Thursday, November 18, 2010

කාසි ගහ

දහසක් බලාපොරොත්තු කරපින්නාගෙන රන්මසු සොයා මැදපෙරදිග රටක රැකියාවට එන ධනපාල තවත් සොච්චමක් සොයාගන්න කාෂ්ඨක පරිසරය සමඟ ඔට්ටු අල්ලයි... (කාසි ගහ කෙටිකතාව)

අද නම් හරිම රශ්ණෙයි, 48ත් පැනලා ඇති.

නැගිට්ට ගමන්ම කවුළුව ලඟ බිත්තියට හේත්තු වෙලා ඇල් වතුර ජොග්ගුව බඩට හිස්කර ගත් ධනේ ඔහුටම කියා ගත්තා. රෑ වැඩමුරය ඉවර වෙලා කාමරයට ඇවිත් උදේ පැය හතරක් විතර නිදා ගත්තේ එකොළහමාරටවත් එළියට යන්න බලාගෙන.

ධනපාල වැඩකරන්නේ පෞද්ගලික ඉස්කෝලෙක පිරිසිදු කරන්නෙක් හැටියට. ලංකාවෙන් ආපු දවස්වල පටන් මාස අටක් විතර වැඩකලේ උදේ වරුවේ, ඒ වැඩේ නම් ලේසියි. උදේ හයට ගියාම හවස හතරහමාර වෙනකොට කමරේට එන්න පුලුවන්.

කුමාරයි, චන්දරෙයි, රාජුයි ඇරෙන්න තවත් නේපාල්කාරයින් තුන්දෙනෙක් ධනපාලත් එක්ක එකම කාමරේ ඉන්නේ. වැඩ ඇරිලා ඇවිත් අනික් කට්ටිය වගේ ටී.වී. එකේ ඉන්දියන් චැනල් වල චිත්‍රපටි බලමින් කාලය කා දාන්න ධනේට හිත් දුන්නේ නැහැ.

ටිකක් ඇවිදලාවත් පී.ටී. එකක් දෙකක් හොයාගන්න පුලුවන් නම්... කියලා හිතලා වැඩ ඇරිලා ආපු ගමන් දවස් කීපයක් කාමරෙන් ගියත් සති මාස ගනන් ගෙවිලා ගියේ මොකුත්ම හොයාගන්න බැරිව.

වෙන නම් පී.ටී. හොය හොයා කාලය නාස්ති කරලා හරියන්නේ නැහැ... කියලා හිතූ ධනේ දවසක් ටවුන් එකේ අතුරු පාරක් දිගේ ඇවිද ගියේ වාහන වලට බඩු පටවන්නවත් හිත හදා ගෙන. ලීටර් එකහමාරේ වතුර බෝතලයක් ෂොපින් බෑග් එකේ දාගෙන ඉස්කෝලෙන් අහුල ගත් අයිතිකාරයෝ නැති තුවා පොඩ්ඩත් අතේ අරන් පැය තුනක් විතර ඇවිද්දා.

ටවුන් එකේ තැන තැන පොඩි පිකප් ට්‍රක් පාර්ක් කාරලා තිබුනා, ඒ හැම එකක් ගාවම සද්ධන්ත පටාන් කාරයෝ රොක් වෙලා හිටියා. එන කට්ටිය වාහනේ කතාකරන් අරන් ගියේ හයර් එකට වෙන්න ඇති. අසල සිටි කට්ටියෙන් දෙන්නෙක්වත් අඬගහගෙන ගියා.

මෙතැන නැවතිලා බලමු... කියලා හිතන් ධනේ ටිකක් ඈතට වෙන්න කාර්ඩ්බෝඩ් කෑලක් පේමන්ට් එකේ එලලා වාඩි වුනා. එදා පැය ගානක් බලා ඉඳලා රෑවෙලා නිකම්ම කාමරේට ආව.

පහුවදා හවසත් එතැනට ඇවිත් ටික වෙලාවක් වාඩිවෙලා ඉඳ පටාන් ඩ්‍රයිවර් කෙනෙක්ට ලංවෙලා ඇහුවා "බායි කාම් හේ..." (සහෝදරයා වැඩ තියෙනවයි ) ඒකා බඩ අල්ලාගෙන හිනාවෙන්න පටන් ගත්තා... මොන මොනවදෝ ඒකාගේ බාසාවෙන් කිව්වා. ධනේට තෙරුනේ "පයිලුවාන්" කියපු වචනය විතරයි. ඒකා හිනාවෙලා ඇත්තේ මං වගේ කෙට්ටු එකෙක් කොහොම බර උස්සනවද කියලා වෙන්න ඇති.

වෙන මෙතැන ඉඳලා හරියන්නේ නැහැ. ලඟ තිබුණ කේරල රෙස්ටුරන්ට් එකෙන් පරෝටා එකයි සුලෙමානි එකයි අරගෙන කකුල් දෙක රිදුම් දෙනකම් ඇවිද්දා... කාමරය තියෙන දිසාවට.

ඒ අතර තුර මතකයට ආවේ ඊයේ ගෙදරින් ආ ලියුම. නංගි අලුත් පන්තියකට යන්න ඕනලු. අයියා කියනවා පොඩි එකාගේ කැස්ස අඩුවක් වෙන්නේ නැති නිසා ලොකු දොස්තර මහත්තයාව ටවුන් එකේ ප්‍රයිවෙට් එකේ චැනල් කරලා පෙන්නන්න ඕනලු. ඊලඟ පඩියට දවස් හතරක් තියෙනවා, ගෙදර වියදමටයි අනික් දෙවල් වලටයි සල්ලි යැව්වාම ඉතිරි වෙන්නේ දිර්හම් විසිඅටයි. ඒකෙන් මං කොහොම ජීවත් වෙන්න ද?

මදැයි කාමරයේ දිහාත් පහුවෙලා නොවැ... දහඩියෙන් තෙතබරිත වූ තුවා පොඩ්ඩ දෑතින් මිරිකලා මූණ පිහදාගනිමින් කමරය පිහිටි පරන ගොඩනැගිල්ල පැත්තට ආපසු ගමන් කරන්න පටන් ගත්තා.

ඇවිත් කාමරයට ගොඩවුනා. අනිත් උන් කට්ටියම රවුම් ගහන්න ගිහින්, ෂොපින් මෝල්වල රවුම් ගහලා මොනවහරි කාල ඇවිත් නිදා ගන්න එක නොවැ උන්ගේ වැඩේ. දොස් කියලා වැඩක් තියෙයි, උන්ගේ ලැබීම.

කිරි කිරි ගාන කරාමෙ ඇරලා ඇඟ පිච්චෙන පයිප්ප වතුරෙන් නාගත්තේ ඉස්කෝල් බාත් රූම් වලට තියන්න දෙන එකෙන් ඉතුරු කරගත් සබන් කැටයකින්.

උඩ ඇඳේ කකුල් වල වයර් ඇදලා දාල තියෙන තිරය ඇදලා දාගෙන කට්ටිය ආපහු එන්න කලින් ඇඳට වැටුනත් නින්ද අහලකවත් නැහැ.

ගෙදර කාටවත් තේරෙන්නේ නැති එක නොවැ පුදුමේ. මං කොහෙන් කියලා සල්ලි හොයන්නද? නංගිවත් හොඳට ඉගෙන ගනිපුවාවි. පොඩි එකාට තවමත් හොඳ නැතිනම්... ධනේගේ ඇස්වලට කඳුලු පැන්නේ කලින් ඇතිවූ තරහ තුනීවෙලා ගිහින්. ගෙදර අය වෙන කාගෙන් ඉල්ලන්නද...

අයියා උසස් පෙල කරන්න ටවුන් එකේ ඉස්කෝලෙට ගිය අලුතයි තාත්තා ගහෙන් වැටිලා එක්තැන් වුනේ. ධනේ පෙඩි කාලේ ඉඳන් අත් උදව් දීලා තාත්තා ගේ දෑතේ රස්සාව පුරුදු වෙලා හිටියා. ගෙදර බර කරට ගත් ධනේ ඉස්කෝලේ යෑම නැවත්තුවට ලොකු ඉස්කොලේ මහත්තයා කැමැති වුනේ නැති හැටි අද වගේ මතකයි. අයියා විශ්ව විද්‍යාලෙට යාවි කියන අදහසින් කවුරුත් හිටියත් ඒක එහෙම වුනේ නැහැ. ගෙදර ප්‍රශ්ණ නිසා අයියාට අම්පාර ටෙක් එකට යන්න ලැබුන අවස්ථාවත් නැති වුනා, ලිපිකාර රස්සාවකට ගියා.

ටුවරිස්ට්ලා නැති හින්දා අලිකපන එක නැවැත්තුවා. වඩු වැඩ රස්සාවකට ආවත් ඒජන්සිය මාව රැවැට්ටුවා. මෙනවා කරන්න ද ආපහු යන්නැයි, ඔහේ රස්සාව කරන් ඉන්නවා, ඒජන්සියට ගෙවන්න ගත්තු ණය බේරල ඉවරත් නැහැ නොවැ.

කට්ටිය හින්දි සින්දුවකුත් කියාගෙන කාමරේට පහත් වුනා. ටික වෙලාවකින් කුමාර උඩ ඇඳට නැග්ගා. ඇඳ හෙලවුන පාරටයි ධනේ සිතුවිලි සාගරයෙන් ගොඩ ආවේ.

මෙ කිසි කරදරක් නැහැ මං වඩු වැඩ කරගෙන ලංකාවෙම හිටියා නම්. කෝ කට්ටියම කියුවා මැදපරදිග ආවාම ඒ රස්සාවෙන් හොඳට හම්බ කරන්න පුලුවන් කියලා... මැදැයි කොරා...

කීයට නිදා ගත්තාද ධනේ වත් දන්නේ නැහැ.

හරි මං අතාරින්නේ නෑ...

පහුවදා පුරුදු පරිදි වැඩ ඉවරවලා ටවුන් එකට ගියා. කිසිම අරමුණක් නැතිව යමින් ඉන්න විට "ඩනේ, ඩනේ..." කියලා කවුරු හරි කථා කරනවා ඇහුනා. ඔළුවයි මූණයි තුවායක් වගේ රෙද්දකින් ඔතාගෙන කෙනෙක් බයිසිකලයක ඇවිත් නැවතුනා. ලැගේජ් එකේ කාර්ඩ්බොඩ් මිටියක්. එයා මූන වහලා තියෙන රෙදිකඩ අයින් කලාමයි අඳුන ගත්තේ...

සයිබු... එකපාරටම ධනේට කෑගැසුනේ සතුටින්.

සයිබු බංගාලිදේශ්කාරයෙක්, ධනේ ලගේ ඉස්කෝලේමයි වැඩ කරන්නේ. හැබැයි මිනිහා රෑ වැඩමුරය විතරමයි කලේ. දන්න හින්දියෙන්නුයි ඉංග්‍රීසියෙනුයි කතාකරලා ධනේගේ කතාව කියුවා."නෝ ප්‍රොබ්ලම්, මී හෙල්ප් යූ බයියාහ්" සයිබු කීවා.

බයිසිකලයේ බාර් එක දිගේ ගැටගහලා තිබුන දිග කම්ම්බි කොක්කක් ඇදලා අරන් ධනේ අතට දුන් සයිබු...

“චලෝ…” (යං) කියා එක්ක ගිහින් ලොකු කුණු බක්කියකට එබිලා බැලුවා, “නෙහි" (නෑ) කියලා අනෙකට ගියා. ඒ ලඟම හිස් කාර්ඩ්බොඩ් පෙට්ටි කිහිපයක් තිබුනා. ඒවා ගලවා අඩුක්කු කරන විදිය පෙන්නලා දුන්නා. බක්කිය තුල ඇති පෙට්ටි දෙකක් කම්ම්බි කොක්කෙන් ඇදලා ගන්න හැටි පෙන්නලා දුන්නා. ඉන් පස්සේ ධනේත් එක්ක ගිහින් සුලෙමානි එකක් අරන් දීලා සයිබු යන්න ගියා.

එදා ධනේට විසිකර තිබූ පෙට්ටි අටක් එකතු කරගන්න ලැබුනා. රෑ අටහමාරට විතර සයිබු කී තැනට එක් කර කාර්ඩ්බෝඩ් ටිකත් අරන් ගියා.

කාලයක් ඔය විදියට කාර්ඩ්බොඩ් එකතුකර වැඩිපුර ගානක් හොයා ගත්තා.

ඒ අතර තුර සයිබු සේවා කාලය ඉවරවෙලා බංගලාදේශයට ගියේ කඩයක් දාන්න සල්ලි එකතු කරගෙන.

සයිබුගේ රෑ වැඩ මුරය ධනේට පවරුනා, එයාගේ බයිසිකලයත් ධනේට තෑගි කලා.

උදේ එකොළහට විතර ගියාම හවස අටහමාර විතර වෙනකම් එකදිගටම කාර්ඩ්බෝඩ් ගොඩාක් එකතු කරන්න පුලුවන්. ඒවා රිසයිකල් කොම්පැණියට විකුණනවා. ධනේගේ අමතර රස්සාව ජයයි.

මොන රශ්ණය, සීතල, දූවිලි කුණාටු තිබුණත් ධනේ නෙවේ කාමරයට වෙලා හිටියේ.

අයියා ගෙදර වියහියදම් ඔක්කෝම ධනේ පිටම පටවලා. ඉගෙන ගන්න දක්ෂ නංගී මොනවද සම්බන්ධයක් ඇති කරගෙන රවුම් ගහනවා කියන කාරනය, ගෙදර කට්ටියගෙ අරපිරිමැස්මක් නැති වැඩ ආදිය ධනේට නිතරම හිතට වද දුන්නා.

පමණක් ප්‍රදේශවල කුණු බක්කි ඉවත්කරලා අලුත් ජාතියක් හයිකරලා. ඒ පලාතේ කඩවලින් හම්බ වෙන හිස් පෙට්ටි ටිකක් ඇර කුණු බක්කියේ තියෙන දෙයක් ගන්න විදිහක් නැහැ.

අනික් ප්‍රදේශවලත් කුණු බක්කිත් මාරු කරන්න යන කතාවක් තියෙනවා.ඒ අතර තුර බලාපොරොත්තු නැති විදියට සයිබු ආපහු ඇවිල්ල කියලා ප්ලාස්ටික් නන්දු කිව්වේ.

කල්පනා කර කර ඉඳලා හරි යන්නේ නැහැ. බිත්තියේ එල්ලපු වීදුරුව කැඩිච්ච ඔරලෝසුව දිහා එබිලා බැලුවා. අප්පේ... දන්නේම නැතුව දොලහටත් ලං වුනා. රශ්ණෙයි කියලා බැහැනේ, හවස ලොරියට බඩු දෙන්නත් එපැයි.

ඉක්මනට ලෑස්තිවෙලා යන්න ඕනේ.


කලින් පලකල නන්දුට රෙස්ට් නිර්මාණය මෙ කෙටි කතාව හා සම්බන්ධය.

ආගන්තුක වචන:
දිර්හම් - එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බාවිතා කරන මුදල් ඒකකය
පටාන් - වයඹදිග පකිස්ථාන ප්‍රාන්තයක වැසියෝ, සිරුරින් හැඩි දැඩි බර වැඩ කරන්න දක්ෂයෝ
පයිලුවාන් - යෝධයා, බොඩි බිල්ඩර්
පී.ටී. - පාර්ට් ටයිම් - අමතර ආදායමක් උපයාගන්න (විවේක කාලවලදී ) කරන ස්ථීර නොවන අමතර රැකියාව
සුලෙමානි - ප්ලෙන් ටී
48ත් - ඌශ්ණත්වය සෙන්ටිග්‍රේඩ් 48ත්


ප.ලි:
සීගිරි.කොම් ෆෝරමය පැවැත්වූ සීගිරි සාහිත්‍ය තරඟාවලිය 2010 හොඳම කෙටිකතාව අංශයේ ප්‍රථම ස්ථානය "කාසි ගහ" හිමි කරගත්තේය.

17 comments:

  1. ම්....හැබෑම දක්ෂයෙක්..!මගේ සුභ පැතුම් සහෝදරයා...මම නිර්මාණය තවම කියෙව්වෙ නැහැ...කියවලා පූර්වාපර සන්ධි ගලපන්නම් කෝ...

    සුලා..

    ReplyDelete
  2. කතා ලියනවා කියල දන්නේ අදයි අයියා... කියවන්න පුලුවන් දිගටම...

    මම ආවේ සල්ලි ගහ හොල්ලන්න බලන් ...
    දිගටම ලියමු...අපි එනවා කියවන්න..

    ReplyDelete
  3. එක දිගට කියවගෙන ගියා .... කතාව අපූරුයි .... ලංකාවේ වඩු වැඩ කලා නම් ඉතින් අද ධනේ ධනවතෙක් තමයි :D

    ReplyDelete
  4. මම මේක සීගිරි දාපු දවස්වල ම කියෙව්ව අය්යෙ...
    ඒත් ආයෙ ආයෙ කියවන්න ආසයි..

    මගෙන් සුබ පැතුම්.. හොඳම කෙටිකතාව වෙනුවෙන්..!

    ReplyDelete
  5. ධනේලා ගැනත් හිතන්න පුලුවන් නුඹටත්, නුඹේ පන්හිඳටත් තව ශක්තිය පතනවා. මේ කතාව පතොක් යයට දාන්න වටිනවා, නෙල්ලි

    ReplyDelete
  6. එල කතාව.වැඩට යන්න පරක්කු උනත් කොමෙන්ට් පාරක් දාලම යන්න හිතුනා.හැබැයි ධනේ ලංකාවෙ වඩුවැඩ කලානම් සදා දුකේ.

    ReplyDelete
  7. අයියා ලියන කතාවකුත් කියෙව්වා එහෙනම්,,,ජයග්‍රහණයටත් සුභ පැතුම්!!!!නිසඳැසත් එක්ක හිතනකොට කතාව ගැන දැනෙන්නෙ දුකක්,,,තව කතා ලියන්න අයියේ

    ReplyDelete
  8. ධනේගේ අය වැය ශේෂපත්‍රය මේ ලෙසට ඉදිරිපත් කරන්න සිතුණා...

    සාමාන්‍ය කම්කරුවෙකුගේ වැටුප දිරහම් 500.00
    අමතරව කාඩ්බෝර්ඩ් විකුනලා මාසිකව දිරහම් 150.00ක් උපයනවාය යැයි උපකල්පණය කරමු..(ධනේට මේ අවස්ථාව ලැබුණත් ලාංකික සියයට අනූනම දෙනෙකුටම මේ අවස්ථාවට ලැබෙන්නෙ නැහැ. යූකේ(උනිටෙඩ් කෙරල )හරි පටාන්,බංගලි උදවියත් එක්ක හරි සටන් කරන්න වෙනවා
    ඉඳුම් හිටුම් ලැබෙනවාය යැයි උපකල්පනය කරමු.
    මුළු ඉපැයුම දිරහම් 650.00
    කෑම වියදම් දිරහම් (200.00)

    දිනකට චායි දෙකක්වත් ගන්නවාය යැයි උපකල්පණය කරමු

    මාසයට දිරහම් ( 60.00)

    මාස දෙකකට සැරයක්වත් බර්ඩුබායි ගිහිල්ලා ලංකාවෙ කඩේකින් කෑම වේලක්කන්නත් එපාය.
    මික්ස් ෆ්‍රඉඩ් රයිස් එකක් 17.00

    මාසෙකට දිරහම් (7.50)

    මාස තුනකට සැරයක්වත් අල්නාසර් ලෙෂර් ලෑන්ඩ් එකේ මියුසිකල් එකකවත් බලන්න එපාය..ඇයි දෙයියනේ ධනේත් මනුෂ්‍යයෙක්නෙ අප්පා..
    ටිකට් එක 30.00

    මාසෙකට දිරහම් (15.00)

    මාස තුනකට සැරයක්වත් අළුත් කලිසමක්වත් ගන්න එපාය
    සාමාන්‍යයෙන් සේල් දාලා තියෙන ඩෙනිමක් 30.00ක්වත් වෙනවා

    මාසෙකට දිරහම් (10.00)

    ලංකාවට සල්ලි යැවීම සඳහා ගාස්තුව...දිරහම් (15.00)

    බස් කාර්ඩ් එකට දිරහම් ( 15.00)

    ලංකාවට කතාකරන්න දුරකතන ගාස්තුව දිරහම් (50.00)

    හදිසියකටවත් අතේ ඉතිරිකරගත්තා දිරහම් (50.00)

    ලංකාවට යැව්වා දිරහම් (227.50)

    දෙයියනේ මෙහෙ සුරපුරයක් නෙවි....

    (UAE දිරහම් එකක් රු.30.30යි)

    සුලා...

    ReplyDelete
  9. අළුතින් එක්වූ Followers Nadeesha, නෙල්ලි හා Malithi ගල්මල් අඩවියට සාදරයෙන් පිලිගන්නවා.

    ReplyDelete
  10. @සුලා:
    බොහෝවිට ධනේලා නොකියන කතාවේ යතාර්ථයි තරඟයට ඉදිරිපත් කලේ. ඔබ ඉතිරි කොටස ගනන් හිලව් ඇතිව පැහැදිලි කරලා තියෙන්නේ. දෑතේ රස්සාවක් දන්න කෙනෙකු මෙවන් පඩියකට කට්ට කා යුතුද?

    ReplyDelete
  11. @wath:
    බොහෝම ස්තුතියි නංගී ඇගයීමට.

    ගස් හොලවලා කඩන්න පුලුවන් සල්ලි කියලා හිතන් තමයි මිනිස්සු මුලා වෙන්නේ. ඒ කොටස මතු කරන්නයි උත්සාහය.

    මේ මැදපෙරදිග රැකියා හා ජීවිතය ගැන විමසුමක් "පතොක් යාය" තුලින් කරන්න පටන් ගත්තා. Views counter පහලින් ඇති ලින්ක් එකෙන් පතොක් යායට පිවිසෙන්න පුලුවනි.

    ReplyDelete
  12. @වැප්:
    ඇත්තෙන්ම නොදන්න කමට හා මුලාවෙලා ඇවිත් මිනිස්සු අමාරුවේ වැටෙනවා...

    බොහෝම ස්තුතියි ඇවිත් සටහනක් තැබුවාට.

    ReplyDelete
  13. @චේජනා:
    කෙටිකතාවෙන් බලාපොරොත්තු වුනේ නොකියවෙන පැත්ත ගෙනහැර දැක්වීම. එනිසාම තමයි මෙහි පලකරන්නත් හිතුවේ. බොහෝම ස්තුතියි නංගී සුභ පැතුමට.

    ReplyDelete
  14. @G/නෙල්ලි:
    නැවතත් සාදරයෙන් පිලිගන්නවා, පතොක් යායටත් පියමැන තිබුනා. බොහෝම ස්තුතියි.

    ඔබේ අදහසට එකඟයි. තවමත් පතොක් යාය මුල් පියවරයන් තබමින් ඉන්නේ. එනිසා මේ කෙටිකතාව ගල්මල් අඩවියට ගෙනාවේ. සුදුසු කාලය ආවාම බලමු.

    ReplyDelete
  15. @dinesh:
    බොහෝම ස්තුතියි සටහනක් තියලා ම ගියාට.

    ReplyDelete
  16. @හරී - පිණිපළස:
    බොහෝම ස්තුතියි නංගී සටහන හා සුභ පැතුමට.

    බොහෝ මිනිසුන් රැවටීම් නිසා මුලා වෙලා දුක්වින්ඳත් මේකයි ඇත්ත තත්වය යන්න මතුකරන්න ගත් පොඩි උත්සාහයක්. මාස තුනක් තිස්සේ පැවතුන සීගිරි සාහිත්‍ය තරඟයේ විශේෂත්වය වුනේ සමාජීයම වශයෙන් බලපාන ප්‍රශ්ණ සාකච්චාවට භාජනය කිරීම.

    ReplyDelete
  17. @සුලා:
    ශේෂ පත්‍රය නම් උපරිමයි. හැබැයි මලේ ගෙදරට උවමනා ගාන යවන්න තමන්ගේ වියදම්/අවැසිතා කල් දාන ධනේලා මොනතරම් නම් ඉන්නවා අද්ද...

    අන්තිමට ඔවුන් ශේෂ වෙන්නේ ද පත්‍රයට පමණයි.

    ReplyDelete