Sunday, April 3, 2016

පුංචි තේ වත්තට වරෙං කොහෝ



සැඩ හිරු දවනවා
රන් දළු පිදූ අතු අග
පරවෙලා කළු
වියපත් කොළ වසා
දුඹුරු පැහැ දුහුවිලි
දළු නෙළන අතැඟිලි
පුරුද්දට දින ගනිනවා
විඳිනවා සුවඳ
පාට මල් ඉහිරුණ සළුපිළි
හෑල්ලු දළු ගෝනි
බර පොහොර මිටි
අතර හිරවෙලා
කුඩා තේ වැවිලි
යායේ තැනින් තැන
උස ඇල්බීසියා ගස්
යාරේ කොට වෙලා නිදි
ඈත හිස් අහසේ
කණකොක් රෑන පීරනවා
කොහෝ කෝ නුඹ...

15 comments:

  1. Ohe vavanna gattai :(

    ReplyDelete
    Replies
    1. අනේ නැහැ, වැවිල්ලක විනාසය ගැන ලිව්වා විතරයි.

      Delete
  2. හොඳම තේ සුද්දන්ට
    කසල තේ පොඩ්ඩන්ට

    අගෙයි...
    මේ පැත්තෙනං තාමත් කොහා කෑ ගහනව.

    ReplyDelete
    Replies
    1. ඇත්ත කතාව, දළුවල මිල පහත වැටීමට හේතුව ලෝක වෙළඳ පොළේ තේ මිල බැහීම ලු. ඒත් අපිට බොන්න ලැබෙන ඩස්ට් (ස්වීපිං) මිල නම් අඩුවක් වුනේ නැහැ. ලෝකය වෙළඳපොළක් වුනාට අපි වියදම් පොළක් (වෙනස්) නෙවැ.

      දළු මිල අඩුවීම පහත රට කුඩා තේ වැවිලි වලට බොහෝ සේ බලපා ඇත.

      Delete
  3. අපූරුයි නිර්මාණය......

    ReplyDelete
    Replies
    1. බොහෝමත්ම ස්තුතියි ඇගයීමට

      Delete
  4. ඩීන් අයියා හුඟක් දේවල නොදකින පැත්ත දකිනවා දෝ කියලා හිතෙනවා හැමදාම දාන ඒවා බලපුවාම...

    ReplyDelete
    Replies
    1. ගාල්ල අවට කුඩා තේ වතු වගාවන් සුලබයි, ඒ අතර පරම්පරාවෙන් උරුම වූ ඉඩම් වගේම බොහෝම මහන්සියෙන් උපයා තේ වල රන් (කහවනු) රසට වහවැටිලා කුඩා තේ වතු වගාවට අත ගහපු අය ද එමටයි. මොන පාර්ශවය උනත් රටට හොඳ විදේෂ විනිමයක් ගේන පහත රට තේ වෙළඳ පොළ උරමත තියාගෙන ගිය උදවිය. පහුගිය කාළයේ ලෝක වෙළඳ පොළේ තේ මිල අඩු වුනාලු, තේ දළුවලට ගෙවන මිළ කඩා වැටුනා. මෙ අවස්ථාවක දී වැවිලිකරුවන්ට සහන සැලසීම වෙනුවට ඔවුන් ලද පොහොර සහනාදාරය ද කප්පාදුවට ලක් වුනා. ඒ මදිවට වැසි නැතිව අධික රශ්ණයෙන් ද ඔවුන් තවත් පෙළීමට පත් වුනා.

      සම්ප්‍රදායිකව අවුරුදු කාළය කියන්නේ වතු වැඩවල යෙදෙන අයට තෑගි බෝග ලැබෙන කාලය. දමිල අය අලුත් අවුරුද්දට කියන්නේ චිත්තරෙයි කියලා, වතුකරයේ ඔවුන්ට තෑගි මල්ල අහිංසක අයිතියක් වගේ, වතුහිමියාගේ වගකීමක්.

      තුෂර බිඳු පහස උරුම තේ දළු ගිණියම් අව්වට පිච්චී, කොළමත දුහුවිලි තට්ටු අරක්ගෙන.

      තේ වගාවට යෙදන පොහොර පසතුල රැකගැනීමේ උපක්‍රමයක් හැටියට තේ පඳුරු අතර ඇල්බීසියා වවනවා. පොහොර නැත්නම් මොන ඇල්බීසියාද? ඒවත් ලොකු දර කොටන් වලට කැපිලා බලා ඉන්නවා... කනකොක්කු අහස සැරිසරද්දි...

      හැම පැත්තෙන්ම පීඩා විඳින කුඩා තේ වතු වැවිලි කරුවා මේ පදපෙලට මුල් වුනා.

      Delete
    2. අනෙක, දැනටමත් වතු වැඩවලට සම්ප්‍රදායීක ශරම බලකාය වන දමිල උදවිය අඩුයි ලු. අපි පදිංචි මුහුදුකර පෙදෙසේ සිට වතු පිහිටි දිසාවට වැඩකරන අය (දමිල නොවන ) ප්‍රවාහනය කරන වාහන කිහිපයක් උදේට දකින්න පුළුවන්. තේ වැවිල්ල කඩා වැටුනොතින් ඒ සේවක පිරිසට යන කල? ඔවුන් ඉන් ඈත් වුනොත් හෙට අපේ ශ්‍රම වෙළඳ පොළ ආක්‍රමණයට ඉඬ් ඉන්දීය නරියා ආයෙත් තේ වතු අරක් ගන්න පුළුවන්.

      Delete
    3. ඔබ හැමදාම ලොකු කතාවක් පොඩි පද පේලියක් අස්සේ හිර කරණවා. ඒක විශ්මිත හැකියාවක්..

      මේ හැම වෙනසක් දිහාම අනිත්‍ය සංඥාව වඩමින් අපි බලා ඉඳිමුද ? එහෙම නැත්නම් වෙන කළයුතු දෙයක් තිබේද ? මටනම් තේරුම් ගන්න අමාරුයි.

      ස්තූතියි මේ පිළිතුර ගැන දැනුවත් කළාට. නැත්නම් මට මේ පසුබිම් කතාව මගහැරෙනවා...

      ස්තූතියි ඩීන් අයියා.

      තෙරුවන් සරණයි !

      Delete
  5. පදපෙල කියවන්න ගොඩ වූ හැමට බොහෝම ස්තුතියි.

    කොමන්ට් සටහන් වලට බොහෝමත්ම ස්තුතියි, පසුව පිළිතුරු ලියන්නම් වෙන වෙනමම.

    කෙළවරක් නැතිව වෙහෙසෙන ඇනෝ(ලා)ට ද පිං

    ReplyDelete
  6. හෑල්ලු දළු ගෝනි
    බර පොහොර මිටි...
    කවදහරි
    බර වෙච්ච දළු ගෝනි
    හෑල්ලු පොහොර මිටි...
    වුනෝතින්
    කොහා හැමදාම එයි...

    ReplyDelete
    Replies
    1. ඔව් සහෘදයා, ඔවුන්ට කොහා හඬලන්නේ එදාට.

      කාලෙකට පසුව ඔබව දැකීම ගැන බොහෝම සතුටුයි.

      Delete