Saturday, March 10, 2012

කෙන්ද


රන්ඳා උසක
රෑනින් එබී බැලූ
සහසක් මල් අතරින්
පළලූ පොඩි මලක් වූ
ලේනුන් මීයන් මඟහැර
මෝරා හැඩ වූ
ගිලිහී නටුව වැටුණ ද
උසකින් සුන් නොවූ
පහරින් දෙබෑකර
මදයත් ගෙන
රතඟුර කර සවිබල කටුව
සුවඳ දුම විඳගෙන
පල්කල ලෙල්ල
බැට පිට බැට දී කොහු කර
රිසිසේ සකසන
කෙන්ද
ඉවතලන්නට
කාරිය කරගෙන


පිදුම: හැමදේම පුද දී ලෙලිමෙන් තැලෙන මිනිසුනට
Image Credit: http://en.wikipedia.org/wiki/File:Sunset_with_coconut_palm_tree,_Fiji.jpg

41 comments:

  1. එක්ව කෙඳින් කෙඳ...
    සැදී සොඳ මුස්න...
    අතුගා දමමු "කුණු" - "දූලි"
    මහතුන් එන මග...

    I bow you my friend..

    ReplyDelete
    Replies
    1. තැලී මතුවෙන කෙඳ
      රැඳී පේළි හැඩගෙන
      සැඳී මුස්න අමදමු පියමග
      ඇදී යන්නට පොඩි දූ පුතු
      රැඳී අත මිතු දමින්

      Delete
  2. ඇත්තටම ලස්සන අදහසක්..

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි දිනේශ් මල්ලී

      Delete
  3. සත්‍යය මෙතරම් සොදුරු ලෙස ඉදිරිපත් කළ හැකිද?
    ...විශිෂ්ටයි...

    ReplyDelete
    Replies
    1. ගල්මල් අඩවියට ඔබව සාදරයෙන් පිලිගන්නෙමු.

      ඒ අපේ සොඳුරු බසේ ඇති සුන්දරත්වයයි, ඔබේ ඇගයීම මට ගොඩාක් වටිනවා.

      Delete
  4. කෙන්ද කන්ද පාමුල සිටියළු නොසෑලීලා..
    සුපර්බ්

    ReplyDelete
    Replies
    1. කෙඳි එක්ව සැදුනොත් පින්සලක්
      ඇඳිය හැකිය කන්දක පින්තාරුවක්

      ඔබේ විමසුම කවදත් හයියක්.

      Delete
  5. තේරුනේ නෑ සොරි..

    ReplyDelete
    Replies
    1. කොමන්ටු අතරින් පැහැදිලි කිරීම ඉටුවෙලා කියලා හිතනවා. සොබාවයෙන් ලැබී ඇති, පරිසර තත්වයන්ගෙන් පන්නරය ලබාගෙන වැඩුන පලයකින් ගන්න පුලුවන් උපරිම ප්‍රයෝජනයන් අරගෙන අරකී පලයම රැක්ක ව්‍යූහය (සවිබල නිසා දෝ) තලා ඈත් කරන ක්‍රමය නිර්මාණයට පසුබිම වූයේ. කොච්චර තැලුණත් නැතිවෙන්නැති පොල් කෙන්ද යොදාගෙන ලණු, කඹ, බුරුසු, මුස්නයන් ආදිය තැනෙනවා. එකම වෙනස කෙඳි අතර තිබුණ බැඳීම කොහුබත් වෙලා විසිවීම, අරකී නිපැයුම් උවමානව පරිදි අතින් අත රැඳීම.

      Delete
  6. කියන්ඩ වදන් නෑ.. නියමයි..

    ReplyDelete
    Replies
    1. ඔබේ වදන් දිරියකි, බොහෝම ස්තුතියි සහෘදයා.

      Delete
  7. එකිනෙකට බැඳුන
    සිහින් සුමට කෙඳි
    කඹයකට සවිය දෙන අරුමය...

    ReplyDelete
    Replies
    1. සත් සමුදුර පීරා
      ජැටියට එන නැව
      පණ නල බිඳි දා
      බැඳ තබන කඹ

      Delete
  8. තැලුම් වැටුම්වලට ඔරොත්තු දෙන පොල් කෙන්ද, අනේක ප්‍රයෝජන ගෙන නිකම්ම "කෙන්දක්"යයි ඉවතලන... කෙඳි එකමුතු කොට මහ කඹයක් වුවහොත් ඇති සවියද, වටිනාකමද කොපමණද? එක් එක් කෙන්ද එය තේරුම් ගනීවිද?

    ReplyDelete
    Replies
    1. පල්වීමට බඳුන්වෙන පොල් ලෙලිවල කෙඳි අතර ඇති බැඳීම් (ක්ෂුද්‍ර ජීවීන්ගේ ක්‍රියාවක් මත) දුර්වලවීමක් වුනත් කෙඳි නම් තවත් පදම්වි සවිබල වෙනවා. ඒ නිසාමද කොහේද කෙඳි මිටිකර හදන දේවල් අතින් අත රැඳෙන්නේ, රඳවාගන්නේ උත්සාහ ගන්නේ.

      කෙඳින් කෙඳ පිළිවෙලින් එක්වී තැනේවා
      පියමග දූවිලි ගසාලන්නට සරි මුස්නයන්
      ගුදම් හිස්කරන නැව් බැඳිනට සවි රැහැන්
      හිණිමඟක් පොඩි දූ පුතුනට හදන ලණුපටක්

      Delete
  9. Replies
    1. බොහෝම ස්තුතියි රසික මල්ලි

      Delete
  10. වෙනද වගේම...නියම නිර්මාණය ඩීන් අයිය

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි කස්සා මලේ

      Delete
  11. Replies
    1. බොහෝම ස්තුතියි කිව්වා

      Delete
  12. නිර්මාණය ගන අදහස් බෙදාගත් හැමට බොහෝමත්ම ස්තුතියි. පසුව වෙන වෙනම පිළිතුරු ලියන්නම්.

    ReplyDelete
  13. Replies
    1. ඔබ දෙන දිරිය බොහෝ අගේ
      (අළුත් පෝස්ටුවක් කියවන්න බලං ඉන්නවා)

      Delete
  14. ස්වභාව දහමෙන් මිනිසුන්ට වටින අදහසක්..!

    ReplyDelete
    Replies
    1. මේ විශ්වය අදහස් වලින් පිරිලා, හොයලා බලලා ලියමු

      Delete
  15. අපි හැමදාමත් නොහිතන දේ හිතන ඔබ!!

    ReplyDelete
    Replies
    1. නිතර දකින දේ වෙනස් පැත්තකින් දැක්කාම හිතෙන දේ නොවැ. බොහෝම ස්තුතියි නංගී.

      Delete
  16. අති විශිෂ්ටයි...

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි නංගී.

      Delete
  17. වෙබ් අවකාශයේ සොඳුරු දාර්ශණිකයානෙණි,
    ඔබ දකින...විඳින "ජීවිතය" අපූරුයි සහෝදරයා ..ඔබ මොනතරම් සැහැල්ලුද...මේ නිර්මාණ නුඹේ හදවත කැටපතකින් දැක්කාවගේ පැහැදිළිව පෙන්නුම් කරණවා සහෝ...මේ ලෝකෙ හැම මනුස්සයාටම ඔබ වාගේ වෙන්න ඇත්නම්....උපරිමයි සහෝදරයා....
    මේ...

    සුලා...

    ReplyDelete
    Replies
    1. ගස් තීරුවක් සෙවන දකින්න ගසින් ගස වවමු.

      මලේ නුඹේ අලුත් වගතුග දැනගන්න කැමැතියි, මගේ ඊ-මේල් ලිපිනය මුල් පිටුවේ දී තියෙනවා.

      මේ පැත්තට ඇවිත් සටහනක් තැබීම ගැන බොහෝමත්ම ස්තුතියි.

      Delete
  18. කෙන්දක් තුලද කන්දක් තරම් කවියක් ඇති බව පෙනෙන්නේ ඩීන් අය්යාටමය

    ReplyDelete
    Replies
    1. කාළයක් තිස්සේ හිතෙ තිබුණ අදහසක් මුල් වුණේ. වැඩ කටයුතු බහුලවූ කාළයක මේ පැත්තට ඒම ගැන සතුටුයි, බොහෝමත්ම ස්තුතියි

      Delete
  19. ඒකත් එක්කම මට මතක් උනේ කපුගේ මහත්මයා ගයපු ''ලෙලි තලන නුඹෙ අතට රන් මුදුව ගොරහැඩිද දෝනී.. සෙනසුරුට පෙම් බඳින දෝනී'' ගීතය
    මිනිසත් බවින් පිරුණ ඔබේ නිර්මාණ සැමදා මම සෙනෙහසින් ව්ඳගනිමි.

    ReplyDelete
    Replies
    1. මේ ගීතය ඇහෙන හැම වතාවේම අපේ පලාතේ සුලබ කටුක දසුන් මතකයට එන්නේ - ලෙලි තලන ඔවුන් තැලෙන.

      ඔබේ සටහන දිරියකි.

      පුංචි කාචයෙන් ඔබ දකින ලස්සන හරිම සුන්දරයි, සුවිශේෂයි. ඔබේ පිංතූර එකතුව නැවත නැවත වුනත් බලන්න පුලුවන්. ඒ නිසාම "කියවන්න මගේ ඇස" හිතගත් සමීප තැනක්. ජය!

      Delete
  20. හැමදාම වගේ අපි නොදකින පැත්තක් කවියක් වෙලා ලියවිල...

    ReplyDelete
    Replies
    1. ඔබ හරි, වෙනස් විදියට පේන දේ ඇති ලස්සන. බොහෝම ස්තුතියි නංගී.

      Delete