Wednesday, July 21, 2010

පැසසුම් නොලත් විරුවෝ

පොත් බෑග වතුර බෝතල ගොඩ
එල්ලාගෙන පුංචි අපේ
පාසැල් ගමනේ මුල් පියවර
කියා දුන්න එලිසා ආච්චි

හූ හඬින් පෙරලා ගෙන
යකඩ යකා දිව යන මග
පරිස්සමින් පියනගින්න
පුංචි බලකාය
හුරු කල පොඩි මුත්තා

පහල පන්තිවල දී
පුංචි කටයුතු කරගන්නට
මෑණියන් සේ නොපැකිලිව
උදව්කරපු කාන්ති නැන්දා

ඉන්ටවල් සීනුව වගේ
ඇදිහැස බිස්කට් ටික
නොවරදවා පහල පන්තියට
අරන් ආපු ගුණසේන අය්යා

කැරපොත්තො ගෙම්බො
හිරිකිතය යුද කරපු කාලෙ
අණුදක්නෙන් බලා
ඇන්ද රූප හරිගස්සලා
කොස්කොලේ දෙල්කොලේ නෙමේ
කියලා මග පෙන්වපු
අද විද්වතුන් කැලකගේ
මහා ආචාර්ය සිරි අය්යා

එක් වුනාම
නොසන්ඩාල වැඩ අඩුවක් නැති
හිත්පිත් නැති සල්ෆියුරික් සෝඩියම් ලා
පාවිච්චියට අප හුරුකර
රසායනාගාරෙ පියසේන අය්යා

සද්ද බද්ද නිතරම වැඩි
න්‍යායධර්ම හිසට උඩින් ලිස්සන
හෞතික විද්‍යාව ප්‍රිය විෂයක් කර
උදව් කරපු ආතර් අය්යා

සුන්දර පාසැලින් සමු අරන්
ගෙවුනත් දශක ගනන්
ආවේ දුෂ්කර ගමන ගෙවන්
පින්සිදුවන්නට මෙවන් දනන්
පින් පුදමි ඔබට!

කෙනෙකුගේ අධ්‍යාපනය එහෙමත් නැතිනම් ඉගෙන ගන්නා කාලය මෙතැකින් නිමාවෙනවා කියන්න බැරි දෙයක්. එහෙත් ක්‍රමාණුකූල අධ්‍යාපනය පාසැලෙන් පටන් ගන්නවා කියන එක කවුරුත් අවිවාදයෙන් පිලිගනීවි. එම සුන්දර පාසැල් සමය නිමාකර වැදගත් කඩඉමක් පසුකරන්න සිසුවෙකුගේ දක්ෂකම, බුද්ධිය, වාසනාව පමණක් ප්‍රමාණවත් නොවේ. ඒ උදෙසා ගුරු මව්වරු, පියවරු ලබා දෙන ආලෝකය, මග පෙන්වීම වචන කරන්න අකුරු මදියි. හැමදෙයම මුදලින් අගයනු ලබන අදටත් බොහෝ දුරට මෙ සටහන වලංගු යැයි විශ්වාස කරන්නෙමි.

එතැන් පටන් විවිධ මං මාවත් ඔස්සේ ඉදිරියට ඇදෙති. නිරායාසයෙන්ම කාර්යබහුල යන්ත්‍රික ජිවන රටාවට බදුන් වෙති. එහෙත් තමුන්ට මග පෙන්වූ ගුරුවරයෙක් මතක් කර පින් දීමක් කර කෘතගුණ දක්වන්න ඉඳහිටවත් අමතක කරන එකක් නැහැ.

මතකයන් පාසැල් කාලය කරා ආපස්සට ගෙන යනවිට මතක් වේවි පාසැල් අධ්‍යාපනයේ කඩඉම ජය ගන්න අපට උදව් කල තව පිරිසක් සිටියා නේද කියලා. මොවුන් නිහඬ සේවයක් ලබාදී පැත්තකට වෙන අහිංසක සහායක කාර්ය මඩුල්ල.

තවද පුංචි පාසැල් සමයත් එක්ක මතකයට එන තවත් බොහෝ දෙනා ඇති.

මෙ උත්සාහය ජීවිතය ජයගෙන ලොකු ගමනක් ඉදිරියට යන්න උදව් කල පොඩි මිනිසුන් ගැන මතකය අවදි කිරීමයි. ඔවුනට පින් පොදක් දී කෘතගුණ දක්වමු.

පළමු පල කිරීම: 30-01-2010

21 comments:

  1. ඕහෝ...මගේ සහෝදර දාර්ශණිකයාගේ හදවතින් වෑහෙන මනුස්සකම.....! මීටත් වඩා දෙයක් ලොවෙහි වෙත්ද????

    ඇත්තටම මා නොදැනුවත්වම ඇසට කඳුලක් ගෙනාව යාළු...

    උඹට බොහෝම පිං...හදවතේ අඳුරු අහු මුළු අවුස්සලා අපිව වර්ථමානයට ඇදල දානවට...

    සුලා...

    ReplyDelete
  2. ඒ පොඩි මිනිසුන් නෙවෙයි සහෝදරයා...

    ජීවිතේ බොහෝවිට කණ්ඩායම් ක්‍රීඩාවක් වෙනවා. බොහෝ සොඳුරැ මිනිසුන් ඒ කණ්ඩායමේ තරඟකරැවෝ වෙනවා.
    එවැනි මිනිසුන් මතක් කර සටහනක් තැබීම ගැන මාගේ ප්‍රණාමය ඔබට !

    ReplyDelete
  3. තිරය පිටුපස විරුවෝ........ඇත්තටම කවුරු මොනවා කීවත් මේ මතකයන් හැමදාමත් තියෙනවා හද පතුලේ....ක්‍රියාවෙන් මොනවත් කෙරගන්න බැරි වුනත් අපේ හදවතින් ගලන් පවිත්‍ර ආශීර්වාදෙයෙන් මේ නිහඬ විරුවන්ට යහපතක්ම වේවි......අගනා සටහන...බොහොමත්ම ස්තුතියි මතකය පහුරු ගෑවාට......

    ReplyDelete
  4. මාව නොදැනීම මගේ සුන්දර පාසල් කාලයට රැගෙන ගියා ඔබේ ලියමන . . . උපරිමයි ! අපව මේ තලයට ඔසවා තැබූ එවන් අමතක වූ යෝදයන් නැවත මතකයට රැගෙන ආවාට ඔබට පිං !

    ReplyDelete
  5. ම්ම්.. තවත් අපූරු මතකයක්...
    ඒත් මම ඉස්කෝලෙ ගිය කාලෙට හුඟක් ආස නෑ...
    ඉස්කෝල ගොඩකට ගිය නිසාද මන්ද...

    මට මේක කියෙව්ව ම එක සැරේට ම මතකෙට ආවෙ කැම්පස් එකේ අතුගාන කාන්තාවකුයි... තව Lab Assistant කෙනෙකුයි...
    ඒ අය ගැන නම් මට හිතෙන්නෙත් මේ වගෙමයි...
    වාසනාවකට ඒ දෙන්න ම මම ලංකාවට ගිය වෙලේ මුණ ගැහුන... කැම්පස් එකෙදිම..

    ReplyDelete
  6. සොඳුරු පාසල් දිවියේ මතක නැවතත් ඇතිකළ මෙම ලිපිය ගැන ඔබට ස්තුතිය.

    ReplyDelete
  7. මේක කියවන්න ආපු හැම වෙලාවකම භාගයක් කියවලා ආපහු හැරිලා ගිහිං.. ඉස්කෝලේ ෆොටෝ ටික බැලුවා.
    මේ දැනුත් අක්කා කෙනෙක් එයාගේ පරණ 4ටෝ වගයක් එකතු කරා විද්‍යාගාරවල..
    හ්ම්ම්ම් ඒක බල බල ඉදලා තමා අද නම් කමෙන්ට් එකක් ලියන්නම ඕනේ කියලා හිතුවේ..
    ස්තූතියි..!! අයියේ

    පරණ මතකයක්
    සොඳුරු විදියට
    ලඟට ගෙනාවට
    අකුරු මතින්..!

    ReplyDelete
  8. මාව අතීතේ මොහොතකට අතරමං උනා වගේ දැනුනා..

    ReplyDelete
  9. @සුලා:
    පෞද්ගලිකව මං පොඩි කන්දක් නෙවේ නැගලා ඉන්නේ, පෙරෙළුන වාර අනන්තයි. පෙරළීමට, තල්ලුකරීමට ලක් වූ වාරත් අනන්තයි. මේ ගමන සාර්ථක කරගන්න අතදීපු අය ද එමටයි. ඔවුන් වෙනුවෙන් සතිපතා පුංචි වෙලාවක් ගත කරනවා, පින්දෙන කාර්‍යය වෙනුවෙන්. ඒ කාර්යය සෑහෙන කලක සිට කරගෙන එනවා. එවන් දවසක ඇති වූ අදහසක් පදකිරීමයි මෙය. මින් කියැවෙන් මගේ පාසැල් කාලය හා සම්බන්ද නම් කිහිපයක් පමනි.

    බොහෝම ස්තුතියි යාළු ඔබේ හෘදයාංගම සටහනට.

    ReplyDelete
  10. @හෙළයා:
    ඇත්ත, මට ද මොවුන් බොහෝමත් ලොකු මිනිසුන්.

    "...ලොකු ගමනක් ඉදිරියට යන්න උදව් කල පොඩි මිනිසුන්..." යන්නෙන් මතුකරන්න උත්සාහ කලේ අප සමාජයේ පැසසුමට ලක් නොවන යන්නයි.

    ඔබේ අගනා සටහනට හා ඇගයීමට බොහෝමත්ම ස්තුතියි සහෝ.

    ReplyDelete
  11. මම උඹගෙ හිත කියවනවා සහෝදරයා....ඒක නිසානෙ දවසට කීප වතාවක්ම උඹගෙ අඩවියට එන්නෙ..උඹගෙ මනුස්සකමේ සුවඳ මට දැනෙනවා හැමදාමත්...
    කවුරුත් මගේ කකුලෙන් ඇද්දෙ නැතැත් (අනේ මංදන්නැහැ ජීවිතයෙ හමුවුණු හැමෝම මාත් එක්ක ලෙංගතුයි...වෙලාවකට කරදරයිත් එක්ක...)ජීවිතය බිංදුවෙන් පටන්ගත්තෙ...දැන් නම් විඩාවයි වගේ...ජීවිතය ඇතිවෙලත් එක්ක..කළකිරිල එහෙම නම් නැහැ...
    ======================================
    ආ//තව ස්කූල් බස් එකේ රියැදුරු මහත්තයයි...කොන්දොස්තර මහත්තයත් මතක් කරන්නම එපාය...ඒකාලෙ බසෙක වේගයෙන් පදවන්නෙ නැහැ කියල තරහක් තිබුණ තමයි...ඒත පරක්කුවෙලා දුවගෙන එනකම් උන්දැ බස් එක නවත්වගෙන ඉන්නවනෙ...නැත්ත්නම් හිටු කියලා කඳු පල්ලම් ගානක් දුවන්න එපාය..ලඟම තියෙන නගරයට...

    සුලා..

    ReplyDelete
  12. @Shadow/හේමලයා:
    තිරය පිටුපස විරුවෝ - Unsung Heroes මෙය තමා නිවැරදිම යෙදුම.

    "...ක්‍රියාවෙන් මොනවත් කෙරගන්න බැරි වුනත් අපේ හදවතින් ගලන් පවිත්‍ර ආශීර්වාදෙයෙන් මේ නිහඬ විරුවන්ට යහපතක්ම වේවි..."

    අන්න එයයි මිලකල නොහැකි දානය, ඒකයි මගේ උත්ස්සහය වුනේ.

    බොහෝම ස්තුතියි මිත්‍රයා.

    ReplyDelete
  13. @දුමී:
    "...යෝදයන්..." අනීවාර්යයෙන් ඔවුන්.

    බොහෝම ස්තුතියි යාළු ඔබේ අගනා සටහනට

    ReplyDelete
  14. @චේජනා:
    ඇත්තෙන්ම ලියලා ඉවර කරන්න බැරි තරමට විවිධ අවස්ථා වලදී උදව්කරපු අය ඉන්නවා. එහෙම කෙනෙක් කාලෙකට පසුව දැක කතා කරාම ඔවුනට ලොකු සතුටක් ඇතිවෙන ඇති...

    ReplyDelete
  15. @Praසන්ன:
    ඔබේ සටහන කියවන්නත් සතුටුයි

    ReplyDelete
  16. @nimanthi:
    මොනතරම් කාලයක් ගෙවී ගියත් ලස්සන මතක එක්ක ආවර්ජනය කරන්න පුලුවන් එකම කාලය සුන්දර පාසැල් කාලය වීම වෙන්න ඇති එතරම් සමීප.

    බොහෝම ස්තුතියි සටහනට.

    ReplyDelete
  17. @Ansh Lucky Sri Jay:
    බොහෝම ස්තුතියි නංගී සටහනට.

    ReplyDelete
  18. @සුලා:
    මෙ නිර්මාණය කරන අතර දී බොහෝම අමාරුවෙන් අතහැරිය චරිත දෙකක් ඔබ එක් කරා.

    අනෙක සුලා, මෙ ගෙන්දගම් පොලොවේ පය ගසා සිටින අපිට සුන්දර මිනිසුන් ලැබීම වාසනාවක් නොවේද? අර කිව්වත් වගේ පමණක් මතක එක්සස් බැගේජ් වගේ, අරන් යන්න වටිනාකමක් ද නැහැ එත් දාලා යන්නත් බෑ. කියනවා වගේ බැඳීම් වැඩිවෙනවා.

    මිතුරේ ඔබ වැනි අයෙක් එසේ නිතර ඒමත් ලොකු දෙයක් මට.

    ReplyDelete
  19. ගල්මල් අඩවියට එක්වූ අලුත් සොයුරිය "හරී" සාදරයෙන් පිලිගන්නෙමු.

    (සොයුරිය කියා ඇමතීම නිවැරදියි කියා සිතමි)

    ReplyDelete
  20. ඇත්ත... අපි කාටත් තනියම නැගිටින්න කවදාවත් බෑ.. නැගිටින්න ප්‍රසිද්ධියේ අතදෙන අය වගේම අප්‍රසිද්ධියේ, නිරායාසයෙන් අතදෙන අය ඉන්නවා.... අපි මතක් කරන්න පින් දෙන්න ඕනි... එතකොට තමා අපේ දරුවොත් ඒව බලන් හරියට හැදෙන්නෙ...

    ReplyDelete
  21. @තනෝජා රාජපක්‍ෂ:
    මෙවැනි යහපත් ගුණාංග ඉදිරියට ගෙනියන්න ඇති එකම මඟ එය නොවේද?

    බොහෝම ස්තුතියි මේ අගනා සටහනට.

    ReplyDelete