බේකරි කඩේ පිහිටියේ අපේ ගෙදරට මීටර 150 ක විතර දුරින්. උදෙන් ඒ යනෙන ගමනේ හමුවෙන පුරුදු මුහුණු බොහෝමයකි.
උදේ අඳුරේම වෙරළ දෙසට ඇදෙන මාළු වෙළෙන්දන් තොග අරගෙන ලහි ලහියේ වෙරළින් ඇතුළත පළාත් වලට ආපසු ඇදෙති. මේට් බයික් වල හුටු හුටව පරදමින් ඔවුන්ගේ කතාව තොග ගණන්, සිල්ලර මිල නියම කරගැනීම වුවද විශේෂණ පේළියක් එක්ක දේශපාලන ගුණවරුණ වුවද කෙරෙන්නේ ඔවුනට ආවේණික බස් වහරකිනි.
දවසේ වැඩමුරයට සේන්දු වෙන්න දෝ පියාඹන මොටර් සයිකල් බොහෝමයකි, ඒ අතර ද පුරුදු සිනාවකින්, සැලුට් එකක් දාගෙන යන්න අමතක නොකරන කිහිප දෙනෙකි.
ජොගින් රිද්මයේම වෙරළ දෙසට දුවන ඇවිදින, උදවිය කීපදෙනෙකු හමු වීම ද පුරුද්දකි. වේගය, රිද්මය, ඉක්මන, මෝස්තරය කියන කාරණා ගමනක ස්පීඩ් කොන්‍රෝලරය එහෙමත් නැතිනම් ඇක්සලේටරය වුවද සුපුරුදු ලීලාවෙන් පුෂ් බයිසිකලයෙන් වැඩට යනෙන සුපුරුදු මුහුණු ගණනාවකි. පැදිල්ලේ වේගය අනුව දවසක් දෙකක් මගෑරුණද ඔවුන් නිරන්තරයෙන් තවත් උදේක හමුවෙති. බොහෝම හිතවත්ව උදේට සුබ පතමින්, කුළුපඟ හිනාවකින් ගනුදෙනු කර පසුකර යති.
මීට වසර දෙකකට පමණ කාලෙකට කලින් එවැනි බයිසිකල් හිතවතෙකුගේ ගමන නැවතුණි, නමක් ගමක් නොදන්න ඔහු ගැන විපරම් කර ද "ට්‍රාන්සර්" කරල වෙන්නැති හිතුණි.
පසුගිය මෙලේච්ඡ අප්‍රේල් සමයේ නිරස අත්දැකීම් අඩුවක් නැතිව ගෙවුණ, අපිව "ලොක්ඩවුන්" කර තිබූ සමයේ දවසක, මං නොබිව්වොත් සමීපතයන් ලෙඩවෙන මගේ බෙහෙතක් හොය හොයා හෙම්බත්වී ආපසු එන ගමනේ දාඩිය පෙරාගෙන බසයේ අසුන් ගෙන සිටි මා ළඟට ඇවිත් කතා කර කෙනෙකි. මට ඔහුව එකවර හඳුනාගත නොහැකිවිය. අතේ තිබූ කැප් එක හිස පළන්දා ගත් ඔහුව අඳුනාගන්න මහසිවෙන්න වුණේ නැහැ, ඒ අවුරුදු ගණනාවක් උදේ හමුවුන සුපුරුදු "ගුඩ් මෝනින්" හිතවතෙකි, "ට්‍රාන්සර්" කරලා වෙනැනති කියා සිතා සිටි හිතවතාය. පළමු වතාවට අප දෙදෙනා "ගුඩ් මෝනින්", "ගිහින් එන්නම්" යන සීමිත පද කිහිපයකට වඩා යමක් කතා කර අවස්ථාව එය විය. පාදයක කර සැත්කමක් නිසා "බයිසිකල් පැද්දාම, කකුල රිදෙන්න ගන්නවා. දැන් බස් එකේ වැඩට යන්නේ" කී ඔහු ප්‍රදේශයේ මහ රෝහලේ සේවය කරන බව දැන ගත්තෙමි.
ඊයේ (20/3) සවස හයෙන් පටන්ගත් පැය 60ක ඇඳිරි නීතිය බලපැවැත්වේ. අපේ ගෙවල් ඉදිරිපිට පාර, ගාල්ල-කොළඹ පාරට සේන්දුවන කරාපිටිය රෝහලට දිවෙන ප්‍රධාන පාරකි. තවත් පැත්තක මුහුදුබඩ දුම්‍රිය මාර්ගයවේ. යකඩ යකා නිදි වෙන්න ඇති, උණ බම්බු රේල්ගේට්ටුව අසල "එලාම්" කන් කරච්චලය ද සද්දයක් නැහැ. ඉඳහිට ඇදෙන වාහනයක්, ස්විච්-ඔෆ් කළොත් හුස්ම ගන්න බැරිවෙයි දෝ හිතා වෙන්නැති පළාතම දෙවනත් කරන මෝටර් බයික් කිහිපයක් හැරෙන්න පැත්ත පළාතම නිහඬයි.
අද උදේ පාන්දර වෙරළ පැත්තට ඇදෙන මාළු වෙළෙන්දන්ගේ කතාව නැත. උදේට හමුවන පුදුරු මුහුණු නැත. කළු දුමින් පළාතම දෙවනත් කරමින් ඩිපෝවෙන් අවදි වෙලා දුවන බස් ද නැත. කවුළු දොරින් පාළු පාර බලාගෙන උන්නෙමි. තවම උදේ හය පහුවුණා විතරයි, "බයිසිකල් පැද්දාම, කකුල රිදෙන්න ගන්නවා" කියූ අර මහත්මයා පුෂ් බයිසිකලය පදිමින් වැඩට යනවා දුටුවෙමි. මෙතැන් සිට අඩුම තරමින් කිලෝ මීටර් හතරක් ඔහු වැඩ කරනවා කී රෝහලට පැදිය යුතුවේ. ඔහු ඊටත් වඩා දුරක් ගෙවා එන බව ද දනිමි.
මේ සටහන ඒ මහත්මයාගේ සේවාවට කැපවීම ඇගයීමටය. එවන් සුව සේවාවකට කැපවූ හැම වෙනුවෙන් මතක් කිරීමටය.
නොගැඹුරු මුහුදේ සුපිපි, වෛවර්ණ සමුදුරු ජීවින්ගෙන් සැදුම්ලත්, සුනම්‍ය පෙති නැති, පුෂ්පයක් නොවූ එහෙත් බරක් ඇති පරනොවන මල.
Subscribe to:
Post Comments (Atom)
Featured Post
ජීවිතය හීයකි - Arrow
ජීවිතය හීයකි බලාපොරොත්තුවෙ ඉලක්කය වෙත ඇදී යන හී හිසට ජවය, රුකුල දණ්ඩම ලබා දියයුතු ජීවිතය හීයකි ඈත මෑත ඉලක්කය ගෙන සීරුවෙන් විදින, ඉලක්කය ...
Popular Posts
-
අදත් බැරිලු කරන්න අන්තිම තෙරපිය. කීවතාවක් නම් කල්ගියා ද? ඉන්නෙපයි වරුවක් එනකම් ගමේ යන බස්සෙක ඔන්න ඔහේ ඉන්නවා මෙතැනම. මහා දානපති ගමේ මුදලාල...
-
දවස නිමාකරන හිරු බැස යන්නේ විඩාබර ලොවට විරාමයක් ලබාදෙන රාත්‍රිය උදාකරලා. දවස තිස්සේ අඩු වැඩියෙන්, මුදු දැඩි හිරු කිරණින් ලොව දවාලුව ද බටහිර ...
-
උදේ පාන්දර ඔබට උනුම උණු කෝපි කෝප්පයක් පිළිගන්වනවා, ලස්සන සිනාවක් එක්ක. පදමට රෝස්ට් කර කෝපියේ ඇරෝමාව (Aroma, සුවඳ) ඔබේ නාස් පුඩු අතරින් රිංගන...

ඔවුන් ලොකු අරගලයක.. ඒ අරගලයේ වටිනාකම හීන කරන් අමනයන් ඉවක් බවක් නැතුව රතියාදුවේ යමින් රටම අනතුරේ හෙලනවා..
ReplyDeleteරටක් බේරා ගැනීම වෙනුවෙන් මේ මොහොතේ අනවරත අරගලයක නිරත සැමට ශීර්ෂ ප්‍රණාමය !