Wednesday, March 16, 2011

ගුවන් සේවිකා


දොරටුවේ රැඳි එන හැම පිලිගෙන
උනට පහසුව සුබ ගමනක් සකසන
හිරිහැර කරදර මැද සියුමැලි සිනාවක්
නගන්නේ කොහොමද නුඹ

වාසුලියකට උඩ පහල යනෙන
විමානයේ කුසගින්දර නිවාලන
රස බෝජුන් කරත්තය බදාගෙන
රැකගන්නේ කොහොමද නුඹ

බඩු පොදි එක් කරගෙන උනුන්
නිසසල තටු මතින් බැසයන
සුනංගුවේ මීමැස්සියක සේ
පියාඹන්නේ කොහොමද නුඹ

තරු නවාතැනේ ලැගුම් ගන්න
රූපලාවන පෙට්ටියේ සැඟවුන
පුංචි උඳුනකින් කුස රවටා වත
රැකගන්නේ කොහොමද නුඹ

ග්‍රෑම් සියයක් බර වැඩි වුනාම
සිහින් සිනාව අඩු වුනාම
නැගෙන ගෝරනාඩුව යට කරන්න
වෙහෙසෙන්නේ කොහොමද නුඹ

කරේ රැලි මාල වැඩිවුනාම
පියාසල අත්තටු බිඳලුවාම
රිදුම් දෙන පිට පිරිමැදගෙන
ඉවසන්නේ කොහොමද නුඹ


සටහන:
මෑත කාලයේ තරම් ගෝලීකරණය ලෝක ආර්ථිකයේ මුල් තැනක් ගත් යුගයක් තවත් නැති තරම්. ඉන් ඇතිවූ ලොව නන්දෙස එකිනෙක යාකරීමේ අවශ්‍යතාවයට උරදෙන මහාපරිමාණ ප්‍රවාහණ කර්මාන්තය තුල මගී ප්‍රවාහණය ප්‍රධාන තැනක් ගනී. පසුගිය දශක දෙක තුල ගුවන් මගීන් ප්‍රවාහන කර්මාන්තය ප්‍රබල වර්ධනයක් පෙන්නුම් කලේය. ඒ අනුව ගුවන් සේවාවන්හි රැකියා අවස්ථා ද බහුල විය.

මගී ගුවන් සේවා යානයක් තුල සැපයෙන සේවය (inflight service) ඉන් ප්‍රධාන තැනක් ගනී. පැය ගනනාවක ගමන් කාලයක් තුල මගීන්ගේ ඕනෑ එපාකම් සොයා බලමින් ඔවුන්ගේ සුව පහසුව (comfort) ද එමගින් ගමනේ ආරක්ෂාව (safety) ද සකසන කාර්ය මණ්ඩලය පොදුවේ Flight Attendants හෝ Cabin Crew ලෙස හැඳින්වෙන අතර පිරිමින් ගෙන් සැදුම් ලත් සේවක මණ්ඩලය හැඳින්වීමට Stewards හෝ Air Hosts ලෙසත් කාන්තා පාර්ශවය ගුවන් සේවිකාවන් ලෙස කීවද Stewardesses හෝ Air Hostesses ලෙසද හැඳින්වේ. ගුවන් සමාගමක මහජන සම්බන්ධතා පිලිඹිබු කරන කැඩපත සේ සැලකෙන ඔවුන්ගෙන් බලාපෙරොත්තුවෙන සේවාවේ ඉහළ තත්වයන් නිසා ඔවුන් මත පැටවෙන වගකීම හා පීඩනය ද අපමණය.

ගුවන් යානා සේවක මඬුල්ල අතර ගුවන් සේවිකාවන් හිමි කරගන්නේ ප්‍රධාන තැනකි. රූසපුවෙන් පරිපුන් යුවතියන්ට ගුවන් සේවිකා රැකියා අංශයට දොරහැරෙන අතර ඔවුන් පාරිභෝගික සේවාවන් හා මහජන සම්බන්ධතා ආදී ක්ෂේත්‍රයන් අලලා කෙරෙන පුහුණුකින් පසුව පදවි ලබයි. බැලූ බැල්මට සමනලියන් සේ පෙනුනද ඔවුන්ගේ රැකියාවේ ස්වභාවය කටුකය.

යානය තුලදී මගීන්ගේ සුවසෙත සිට ගමන්මලු පොදි මෙහෙයවීම දක්වා වෙන විවිධ කටයුතු ඔවුන්ගෙන් සිදු විය යුතුය. ගුවන් යානයක් ගමන පටන් ගැනීමත් සමඟ ම කෑමබීම පුරවාගත් ට්‍රොලියක් ආම්බාන් කරන ඔවුන් හදිස්සියේ ඇතිවිය හැකි යානයේ ඉහළ පහළ යෑමක්, වා සුලියක බලපෑමක් ආදී අවස්ථාවක ආහාර පාන ඉසිරීමෙන් හා ට්‍රොලිය පාලනයෙන් මිදුනාම වියහැකි අනතුරු වලින් මගීන් හා යානය බේරාගන්න කර යුතු වෙන්නේ සුළුපටු යුද්ධයක් නොවේ. යානයෙන් පිට අහිතකර පාරිසරික තත්වයන් නිසා යානය තුල ඇතිවිය හැකි ගැස්සීමකින් බලාපොරොත්තු නොවූ ආකාරයකට ඒ මේ අත විසිවෙන ගමන්මලු වලින් සිදුවිය හැකි අනතුරු වලින් මගීන් බේරාගන්න ඔවුන්ට කලයුතු වෙන්නේ කැපවීමකි. ඔවුන් විඳින ශාරීරික පීඩාවන් අපමණය. මේ බලපෑමෙන් වසර කිහිපයක් වැඩකරන අතර තුර ඔවුන් කොඳු ඇට, සන්ධි හා අස්ථි සම්බන්ධ විවිධ රෝගවලට මුහුණපායි. පමණක් අය ජීවිත කාලය පුරා පීඩා විඳින රෝගී තත්වයනට භාජනය වේ.

රැකියාව උදෙක් බලාපොරොත්තු වෙන රුව හා හැඩය රැකගැනීමට ගුවන් සේවිකාවන් නිතර උනන්දු විය යුතු වේ. ඔවුන්ගේ පියාසර කාලය හා පඩිපත බොහෝ තදින් වෙලා ඇත. රැකියාවේ පීඩනය බහුල මොවුන් නොයෙකුත් ජාත්‍යන්තර නීතිමාලාවන් යටතේ සුරැකුනද ඔවුන්ගේ සේවාකාලය එතරම් දීර්ග නොවේ. එනිසාම දෝ ඔවුන් දුර ගමනකදී ලැබෙන දීමනා ආදිය ඉතිරි කරගන්නේ අරපිරිමැස්මෙනි. තවද ඔවුන් මුහුණපාන මානසික පීඩාවන් ද කෙලවරක් නැත.


ප.ලි:
සමාජයේ ඔවුන් පිලිබඳව විවිධ මත තියෙන්න පුලුවනි. මින් පෙර මා රැකියාව කල ප්‍රමුඛ පෙලේ ජාත්‍යන්තර ගුවන් සාගමක සේවා කාලයේ දී අහන්න වූ කරුණු වලින් ඇති වූයේ අනුකම්පාවකි. එතරම් පීඩන මැද රැකියාව කරන ඔවුන් ගුවන් යානයට අතුලු වෙන මගීන්ට සිනාවකින් සංග්‍රහ කරන්නට මැලි නොවෙති.


* Picture is only for illustrative purpose

13 comments:

  1. ඈඩෙනවා...මරු

    ReplyDelete
  2. මල්ලී, මගේ හීනයක් තිබුනා ගුවන් සේවිකාවක් වෙන්න එක කාලයක. ඒ ඇඳුමට කතා බහට ලස්සන හිනාවට මම හරියට ආසකලා. නමුත් ජීවිතේ පළවන වතාවට ගුවන් ගමනක් යනකොට මට අවුරුදු 12යි. අනේ යනකල්ම මම නොනවත්වා වමනේ දැම්ම. මා නිසා නංගිලා දෙන්නටත් ලොකු කරදරයක් උනා. ඊට පස්සෙ ඒ හීනෙ එහෙමම බොඳ වෙලා ගියා. ඒ අතර නිතරම සංචාරය කරපු හින්දා එයාල වින්ද දුක් කම්කටලු ගොඩාක් දැක්ක. ජීවිතේ ලස්සනයි වගේ පෙනුනට ඒක හරිම අමාරු රස්සාවක්. ඔබගේ මේ සටහන මේ දිරිය කතුන්ට උපහාරයක්ම වේවා!

    ReplyDelete
  3. ඇත්තමයි ඩීන් . . .
    ආඩම්බරකාර අලි ඔලු ගෑනු කිය කියා අපි සමාජයේ බොහෝ දෙනෙක් බනින මේ ගුවන් සේවිකාවෝ ගන සැබෑව ඉස්මතු කරපු එකම එක්කෙනා උඹම වෙන්න ඇති.
    මේ සටහන කියෝපු අය නම් මින් පස්සේ නම් ඒ අය දිහා වැරදි ඇහකින් බලන එකක් නෑ කියලා මට ෂුවර් . .
    බොහෝම ස්තූතියි මේ දැනුවත් කිරීමට ඩීන් . .

    ReplyDelete
  4. කොමන්ට් වලට බොහෝම ස්තුතියි, පසුව වෙන වෙනම පිලිතුරු ලියන්නම්.

    ReplyDelete
  5. @Anonymous:
    සටහනක් තැබීම ගැන බොහෝමත්ම ස්තුතියි ඔබට.

    ReplyDelete
  6. @Chandi:
    රැකියාව හා බැඳුන හැම දුෂ්කරතාවයක්ම යටපත් කරගෙන සිත් දිනාගෙන රැකියාව කරන ගුවන් සේවිකාවන් තමයි මගී ගුවන් සේවා සමාගම් හා විශාල ගුවන් යානා පියාසර කරවන ශක්තිය. මොනතරම් දුක්ගැනවිලි තිබුණත් ඔවුන් සතු ඒ හැකියාව සේවා කර්මාන්තයට උවමනා කරන තරුණියන් ආකර්ෂණයට සමත්.

    බොහෝමත්ම ස්තුතියි අක්කේ ඔබේ අගනා සටහනට.

    ReplyDelete
  7. @දුකා:
    ඒ අදහස මෙම නිර්මාණය තුලින් ගෙනියන්න සමත් නම් ...

    බොහෝම ස්තුතියි මිත්‍රයා, ඔබේ සටහන ලොකු ශක්තියක්.

    ReplyDelete
  8. ගල්මල් අඩවියට එක් වූ අලුත් මුහුණු චතුර (සියපත) හා චන්ද්‍රාංගනී සාදරයෙන් පිලිගන්නෙමු.

    ReplyDelete
  9. @කස්සා:
    Thanks a lot mallie.

    (How is your studies)

    ReplyDelete
  10. මෙ පොස්ට් එකේ විස්තර සටහන අනවසරයෙන් කොපිකර, කපා කොටා පලකල බ්ලොග් අඩවියක් ගැන විස්තර දැනගන්න ලැබුණි. එය Sri Lankan Dream නම් බ්ලොග් අඩවියයි.

    ඔබ නිර්මාණයට ඇති ඇල්ම නිසා උපුටා පලකරන්න ඇති, ඒත් නිර්මාණකරනයේ සදාචාරය උපුටාගත් බව සඳහන් කිරීම නේද?

    http://chanith555.blogspot.com/2011/03/air-hostesses.html

    ReplyDelete
  11. ගුවන් සේවිකාවන් ගැන අනෙක් මිනිසුන් නොසිතනා පැත්තක් එළිදරව් කරන අගනා පදපෙළක් හා විස්තරයක්. ඒ අතරෙ කොපිකරන්නොත් ඇවිත් සයිට් එකට, නේද?

    ReplyDelete
  12. @නලිනි චන්දිමා:
    ඔව්, සමාජ ඔවුන් ගැන මොනවා කීවත් ඔවුන්ගේ ජීවිතයේ නොදකින පැත්ත ගැන විමසීමයි අරමුණ වූයේ.

    බොහෙම ස්තුතියි නංගී සටහනට.

    (කොල්ලකාරයෝ නැති තැනක් නෑ)

    ReplyDelete