Sunday, May 1, 2011

අරුණලු

දවස නිමාකර ක්ෂිතිජ ඉමෙන් හිරු බැස යන්නේ විඩාබර ලොවට විරාමයක් ලබාදීලා, වෙහෙසකර දවස අග විවේකයක් ගන්න ඉඩ සලසලා. අඳුර පැතිරෙන අහස සෞම්‍ය සඳකැනින් ඔපවත් වෙන්නේ අලංකාරව, ඒ අතර ඉසිරුන පුංචි තරු නොපෙනෙන තරම්. සඳ නැති අහසේ ලොකු පොඩි තරුකැට දිදුලන්නේ අහස හිස් නොකර. ඒ තරුමල් වල දීප්තිය මොනතරම් ද දකින්න පුලුවන් වෙන්නේ අඳුරු අහසේ, බොහෝවිට ගනාදුර අහස ගිලගනිද්දී නොවෙද?

වැහි බිඳක්වත් නැති කලෙක දවසේ සැඩ හිරු රැසින් දැවුන පොළෝතලය පිණි බිඳු වලින් සිසිල් වෙන්නේ ගනාදුරු අහස යට. සැඟව ගිය හිරුගෙන් ලද විරාමයේ ගිමන් හරින ගස් කොළ මත රැඳෙන පිණි බිඳු මද පවනේ ලෙලෙන කොළ මත නොවෙද මුතු බිඳුවක හැඩ ගන්නේ. කොළ අග්ගිස්සෙන් ගිලිහුනත් පිණි පොද නොවෙද වියලි පොලෝ තලය තෙතමාත්තු කරන්නේ.

රාත්‍රී අහස මොනාකාර වුවත් අළුත් දවසක් උදාකර නැග එන නැවුම් හිරු කිරණින් ලොව නැහැවෙන්නේ සුවහසක් පැතුම් මල්පල ගන්වන්න. අරටුවෙන් මතුවෙන්න මානන නැවුම් දල්ලක්, අතුඅග පිපී ලොව පාට කරන්න සුවඳ කරන්න බලා ඉන්න මල් පොහොට්ටුවක්, නිසසල පරිසරය කුරුළු ගීතයෙන් පුරවන්න බලා ඉන්න සියොතුන්; ප්‍රබෝධමත් වෙන්නේ ඒ නැවුම් හිරු කිරණින් නොවෙද.

ජීවිතය ද දිවා-රැයින් පිරුණ දවසක් වගේ නොවෙද, එහෙත් ජීවිතයක ඒ කාල කලාප දෙක දවසේ විසිහතර පැය මෙන් කෙටි වෙනවානම් දිවා රෑ වගේ මාරුවෙනවා නම් වාසනාවකි. බොහෝ විට එක් කාල කලාපයක් අනෙකට සාපේක්ෂව බොහෝ දික් වෙන්නත් පුලුවන්. අඳුර ගිලගත් රාත්‍රිය ගෙවිලා නේද උදෑසැන එළිය එඹී බලන්නේ.

උදේ මුදු හිරු රැසින් පිපිය යුතු මල් පොහොට්ටුවක්, දැඩි අරටුවකින් මතුවිය යුතු ලදල්ලක් ගැන සිතන්න. අරුණලු ලොව විහිදෙද්දී පිපෙන්න නම් පොහොට්ටුව අතු අගට ආයුතු වන්නේය. දල්ල අරටුවෙන් එළිය දකින්න නම් ගසේ පොත්ත මතුපිටට ආයුතුයි. මෙලෙක් මල් පොහොට්ටුව, සියුමැලි දල්ල ගසේ කඳක් හරහා මතුවී එඹී බලන්න මොනතරම් බාධක ජයගන්න වෙනවා ඇද්ද? හිතා බලන්න... හිරු සැඟව ගිය අඳුරු රාත්‍රියක ඉරී කැඩී ගිය ගස් කඳ පොතු පිරිමැදගෙන විවේක ගනිද්දී තව තවත් දැඩිවෙන්න ශක්තිමත් වෙන්න තැනෙද්දී මතුවිය යුතු අලුත් දල්ලක් ඊටත් වඩා ශක්තිමත් වෙන්න වෙනවා; ජය ගන්න නම්.

අපේ ජීවන ගමනේ දී අනේක කම්කටොලු වලට මුහුණපාන්න වෙනවා. ඒවාට දිරියෙන් මුහුණ දී ඉදිරියට යන්න සමත්වෙන්නා ජය ගන්නවා. ඒ ගමනට දිරියක් දෙන්න සමත් විය හැකි, රුකුලක් වෙන්න පුලුවන් දෑ; විශේෂයෙන් විශ්ව සාහිත්‍යයෙන් පෝෂණය වෙන දිරිමත් කරවන කියමන් (inspirational quotes) අලලා කල රචනා අපේ පාඨකයින් අතරට සිංහල බසින් ගෙනෙන්න උත්සාහයක් අරුණලු.

අරුණලු|Inspirational ගල්මල් අඩවියේ තවත් පියවරක්. එන්න කියවන්න, ඔබත් දායක වෙන්න, විස්තර මෙතැනින්.

20 comments:

  1. Success is a journey, not a destination.

    කියල මට මේක අහන්න ලැබුණ මම උපාධිය අරගෙන වැඩ කරන්න ගත්තට පස්සෙ උදාවුණ පළමුවෙනි ජනවාරි පළවෙනිදා...

    මට ඒක තාමත් මතකයි...

    අරුණලු අඩවියේ සාර්තකතවය වෙනුවෙනුත් මගේ සුබ පැතුම්...
    දිගුකල් ඉදිරියට ගෙනයන්නට ශක්තිය හා දිරිය ලැබේවා!!

    ReplyDelete
  2. ජීවිතේ සර්ථකත්වය රදා පවතින්නෙ අපි ඉන්න තැන නෙවෙයි, අපිට හමුවන බාදක වලට අපි මුහුණ දෙන ආකාරයටයි කියල මට හිතෙනවා. මටත් මේ ටිකේ එහෙම බාදක වලට මුහුණ දෙන්න වෙලා. ඒව හැම දෙයක්ම උපේක්ෂාවෙන් විඳ දරාගන්න හිතුවට සමහර වෙලාවට ටිකක් අමාරුයි. මගේ තැන අත්හරින්න, හැම දෙයම අත්හැරල වෙන තැනකට යන්න ටිකක් හිත හදා ගන්න අමාරුයි. ඒ වගේ වෙලාවක හිතට සහනයක් දෙන මේ අඩවිය යම් සැනසිල්ලක් ගේනවා හිතට. දිරියක් ලැබෙනවනෙ කඩා වැටුන හිතකට. මල්ලී ඔබට පින්. ඒ වගෙම ඉදිරියටම යන්න ශක්තිය වාසනාව ඔබට ලැබේවා!

    ReplyDelete
  3. සුබ පැතුම් අයියා.......
    “අරුණැල්ල , අරුණැල්ලක්ම වේවා“

    ReplyDelete
  4. ජීවිතයට අරුණැල්ලක්.
    යහපත් අරමුණකින් ඇරඹෙන මේ කර්තව්‍යයට මගේ සුභ පැතුම්.

    ReplyDelete
  5. නියමයි ...

    ReplyDelete
  6. “අරුණැල්ල“ දිගුකල් ඉදිරියට ගෙනයන්නට ශක්තිය හා දිරිය ලැබේවා!!

    ReplyDelete
  7. අද පතිත වන සොඳුරු අරුණැල්ලෙන් බ්ලොග් අවකාශයම ඒකාලෝක වේවා......!

    ReplyDelete
  8. සුබ පැතුම් අයියා.....

    ReplyDelete
  9. @චේජනා:
    Life is a journey, not a destination.
    Success is a journey, not a destination.
    කියමන් දෙක බොහෝවිට වෙන් කරන්න බැරිතරම් සමීපයි.

    ජීවන ගමන් මඟේ ජයකණුව (success) කියන stepping-stone අත්පත් කරගන්නාට එතැන රැඳෙන්න බැහැ ඉදිරියටම යායුතු වෙනවා. බොහෝවිට stepping-stone ගනනාවක දෙපා තබා journeyය ඉදිරියට යන්න වෙනවා.

    බොහෝම ස්තුතියි නංගී සටහන හා සුබ පැතුමට.

    පසුගිය දිනවල ඇතිවූ බාධක හැම ජයගෙන ඉදිරියෙන් ඉදිරියට යන්න හැකියාව, දහිරිය හා ශක්තිය නංගිට වැඩි වැඩියෙන් ලැබේවා පතනවා.

    ReplyDelete
  10. @Chandi:
    ජීවිතයත් හරියට මහපාරේ අරන් යන වාහනයක් වගේ. යන්න නියමිත ගමනක්, දිසාවක්, මාර්ගයක්, ඒ සඳහා අවැසි වාහනය හා ඊට උවමනා කරන ඉන්ධන පුරවාගෙන සමහර විට වෙලාවකුත් හරියට බලලා ගොඩවෙනවා. වාහනය මොනතරම් පරිස්සමෙන් පදවාගෙන ගියත් කිසිම නීතියක් විනයක් නැති ඉදිරිපසින් එන වාහනය පදවන්නා අපේ වාහනය දෙසට එද්දී කාණුවට කපලා හරි වාහනය හා ගමනේ යෙදෙන්නන් බේරාගන්න වෙනවා. පමණක් වෙලාවට වාහනය පසුකර ඇදෙන ලොකු කන්ටේනර් ට්‍රක් එකක් පසුකර යනවා, ඉන් ඇතිවෙන හුලඟේ තෙරපුමට වාහනය ගැස්සෙනවා, විසිවෙනවා වගේ දැනෙනවා. පාරේ වලගොඩැලි බේරලා, ඉදිරියෙන් එන වගේම පසුකර යන හැම බාධකයකින්ම බේරාගෙන ඉදිරියටයන්න වෙනවා.

    ජීවිතයේ අපිට පාලනය කරන්න පුලුවන් වගේම අපිට කිසිම පාලනයක් නැති බොහෝ දේ තියෙනවා නේද අක්කේ. අපේ දයාබර අක්කණ්ඩිට ඒ හැමට මුහුණ දී, ජයගෙන ඉදිරියට යන්න දිරිය හා ශක්තිය වැඩි වැඩියෙන් ලැබේවා පතනවා.

    වචන කිහිපයකින්වත් උපකාරයක් වෙන්න පුලුවන් වුනා නම් සතුටක්, බොහෝම ස්තුතියි සටහනට අක්කේ.

    ReplyDelete
  11. @සොඳුරු සිත:
    මුල ඉඳන්ම ගල්මල් පිරි කොරල් රකින සොඳුරු සිත, ඔබේ සුබ පැතුම් ශක්තියකි නංගී. බොහෝමත්ම ස්තුතියි.

    ReplyDelete
  12. හද පිරි සුබ පැතුම්!!!

    ReplyDelete
  13. @නලිනි චන්දිමා:
    බොහෝම ස්තුතියි සුබ පැතුමට.

    ReplyDelete
  14. @prasanna86k:
    බොහෝම ස්තුතියි.

    ReplyDelete
  15. @උපේන්ද්‍ර හර්ෂණ ද සිල්වා:
    බොහෝම ස්තුතියි මල්ලී.

    ReplyDelete
  16. @දුමී:
    බොහෝම ස්තුතියි දුමී.
    කාලෙක ඉඳන් තිබූ අදහසක් මේ; Small push towards right direction වගේ අපෙන් පුලුවන් දේ කරමු.

    ReplyDelete
  17. @nimanthi:
    බොහෝම ස්තුතියි නංගී.

    ReplyDelete
  18. @ඉෂ්:
    බොහෝම ස්තුතියි.

    ReplyDelete
  19. ගල්මල් අඩවියට අලුතින් එක්වූ "අනාරාධිත ආගංතුකයා" සාදරයෙන් පිලිගන්නෙමු.

    ReplyDelete
  20. ගල්මල් බලන්න එක්වූ 'රත්ගමයා' හා Keshani Govinnage සාදරයෙන් පිලිගන්නෙමු.

    රත්ගමයා මල්ලීගේ ලිවීම විශේෂයෙන් සියක් වදන් තුල අහුරන අදහස් ලස්සනයි, යමු පෙරටම.

    ReplyDelete