සසල සුළඟ
දේදුන්නේ පාට අරන්
නෙක වයිරං රටා මවනවා
නිසංසලේ
නිල් අහසේ එඹී බලන වලාකුළු
ලොකු පොඩි ගස් උනා ගෙනත්
හැඩකර දසුන අඳිනවා...
වා බුබුල වටකර
සුසිනිඳු බිත ඇතිතුරු
ගිලිහුණ හැඩ සබන් බුබුල
සුළඟේ ඇදෙනවා
සටහන:
පුංචි එවුන් ආස කරන සෙල්ලමක් සබන් පෙන පිඹලා බුබුළු හදලා සුළඟේ පාකර යැවීම. ඒ සඳහාම නිපද වූ සෙල්ලම් බඩුත් තියෙනවා. තවද සබන්, රෙදි සෝදන කුඩු වර්ග වතුර සමඟ පාවිච්චි කරන වෙලාවක නිතැතින්ම ඇතිවී හුළඟේ පාවෙලා යන බුබුළුත් දකින්න පුළුවන්. ඒ වගේම සැණකෙළි, විවිධ ප්‍රසංග ආදී තැන්හි සබන් බුබුළු දර්ශන පවත්වන පළපුරුදු කලාකාරුවෝ (professional bubbleologist) ද ඉන්නවා. ඔවුන් නොයෙකුත් හැඩ හා ප්‍රමාණ වලින් සබන් බුබුළු මවනවා.
සබන් බුබුලක් කියන්නේ ඉතාම තුනී දියර සබන් පටලයක් තුළ වායු ඇබින්දක් හිරවීමෙන් සබන් දියරයෙන් මිදෙන සැහැල්ලු උඩුකුරු හැඩයක්. නිදැල්ලේ පාවෙන සබන් බුබුලක ආයුෂ අල්ප කාලයක්, එය යමක ගැටීමෙන් හෝ නිරන්තරයෙන්ම හෝ පිපිරීමට ලක් වෙනවා. ඒ කෙටි කාලය තුළ බුබුලේ බිත්ති මත අනේක පාට වයිරං හැඩ ඇඳි දිලෙනවා, මද සුළඟින් ඒ වයිරං බොඳවෙනවා. තවත් වරෙක හැඩ මවනවා. වචන කරන්න බැරි ලස්සනක් දිස්වෙනවා. සුළඟේ පීඩනය අඩුවෙද්දි සුමට, පැහැදිලි තුනී බිත්ති උඩුතල දර්පණයක් වගේ දිලෙන්නේ. ඒ මත නිලඹර අහස්කුස, මහ පෙළවේ තණනිල්ල, ගස්, මල් යනාදියෙන් පිරුණ පරිසරය, අහස පොළව අතර එඹී බලන වළා රොඳ ඇඳී දිස්වෙනවා. ඒ සුන්දර සොබාදහමේ සැහැල්ලු නිදහස් සබන් බුබුළයි.
මහා පරිමාණයෙන් සබන් බුබුළු ඇති කරන මැෂින් ද තියෙනවා.
සබන් බුබුල ඇති වූ හැටි මොනවා වුණත්, අර විදියට මනස්කාන්ත පාටින් පිරි හැඩ වයිරං මැවෙදෙද්දි තවත් මොහොතකින් ඒ මතම සුන්දර දසුන් ඇඳෙද්දි කවුරු වුණත් වශී වෙනවා, කාට වුණත් ලොබ හිතෙනවා. ඒ ලෝක ස්වභාවය. ඔක්කෝම අර තුනී සබන් බිත්තිය චූටි වායු බුබුල හිරකරගෙන ඉන්න සමත් වෙනතුරු විතරයි නේද...
අනන්ත අප්‍රමාණ අහස් කුස, නෙතු සීමාවෙන් ඔබ්බට ඇදෙන දසුන් අතක රැඳි පුංවි සබන් බුබුලක ඇඳෙද්දි ඇතිවෙන්නේ ලෝකයම අතේ කියන හැඟීමක්, එය හිතක පිරෙන මානය වගේ නොවේ ද?
සබන් බුබුලේ අනිත්‍ය බව කියැවෙන (uncertainty) අඩමානය වචනයේම මානය වචනය සැඟවී ඇති හැටි නිර්මාණයට නම දුනි...
සබන් බුබුලේ අනිත්‍ය බව කියැවෙන (uncertainty) අඩමානය වචනයේම මානය වචනය සැඟවී ඇති හැටි නිර්මාණයට නම දුනි...
සබන් බුබුල ගැන වැඩි විස්තර විකියෙන් කියවන්න.
සබන් බුබුලක් මතුපිට ඇඳෙන වෙනස් පාට/හැඩ වයිරං කිහිපයක්


