Tuesday, January 24, 2012

බලා ඉඳිමු මන්දාරමක්



නෙක රටා මවන
හැඩ වලා පිරෙන
කළු වියන් එලෙනවා
නුහුරු ජනේරු සීතලක්

පුංචි කුරුලු රෑනක්
උඩු ගුවනේ ඉහළට නැග
අඳුරු වලා අතර සැඟවෙන
රූං ගා කඩා වැටෙන
පිනුම් පානවා සතොසින්

හැංඟී බලා ඉන්න බැරිවද
එඹිකම් කළේ හිරු කිරණ
කළු වලා අතරින් රිංගා
පාට අරන් අඳුරු අහස
කුරුල්ලනේ කූඩුවුණා ද සොවින්

පාට වලාකුළු රඟදෙති
සීත අහසේ දුව පැන
වැහි ලිහිණියනේ ඈතින් ආ
බලා ඉඳිමු තව මන්දාරමක්
ගෙනෙන තුරු පොද වැස්සක්


පිංතූර: කවුළුව තුළින් මා සොබාසිරිය දුටු හැටි (22-01-2012)

24 comments:

  1. Replies
    1. It was a very beautiful rainy sky, time to time that got decorated by different shades. Thank you.

      Delete
  2. පින්තූරෙයි කවියයි දෙකම ලස්සනයි...

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි, සොබාදහම දෙන තෑගි.

      Delete
  3. අදයි මේ පැත්තට ආවෙ....ඇත්තටම ලස්සන කවියක්.දිගටම ලියන්න කෝඩුකාරයාගෙනුත් සුභ පැතුම්

    ReplyDelete
    Replies
    1. බොහෝම සන්තෝසයි. ගල්මල් අඩවියට සාදරයෙන් පිලිගන්නවා. ඔබේ දිරිගන්වන වදන් වලට බොහෝමත්ම ස්තුතියි.

      Delete
  4. මම කවි වලටනම් ටිකක් ටියුබ් ලයිට්..

    පින්තූරෙනම් උපරිමයි..

    ReplyDelete
    Replies
    1. සොබාදහම දෙන තෑගි ලස්සනයි නොවැ. බොහෝම ස්තුතියි.

      Delete
  5. මුහුද දිහා බලාගෙන ඉන්නවා වගේම මම ආස කරන දෙයක් තමයි සුළං ඇති වෙලාවට අහස දිහා බලාගෙන ඉන්න එක. කොතරම් ලස්සන රූ රටා මවනවද. මන්දාරම් අහසටත් ආසයි. බොහෝ අය වැහිබර අහසට කැමටි උනාට මම නම් අකමැතිම අහස කළුවර වෙන කොට. ඒත් කවියෙන් කියනවා වගේ අපි කවුරුත් බලාගෙන වැස්ස ලැබෙනවනේ. ඒ වගේම මේකත් අපේ ජීවීතයටත් අදාලයි. ඒක ලස්සනට ලියලා තියෙන්වා..

    ReplyDelete
    Replies
    1. ඇත්ත; සාගර තලයක නැඟෙන රැලි ලොකු පොඩිවෙලා බිඳෙන අයුරු වගේම අහසේ වලාකුළු පාවෙලා ඇවිත් ඉර වහගන්න විදිය සුළඟේ ගහගෙන යමින් නෙයෙකුත් රටා මවන විදිය විස්තර කරන්න බැරි ලස්සනක්... වැහිබර අහසක ඒ සුන්දරත්වය තවත් වැඩියි. වැස්සක් නැති දේසෙක, හිස්ම හිස් අහසක වලාකුළු රොඳ, කෙඳි වලාකුළු මතුවෙලා අඳුරේ ගිලෙනවා, ඒ අතරින් එඹී බලන හිරු රැසින් පාට ගන්නවා හරිම අලංකාරයි.

      ඒත් තවමත් වැස්සක් නැහැ, බලාපොරොත්තුව පොද වැස්සක්වත් දකින්න...

      හරියට ජීවිතය වගේ... එහෙම නේද මිත්‍රයා.

      Delete
  6. නෙක විසිතුරු රටවෙන් නුබ හැඩ කරණ
    නෙක හැඩ වළාකුළු ඇත සිසිරෙහි සරන
    දැක කළු වියන් එම කුළු අහසෙහි එලන
    ටික ටික නුහුරු සිසිලක් අප හට බෙදන

    පොඩි කුරුළු රෑනක්
    නැඟ අහසට වතාවක්
    වී තුළ වළාවක්
    තුටු වූ යුරු ඉනාවක්

    හැංගී හිටියා ඇති වී හිරු -------තෙද
    රිංගා ආවා වළාකුලක් ---------- විද
    අහසේ අඳුරත් දුරුවී එම ---------සඳ
    කුරුලන් පියඹා ගොස් ඇත සොව --මැද

    දෙති රඟ නෙක වළා
    අහසේ සීත නසලා
    දිනක වැසි වැහැලා
    වැහි ලිහිණි තුටු කෙරෙයි නුඹලා

    ඩීන් අයියගේ තවත් ලස්සන නිර්මාණයක්...

    ReplyDelete
    Replies
    1. බොහෝම රසවත්, සුන්දර පදපෙලක් මල්ලී. ගොඩාක් රසවින්ඳා. බොහෝමත්ම ස්තුතියි.

      Delete
  7. කතරක සිසිර අහසේ
    කළු වියන් එලෙනවා

    ටිකක්වත් වහින්න ද හදන්නෙ? ආසාවට දකින්නවත්..

    ReplyDelete
    Replies
    1. වහී කිව්වත් තවමත් නැහැ, ඒ සූදානම බලාපොරොත්තුවක් ඇති කරනවා.

      කොහොම නමුත් වලාකුළු පිරෙන අහස ලස්සනයි.

      Delete
  8. හරිම ලස්සනයි අයියේ,.

    ReplyDelete
    Replies
    1. සිත් අහස ඉදිරිපත් කරන කවි තරු ද ලස්සනයි.

      බොහෝමත්ම ස්තුතියි නංගී.

      Delete
  9. වැස්සක ඉඟියක් දීලා කාගෙත් හිත් ටික වෙලාවක් සතුටට පත් කළ අහස, ආයෙ ටිකකින් හිරු රැස් පෙන්නලා ඒ සතුට උදුරගෙන. ටිකෙන් ටික වෙනස් වෙන දසුන් පෙළක් හිතේ මැවුණා.

    ReplyDelete
    Replies
    1. වැස්සක බලාපොරොත්තුව ඇතිකරත්, වැස්සේ නම් නැහැ. ඒත් විසාල කවුලුව ලඟට වෙලා ඈත අහසේ රැස්වෙන, විසිරෙන පාට පාට වලාකුළු දකින්න ලැබුන එකත් හිස් අහසට හුරු ඇස්වලට සම්පතක්.

      Delete
  10. මන්දාරම් අහසේ වැහි වලාවන් පෙල ගැහෙන කොට තියෙන ලස්සන. කතරකට වැටෙන පළමු වැහිපොද කොපමණ සතුටක් ගේනවාද හැමෝටම. ලස්සන අදහසක් ලස්සනට පද බැඳල. ස්තූතියි ඩීන් මල්ලී.

    ReplyDelete
    Replies
    1. //කතරකට වැටෙන පළමු වැහිපොද කොපමණ සතුටක් ගේනවාද හැමෝටම.//
      ඒ වැහි පොද දකින්න තවත් කාලයක් ඉන්නවෙයි වගේ...

      බොහෝම ස්තුතියි අක්කේ ඔබේ දිරිවදන් වලට.

      Delete
  11. සැඩ හිරු සතුරු බලමුළු ඇති සතර වටින්

    වේලි ඉරිතැලුන බිම දැක උපන් සොවින්

    ඉඳහිට තැවී අසරණ සුදු වලා පෙලින්

    අහසට දුක හිතී හෙට වැසි පොදක් එවන්

    ReplyDelete
    Replies
    1. වැහි බර අහසට
      මන බැඳි හින්දා
      උරන වෙලා දිනකර
      උදුරා ගති කම්බිලිය

      Delete
  12. වළාකුළු පිරිච්ච අහස හරි ලස්සනයි තමා, මෙහෙ තියෙන හිස් අහසෙ වළාකුළක් දැකීමත් සතුටක් නේද? කිව්වත් වගේ බලාපොරොත්තු දීලා විතරක් ගිහින්ද? පහුගිය දොහේ වැස්සෙම නැහැලු නේද?

    ReplyDelete
    Replies
    1. විටින් විට වැස්සක බලාපොරොත්තු දීලා ගියත්, ඒ වැහි වලාකුළු හිස් අහස සරසපු හැටි නම් බොහෝම ලස්සනයි. රසදිය කඳ ඉනිමග දිගේ ඉහළට නැඟලා වලාකුළු හොරකම් කරනකම් තව ටික දවසක් ඒ ලස්සන දකින්න පුලුවන් වේවි.

      Delete