Sunday, June 20, 2010

ප්‍රෙෂර් කුකර්



දස අත ගිඟුරවා කැරකෙමින්
නැඟු කන්දොස්කිරියාව
අඩු වුනින් පෙන්නුවද
පිසුම අහවර බව...

කෙටි විරාමයක් හැර
විවර කල බඳුන
බ්'හොග් හඬ දුනි
දිස්විය බුබුලන බවක්!

පදමට පිසී තිබුණිද
වා පිත් දුරුලන්න එක් කල
උළුහාල් ඇට ඉදිමී ලොකුවට
රතු මිරිස් කරල දෙබෑ වී ඇට හැම තැන
බඩේ රුදාව වලකන්න බිඳක්
එක් කල පෙරුම්කායම් ගඳත් එමට
අඩක් තැම්බුන ලොකු ඇට ද තැන තැන
අහුලා විසිකලොත්
මට්ට්ම බැස අඩුවෙන...
චෙෆ් මං තට්ටුවෙන!

හුනස් අතු පිති
තරම් නොවන උදුන
ආයේ රත් කරනු බැරිය
මිලත් වැඩිවී අතත් හිඟවී
අහවරවී ඇති ගෑස්
තවත් ගන්නට බැරිය

තෙම්පරාදු කර හිතැතිව
කොත්තමල්ලි කොල ඉහ
ලස්සන කර
බෙදා කන්නයි ඇත්තේ
කොහොම කොහොම හරි
පිසා ගත් පරිප්පු ඉවුම


සටහන:
අද වර්ශ 2010 ජූනි මස 20දා, මෙම ගල්මල්-Coral බ්ලොග් අඩවිය තෙමස සටහන් කරයි.

මා නිර්මාණයන් කවි-හවුලකට සීමා කරමින් සිටි අවදියක සොයුරු දුකාගේ උනන්දු කරවීම නිසාම බ්ලොග් අවකාශයට පා තැබුවෙමි. එතැන් පටන් මේ දක්වා ආ කෙටි කාලය තුල දී මෙ සයිබර් අවකාශයෙන් දැන හැඳින ගත් උදවිය, මිතුදම් ආදිය නිසා නිම්වළලු පුළුල් වුනා කීවොත් නිවැරදිය. නිර්මාණ අගයමින් අදහස් (කොමන්ට්) දක්වන සැමගෙන් ලද උනන්දු කිරීම ඉතා අගේ කරන අතර ඔබ සැමගේ සහයෝගය නිරතුරුව බලාපොරොත්තු වෙනවා.

මෙ පොස්ට් එක සොයුරු දුකා වෙනුවෙන් ස්තුති පූර්වකව පුදමි.

(නිර්මාණයට පාදක වූ අදහස, මාතෘකාව හෝ පිදීම අතර කිසිදු සම්බන්දයක් නොමැත)

25 comments:

  1. රසවත්ව ලියල තියෙනවා. තෙමස් පූර්ණයට සුභ පැතුම්... දිගටම ලියන්න.

    ReplyDelete
  2. බ්ලොග් දිවියේ තෙමසට මගෙන් උණුසුම් සුබ පැතුම් අයියේ

    ෂා........වෙනස්ම විදියේ නිර්මාණයක්. යටි අරුතක් ඇති කියලා හිතනවා. දෙතුන් පාරක් කියෙව්වත් යටි අරුත නම් තේරුම් ගන්න බැරි උනා....මම හිතන්නේ පෙෂර් කුකර් ගැන ලිය වුන පළවෙනි නිර්මාණයද මන්ද......

    නිර්මානයට ආදාල නැතුවට මට ඔය පෙෂර් කුකර් ගැන යමක් අහන්න හිතුනා ඩීන් අයියේ. මම දන්න විදියට අපේ ගෙදර පෙෂර් කුකර් එකක් පාවිච්චි කලේ හුදෙක්ම කඩල තැම්බීම සඳහා පමණයි. මනුත් ඉදියාවේදී මම දැක්කා ආහාර කීපයක් එකට යොදාගෙන එකවර ආහාර පිසින විදිය. හරියට අයියා මේ නිර්මානයේ සදහන් කලා වගේ....ඇත්තටම ඒක සාර්ථකද ?

    ReplyDelete
  3. බ්ලොගයේ තෙමස සැමරූ අයුරු නම් අපූරුයි මචෝ . . .

    ස්තූති වේවා මා වෙනුවෙන් එය පිදුම ගැන . . .

    එලකිරි අඩවියේදී ඇස්ගැටුනු අපූරු නිර්මාණ බ්ලොග් අවකාෂයට ගෙනවිත් වැඩි පිරිසකට උඹේ උසස් නිර්මාණ රසවිඳින්න ඉඩලබා දෙන්නයි කල ඉල්ලීම හැර වෙන විශේශ දෙයක් මම නොකල බව නම් දනිමි . ..

    මොනා වුනත් උඹට දිගු බ්ලොග් ගමනකට ආසිරි . . .

    ReplyDelete
  4. මේ නිර්මාණාය් ගැන කියනවනම් . . හැමදාම උඹේ කෙටි හෝ නිර්මාණයක සැඟවී තියෙන පුළුල් සමාජ විවරණය සොයන්න උත්සාහ දරන මට එහෙම නැති නම් වෙනස්ම කෝණයකින් උඹේ නිර්මාණ කියවන මම, මගේ සුපුරුදු "දේශපාලන උනෙන්" මේක කියවන්න උත්සාහ ගනිද්දී මට හැඟෙන්නේ හතර අතට ලෝකෙට ඇහෙන්න සද්දේ දාගෙන ඔන්න අපි උයනවා කියලා කිව්ව වුනත් අවසන බාගෙට ඉදුනු හෝ උයපු නිසා විසිකරන්න බැරි කමට කන්න සිදුවන කෑමකට අපේ පවතින රජය සමාන කරපු බවකුයි . .

    ReplyDelete
  5. තෙමස පුරණ ගල්මල් අඩවියේ සොඳුරු දාර්ශණිකයානෙණි,

    විශ්වයේ හමුවන නේක හැඩහුරුකම් විවිධ කෝණවලින් දකිමින් සොඳුරු නිර්මාණයන් ලෙසින් ඉදිරිපත්කරමින් සිත් නිවාලමින් මේ මිහිමත සජීවී අජීවී සියළුම පදාර්ථයනට ආදරයකරන්නට කියා දෙන නුඹට......මගේ සුභ පැතුම්...!

    සුලා..

    ReplyDelete
  6. @දුකෝ...!

    ඔය උනේ නම් ඉස්මනටම සනීපකරගනින්...ඕක ව්‍යධියකට හැරවුනෝතින් හිතේ තියෙන ආදරය කරුණාව වගේ දේවල් නැත්තටම නැතිවෙලා යනවා නෙව...මං හිතන්නේ උඹේ හිත කියවන මේ යාළුවෝ බොහොමයක් දෙනා සොඳුරු දුකා වෙනුවට "රැඩිකල්" දුකෙක්ව දකින්න අකමැති වේවි...

    සුලා..

    ReplyDelete
  7. ඩීන්, තෙමස් පූර්ණයට මගෙන් සුභ පැතුම් . . . . කොහොමත් පරිප්පු කන අපිට ඕක තැම්බුනත් එකයි නැතත් එකයි . . . . මේක දක්කම මට මතක් වෙන්නෙ මගේ ප්‍රිය භාර්යාව උදේ හතරහමාරට විතර ප්‍රෙෂර් කුකුර් එකේ කඩල තම්බන එක තමයි. මම විතරක් නෙවෙයි බිල්ඩින්ග් එකේ අනිත් එවුනුත් උදේට නැගිටින්නෙ ඒ එලාම් එකට තමයි. මොකද උන්ට ඒක ඔෆ් කරල ආපහු නිදා ගන්න කියලයෑ ?

    ReplyDelete
  8. බොහෝ දේ ලියවුන
    නමුත් දිගු කාලෙක මෙන
    තෙමස් සපුරාලන
    විහඟ ගී සුභ පතයි සතුටින

    ReplyDelete
  9. අනේ සුලා මම මගේ දේසපාලනේ චිරාත් කාලයක් තිස්සේ කාටවත් කරදරයක් නොවී කොරගෙන ආවා . . අපේ තාත්තට ඇර වෙන කිසි කෙනෙකුට බැනලා නෑ දේශපාලනේ සම්බන්දව . . අඩු තරමින් මගේ ගෙදර උන්දැත් මට විරුද්ද පැත්තේ තමයි ඉන්නේ . . ඒත් උන්දැට වත් කිසි හානියක් නෑ පොඩි දෙපත්ත කැපෙන උපහාසයක් ඇර . . හික් හික්

    ReplyDelete
  10. අය්යෙ,
    මාස තුනක් විතරයි ගත වුණෙ කියල නොදැනෙන තරමට ම ගොඩක් දේවල් අය්ය ලියල අපි කියවල තියෙනව කියල මට හිතෙන්නෙ...
    හැමදාම වගේ ගොඩක් දෙනෙක්ට කවියක් ලියන්න මතක් නොවෙන මාතෘකාවක් එක්ක...සමරන
    තෙමස් පූර්ණයට උණුසුම් සුබ පැතුම්...!!

    ReplyDelete
  11. අයියේ..,
    ඇත්තටම බොහෝම වෙනස් මාතෘකා සමඟ කරන දැනුවත් කිරීම් බොහෝමත් අගෙයි..
    තෙමස් පූර්ණයට සුබ පැතුම්..!!

    ReplyDelete
  12. සාමාන්‍යයෙන් ගෙදරදොර ඉවුම් පිහුම් වලදී ප්‍රෙෂර් කුකර්යක් පාවිච්චියෙදී ඉන් නිකුත්වෙන සද්දය ගැන කවුරුත් දන්නවා. ඒ වගේම සාමාජීය වශයෙන් ඇතිවන පීඩා (stress), දුෂ්කරතා (difficulties), අවුල් සහිත බව (anxiety) ආදිය හඳුන්වන්න ද ප්‍රෙෂර් කුකර් නම් වචනය පාවිච්චි කරනවා.

    ඉතිං මෙ නිර්මාණයේ දී පොදුවේ පාවිච්චි කරන සරල ඉවුම්පිහුමක් මුල්කරගෙන විමසුම් කිහිපයක් කරන්න උත්සාහ ගත්තා.

    * ලොකු සද්ද පතුරවාගෙන කරන ක්‍රියාවක් එතරම් සාර්ථක නැතත් සාර්ථක යැයි පෙන්වාගන්න දරන ප්‍රයත්නය
    * අරමුණක් උදෙසා කාණ්ඩ ගැසී ඉදිරිපත්වී කඩඉම් පසුකරත් ඇතුලත ඇති නොපෑහෙන වෙනස වුනත් රකින්න දරන තැත, එසේ නොරැක්කොත් බලහීන වෙන කණ්ඩායම
    * මහන්සි වූ, බරපැන් දැරූ නිසාම පල නැතත් ඔහේ ඉමු කියන සෘණාත්මක මතය
    * නිර්මාණයේ සඳහන් බාගෙට තැම්බුන ලොකු පරිප්පු-ඇටවන් පිරිස සමාජයේ පිරීමෙන් ඇතිවන තත්වය (ප්‍රමාණය නිසා ලොකු ඉඩක් ගත්තත්, ගුණාත්මකව ඵලක් නැතිවීම)

    මං ප්‍රෙෂර් කුකර් එකට බහාලූ දේවල් වැඩි ද මන්දා?

    ReplyDelete
  13. අනෙ අප්පේ.....හැබෑම නේන්නම්...ඉතිං මං කියන්නෙ කටකහනවටදෑ...."සොඳුරු දාර්ශණිකයා"....ඇත්තටම අපි හිතන්නෙ නැති දේවල්...මෙන්න මම හිස නමා ආචාර කොළා...

    සුලා...

    ReplyDelete
  14. @Praසන්ன:
    නිර්මාණය ඇගයීම හා සටහනක් එක්කිරීම ගැන බොහෝම ස්තුතියි

    ReplyDelete
  15. @දිල්:
    බොහෝම ස්තුතියි නංගී සටහනට.

    දැඩි ගතියක් තියෙන ධාන්‍ය වර්ග තැම්බීම වගේම ඒවායෙන් හදන කරි ආදියට ප්‍රෙෂර් කුකර් කදිමයි. තවද කැඳ වර්ග ආදියට කියාපු භාණ්ඩය.

    එලවළු වර්ග ප්‍රෙෂර් කුකර් පාවිච්චිකර ස්ටීම් කරාම විටමින් වර්ග ආදිය විනාශනොවී බෙරගන්න පුලුවනි.

    සාම්බාරු කිවාම අපිට මතක් වෙන්නේ එළවළු මාකට් එකේ ඉතිරිවෙන දේවල් හා සයිවර් කඩය. ඉන්දියන් අය බොහෝවිට එලවළු වර්ග කීපයක් එකට දාලා හදන ව්‍යාංජනය සාම්බාරු කියනවා. ඒ ඉවුමේදී දැඩි හා මෙලෙක් එළවළු වර්ග බෙරිවෙන්න පිසීමට ප්‍රෙෂර් කුකර් එකක් තරම් වටිනා දෙයක් තවත් නැහැ.

    ReplyDelete
  16. @දුකා:
    මාස තුනක් පිරුනා කියන එක මෙ බ්ලොග් සාගරයේ එතරම් ලොකු කඩඉමක් නම් නෙවෙයි. එත් මෙ ස්තුති කිරීම කල්දාන්න එපා කියන අදහසක් හිතේ මතුවෙන නිසා මේක අවස්ථාව කරගත්තා.

    මෙ නිර්මාණයෙන් විමසන කරුණු මං සටහන් කලා. ඔබත් ඉති මතයක් ඊට සමගාමීව ඉදිරිපත් කර තියෙනවා.

    බොහෝම ස්තුතියි යාළු ඇගයීමට.

    ReplyDelete
  17. @සුලා:
    සොයුරේ කවදත් ඉතිං ලොකු මල්මිටක් නොවැ. ස්තුතියි.
    ලෝකය සුන්දර කරන මල් ගස්වලින් කඩා ඉවත් කරන්න හොඳද?

    ReplyDelete
  18. @දුමී:
    සාදරයෙන් පිලිගන්නවා ගල්මල් අඩවියට.

    රසවත් කතාවක් එක් කරමින් නිර්මාණය ඇගයීම ගැන තුතිය.

    ReplyDelete
  19. @විහඟ ගීතය:
    නුහුරු කලාපයක පුංචි කලක් තුල
    ලබන්නට වාසනා මෙ මිතු කැල
    දිරියකි අකුරු කරන්නට පද පෙල
    දුවවා අඟිලි තුඩු නොවසා දෑස් පිල

    ස්තුතියි සෙයුර!

    ReplyDelete
  20. තෙමස් පූර්ණයට මගෙනුත් සුබ පැතුමක්. අදම තමයි මේ බ්ලොග් අඩවියට එන්ට ලැබුනෙ. දැන් ඉතින් දිගටම එන්නත් බලාපොරොත්තුවක් තියෙනව.

    ReplyDelete
  21. @චේජනා:
    මෙ මාතෘකාව තොරා ගත්තේ ඒ මගින් විමසුම් කිහිපයක් කරන්න හැකියාව ඇති නිසා.

    බොහෝම ස්තුතියි නිර්මාණය අගය කිරීමට

    ReplyDelete
  22. @nimanthi:
    බොහෝම ස්තුතියි නිර්මාණය අගයමින් තැබූ සටහනට

    ReplyDelete
  23. @සුලා:
    යාළු කාරණා කිහිපයක් විමසන අදහසින් මෙ නිර්මාණය කලේ, ඒත් පසුව මට දැණුනා ඒක තවත් චුට්ටක් සරළ කලා නම් හොඳයි කියා.

    මෙතැන ලොකු දෙයක් නැහැ, එකම වෙනස බලන කෝණය.

    ඔන්න දුන් ආචාරය පිලිගත්තා, ඒවා නැතුවට තියෙන ලෙන්ගතුමක් වටිනවා නොවැ.

    ReplyDelete
  24. @isimbuwa:
    සාදරයෙන් පිලිගන්නවා ගල්මල් අඩවියට.

    ගැවසෙන දිසා වල නිතර දකින නමුත් ඒ පැත්තේ යන්න වුනේ මෑතක නොවැ. අපූරු නිර්මාණ කිහිපයක්ම රසවිඳා...

    බොහෝම ස්තුතියි සටහනට.

    ReplyDelete
  25. පහසුවට කාලය ඉතිරි කරගැනීමට යන්ත්‍ර භාවිතා කරත් එයය සියයට සියයක්ම සාර්ථක ක්‍රමයක් නොවිය හැකියි.මිල දී ගැනීමට අධික මුදලක් වැය වීම,විදුලිය භාවිතය වැඩි වීම වගේම පහසුකම් අඩු දර ලිපක පිසින අහර තරම් බොහෝවිට රසවත් නොමැති වීමට ඉඩ ඇත.අගෙයි....ප්‍රෙෂර් කුකරයේ අප නොසිතන පැති...

    ReplyDelete