුවන්න වේවි වගෙම අනපේක්ෂිත විදියට ක්‍රෑෂ් වෙන්නත් ඉඩ තියෙනවා)

      Delete
  12. ෂහ්... සුපිරි ලිපියක් ඩීන් අයියා...!!!

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි කොමන්ටුවට

      Delete
  13. ඩීන් අයියා මොකද නිෂ්ශබ්ද?
    කාලෙන් කාලෙට බ්ලොග් එපා වෙන මගේ ලෙඩේ ඔයාට හැදිලා නැහැ කියල හිතනවා.

    ReplyDelete
    Replies
    1. අපේ පදිංචිය වෙනස් වූ නිසා පසුගිය ටිකේ බ්ලොග් කටයුතු මග හැරුනා. පුලුවන් තරම් ඉක්මනින් පුරුදු පරිදි කරගෙන යන්න ඕනේ.

      Delete
  14. කාලෙකින් දැක්කේ නැහැනේ කියලා ආවේ බලන්න.............. මේ ලිපිය දැක්කේ දැන්නේ......... හරිම අගනා ලිපියක් අයියේ.......... :)

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි නගේ සොයා බැලීම ගැන, අපේ පදිංචිය වෙනස් වූ කාරනය නිසා බ්ලොග් කියවීමවත් කරන්න බැරි වුනා.

      Delete
  15. ඔය කාලේ වෙනකොට මං නං ඉපදිලත් නෑ...හරි අපූරුයි... දැනට වුණත් හරිම ඉක්මනට පරිගණක ලෝකය වෙනස් වෙනවා...

    ReplyDelete
    Replies
    1. ගල්මල් අඩවියට සාදරයෙන් පිලිගන්නවා, පිලිතුර පමා වූවාට සමා කරනු මැනවි.

      ඔබ හරි ICT ක්ෂේත්‍රය අන් හැම ඒවාට වඩා ඉක්මන් වෙනසක් අත් කරගන්නවා.

      Delete
  16. මගේ සහෝදරය බලල යන්න ඔන්න මන් ආව....මන් කිව්වනේ මොන දීපන්කරේ හිටියත් උඹව බලන්න එනවමයි කියල....ඒ මන් උඹේ හිත හොදට අඳුනන හින්ද....ඒ වගේම උඹගෙ මනුස්සකම මේ ලියවෙන වචනයක් වචනයක් පාසාම දැනෙන හින්ද....ජීවිතේ මහ පුදුමයි බන් අයියෙ......

    මේ..

    සුලා

    ReplyDelete