Saturday, May 12, 2012

පලලන් නැති ඉඳි මල්


වසත් හිරු රැසින් නැහැවෙන
පීදුනත් දිගු රෑනින් බරවුන
පලලන් නැති මල් කුමට මෝරන

මැදුරු පේළිය අහස සිඹින
උයන් කෙළවර ගීත බමන
යාන වාහන තටුගෙන පියාඹන
තුරුයාය නුවර වීදි සරසන

ඉඳියාය සහස් මලින් බරවුන
තුඩින් තුඩ වත්සුනු අරගෙන
ගුමු ගුමුව තාලෙට රඟන
සිරිය නෙක පාටින් පිරෙන

වරම් නැත එසිරිය විඳින
වසත්කල මල් රෑනින් පුදන
නෙතු එපිට යායේ වැඩෙන
පලබර සුවඳ හිතේ ඇඳෙන

බෝ ගැහැට කතරේ විඳගෙන
උයන්පල් තෙමෝ නුඹ මා තනිවුන
එකම යායේ කෙළවර දෙතැන
මලින් පුදා සුවඳින් සැනසෙන


නිමිත්ත: උයන්පල්ලෙකු (Gardener) හා පල හට ගන්නේ නැති රට ඉඳිගහක්.


රටඉඳි ගස් කියද්දි නිරායාසයෙන්ම මතකයට එන්නේ වියලි දේශගුණයක් ඇති අරාබිකරය. කෙටි කාලයක ප්‍රසන්න කාලගුණ තත්වයක් පවතින ජනවාරි අග වෙද්දි රටඉඳි ගස් අග්ගිස්සේ පොල්මල් වගේ මල් මතුවෙනවා. ක්‍රමයෙන් දිගහැරී රෑනින් බරවෙන ඉඳිමල් වලට අරාබිකරයේ ලැබෙන්නේ ලොකු සාත්තුවක්, සැලකිල්ලක්.

පරිසර ඌශ්ණත්වය කෙමෙන් වැඩි වෙද්දි මල් මෝරන ගස්වල පුංවි පුංචි කොලපාට ඉඳිගැටිති මතුවේ. ඒවා ක්‍රමයෙන් ලොකු වෙද්දි නොයෙකුත් කාලවල දී එකිනෙකට වෙනස් හැඩ හා පාටින් ඉඳිගස් අලංකාරවෙයි. පලදරන්න හැකියාවක් නැති පිරිමි ගස්වල මෝරන ඉඳිමල් රෑන කපාගෙන පරාගනයට යොදාගනී (වැඩි විස්තර ප්‍රතාපවත් රටඉඳිගස පොස්ටුවෙන් කියවන්න පුලුවනි). ඉන් පසුව ඒ ගස් නිකම්ම නිකම් හිස් ඉඳිගස් හැටියටයි පෙනෙන්නේ.

අපේ සමාජයේ අරාබිකරය කියද්දි මතකයට එන තවත් පිරිසක් ඉන්නවා. ඒ අපේ රටේ ආර්ථිකයට ලොකු මෙහෙයක් කරන විදේශ සේවයේ යෙදෙන අයගෙන් සැලකිය යුතු දායකත්වයක් කරන පිරිසක්. ඔවුන් ස්ත්‍රී පුරුෂ කවුරුන් වෙතත් වෙසෙන කර්කශ පරිසරයේ මල් රෑන කපාගත් ඉඳිගස් වගේ නොවෙද?

Image Credit: http://www.delange.org/

12 comments:

  1. පට්ට පට වෙන්න අයි කිව්වොත් නියමයි

    ReplyDelete
    Replies
    1. ගල්මල් අඩවියට සාදරයෙන් පිලිගන්නවා

      Delete
  2. නියම උපමාවක්.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි.

      මේ පරිසරය වගේම ඊට ඈන්දුන මිනිසුන්ගේ දුක්බර පැතිකඩ. මෙය සෑහෙන කාලයකට කලින් (මං හිතේ 90වේ මුල ) කර පදපෙලක මතකය ඔස්සේ ගොඩ නැඟුවක්.

      Delete
  3. පිටතින් සිනාවෙන ඇතලතින් වැලපෙන හදවත් ඇ මනිසුන්.....

    ReplyDelete
    Replies
    1. ගල්මල් අඩවියට සාදරයෙන් පිලිගන්නවා.

      මේ කාශ්ටක පරිසරය එක්ක ඔට්ටු අල්ලන මිනිසුන්ගේ කතාව ඔබ තනි වාක්‍යයකින් කරලා තියෙන්නේ, ඒ ගැඹුර හොඳට දැනේ. එයයි සත්‍යය. බොහෝම ස්තුතියි සටහනක් තිබ්බාට.

      Delete
  4. ඩීන් අයියා අද අපි අපි ගැනමද කතා කරලා තියෙන්නෙ..

    ReplyDelete
  5. අන්තිමට ඒ හැමෝම පේන්නේ හිස් ඉඳි ගස් වගේ.. ඇත්ත කතාව..
    නියමයි අයියේ!! ජය!!

    ReplyDelete
    Replies
    1. ඒ ගස්වල මල් හටගන්න එක නැවතුනාම උගුල්ලා දානවා.

      බොහෝම ස්තුතියි රැංගෝ.

      Delete