
නූතන සමාජයේ නාගරීකරණය සිදුවෙන වේගය අනුව වනසම්පත් විනාශය හා පරිසර දූෂණය නිසා ස්වභාවික ජල සම්පත මුහුණපා ඇති තත්වය ගැන අමුතුවෙන් ලිවීම අවශ්‍ය නොවේ. ශ්‍රී ලංකාවේ ස්වභාවික ජල සම්පත බහුලව ඇති නිසා දෝ අපේ රටවැසියන් ජල සම්පත ගැන එතරම් අරපිරිමැස්මක් නැහැ. අපේ අසල්වැසි දකුණු ආසියාතික රටවල මිලියන ගනන් එදිනෙදා පාවිච්චියට ප්‍රමාණවත් තරම් ජලය නැතිව පීඩා විඳිති. ඒ ගණයට අයත් මිලියන 880ක ජනතාවක් ලොව පුරා වූ බව පසුගිය වසරේ ලෝක ජල දිනය නිමිත්තෙන් පල වූ වාර්තාවක සඳහන් විය. ලංකාවේ වියළි කලාපයේ ද බීමට සුදුසු ජලය නැතිව පීඩාවිඳින අය බොහෝය.
භූගත ජල සම්පත සුලබ හෝ දුලබ වුවද නවීන කාර්මිකකරණයත් සමඟ ජල සම්පත මුහුණපාන ප්‍රධාන ගැටලුවක් වෙන්නේ ජල දූෂණයයි. නොයෙකුත් හේතූන් නිසා ජල දූෂණය සිදුවිය හැකිය, ජල සම්පත හා පරිසරය දූෂණයවීමෙන් වලකාලන්නට අපිට කල හැකි පුංචි දායකත්වයක් ගැන සාකච්ඡා කිරීමයි මෙම ලිපියේ අරමුණ.
දැනට භාවිතයේ ඇති විද්යුත් වියළි කෝෂය හෙවත් බැටරිය ක්‍රි.ව. 1800 තරම් ඈත කාලයේ සොයාගැනීමක් බව කියැවේ. බැටරියක අන්තර්ගත රසායනික ද්‍රව්‍ය බඳුන්වෙන වෙනස්කම් වල ප්‍රථිපලයකින් විද්යුත් දහරාවක් ඇතිවේ. ලොව වඩාත් ප්‍රචලිත බලශක්ති ප්‍රභවයක් ලෙස එදිනෙදා කටයුතුවලදී මෙන්ම කර්මාන්ත ආශ්‍රිතව ද බැටරි මගින් කෙරෙන කාර්යය ඉමහත්ය. 2005 වසරේ දී ලෝකයේ බැටරි බාවිතයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 48 ක ආදායමක් ලබන්න ඇස්තමේන්තුකර තිබුණේ යැයි වාර්තා විය. තවද එතැන් පටන් ලොව බැටරි භාවිතය වාර්ශිකව 6% ක ආදායම් වර්ධනයක් බලාපොරොත්තු විය.
තාක්ෂණික දියුණුව හිනිපෙත්තේ වැජඹෙන නවින යුගය විවිධාකාර මෙවලම් (tools) හා උපාංග (accessories) වලින් පිරී ඇත. ඉන් බොහෝමයක්ම ඉලෙක්ට්‍රොනික උපකරණ හෙවත් ගැජෙට් (gadget). නූතන සමාජය බලාපොරොත්තු වෙන්නේ හැකි හැම දෙයම එහා මෙහා යද්දී අරන් යන්න ඇති පහසුතවය හෙවත් ඉංග්‍රීසි බසින් කියන මොබිලිටි (mobility) ය. ඉලෙක්ට්‍රොනික විද්‍යාවේ නිරන්තරයෙන් සිදුවෙමින් පවතින දියුණුව ඕනෑම නිෂ්පාදනයක් ඉතා හුරුබුහුටි, හිතන්නවත් බැරි තරම් කුඩා නිමැවුමක් බවට පත්කරන්නේ තරඟයට මෙනි. ඒ අනුව නිෂ්පාදකයින් ඉලෙක්ට්‍රොනික ගැජෙටයන් පණපෙවන විදුලි සැපයුම හා ඒ සැපයුම උපරිම කාලයක් රඳවා ගත හැකි බලශක්ති මූලාශ්‍රයන් පිලිබඳව උනන්දු වූහ.
ඒ ඔස්සේ කලකට පෙර විදුලි පන්දම් ආදියෙහි පාවිච්චි කල බැටරිය ප්‍රමාණයෙන් කුඩා වෙමින්ද, බලයෙන් වැඩිවෙමින් ද වෙනසකට බඳුන් වෙන්න පටන් ගත්තේය. නිරන්තරයෙන් කුඩා හා සැහැලල්ලු වෙන නිෂ්පාදනයන් හි රැඳවිය හැකි කුඩා පෙත්තක් ආකාරය දක්වා කුඩාවිය, එහෙත් වැඩි බලයක සැපයීමට ඇති ඉල්ලුම නොනැවැතී ඉහල යමින් පවතී. ඒ අතර තුර නැවත නැවත ආරෝපණය හෙවත් රීචාර්ජ් කල හැකියාව ඇති බැටරි නිෂ්පාදනය ආරම්භ විය. මුල් කාලයේ හදිසි අවස්ථාවක බාවිතා කරන ඉමර්ජන්සි ලයිට් වැනි භාණ්ඩ වලට හා කාර්මික අවශ්‍යතා සැලසූ මේවා පසුව මොබයිල් ෆෝන් ප්‍රචලිත වීමත් සමඟ නව නැම්මක් පෙන්විය. ඒ දියුණුව බැටරි නිෂ්පාදනය විශාල වෙනසක් කලේය.
අද කුඩා බිලිඳුන් නලවන හුරුබුහුටි සෙල්ලම් බඩුවක සිට, මොබයිල් ෆෝන් හා ඒ සම්බන්ධ ගැජෙට්, යාන්ත්‍රිකව වැඩ කරන දත්බුරුසුව පටන් අනේක එදිනෙදා භාවිතා කරන දෑවල - කොටින්ම කියනවා නම් සිහින් එලියක් හෝ හඬක් නිකුත් කරන ඕනෑම නිෂ්පාදනයක විදුලි සැපයුම සිදුවෙන්නේ විවිධාකාර බැටරි වලිනි. සංගීතයෙන් හා ඉතා සියුම් දිලෙන තරු වැනි බල්බ වලින් සැරසූ සුභපැතුම් පත් වෙළෙඳ පොලේ දක්නට ලැබීම බැටරියේ තුනී නිමැවුම පිලිබිඹු කරන්නකි.
සාමන්‍ය බැටරියක සින්ක්, කාබන්, ක්ලොරයිඩ්, ඇල්කලයින්, ලිතියම්, රසදිය යනාදි රසායනික ද්‍රව්‍ය එකක් හෝ කිහිපයක් ඇත. රීචාර්ජ් කල හැකි බැටරියක නිකල්, කැඩ්මියම්, ලිතියම්, ඊයම් (ලෙඩ්), සින්ක් ආදී රසායනිකි ද්‍රව්‍ය තිබිය හැකිය. මේ රසායනික ද්‍රව්‍ය ශරීරයට හානිකර ඒවා වේ. ඒ නිසා පාවිච්චි කල බැටරියක් ඉවතලෑමේ දී පරිස්සම් විය යුතුය, නොවුවහොත් දිරාපත්වෙන, ගිනිමැලයකට හසුවී පුපුරන හෝ අපවිත්‍ර ජලයගලන කාණුවක පෙඟී මුදා හරින බැටරියක රසායනික ද්‍රව්‍ය වලින් හිතනවාට වඩා බරපතල හානි පැමිණිය හැකිය. ඉන් පරිසරය දූෂණය විය හැකිය. එසේ පස හා එක්වෙන හානිකර රසායනික ද්‍රව්‍ය භූගත ජලය හා එක්වී ලිං, ගංඟා වැනි පානියා ජල සැපයුම් මගින් ශරීරගත විය හැකිය.
ලොව විද්‍යාව හා තාක්ෂණය පැත්තෙන් ඉහළින් ඉහළට යන්නේ ඉතා වේගයෙනි. ඒවගේම ලෝකවාසී ජනතාවගේ ශාරීරික සෞඛ්‍යතත්වය දිගින් දිගටම පිරිහේ. විද්‍යාව දියුණු නවීන කාලයේ ලොව උපදින කිරිකැටි දරුවන් 125 දෙනෙකුගෙන් සාමාන්‍යයක් සේ අයෙක් උත්පත්තියෙන්ම අසම්පූර්ණ හෘදයක් තුරුල් කරගෙන එනබව, බොහෝ දරුවන් ශ්වසන රෝගවලින් පෙලෙනබව, තවත් කොටසක් රුධිර සම්බන්ධ පිලිකා ආදී අනේක රෝගී තත්වයන් ගෙන් පෙලෙන බව අපේ සමාජයේ කී දෙනාද දන්නේ. මේ අවාසනාවන්ත තත්වයට අපේ රට ගොදුරු වෙමින් සිටී.
ලොව දියුණු විද්‍යාවන් මෙකී අවසනාවන්ත තත්වයට හේතු සොයමින් වෙහෙසෙන අතර දයාබර ඔබට මට කරන්න කාර්යයක් ඇත. අඩුම තරමින් තවත් බැටරියක් විසිකරන්නන් වාලේ විසිනොකර නිසි තැනක බහාලමු. අපි මුල් පියවර තබමු. කුණු කසල ඉවත්කරන, විනාශ කරන උදවිය ඉවතලන බැටරි නිසිපරිදි විනාශකරන්න උනන්දු කරවන්න අපිට පුලුවන් වියයුතුයි.
ඔබත් බැටරියක් පාවිච්චි කරලා විසි කරනවානම්... එය තවත් ජීවිතයකට, හෙට උපදින කිරිකැටියෙකුට හානියක්, පීඩාවක් නොවෙන ලෙස වගකීමෙන් ඉවතලන්න කටයුතු කරමු. එසේ නොවුවහොත් අපි මතු දිනෙක බීමට නියමිත වතුර වීදුරුවට හානිකර වස විස එක් කිරීමට අපිම දායක වූවා වියහැකිය.
"ලෝක ජල දිනය" ගැන වැඩි විස්තර මෙතැනින්.
මෙම ලිපියත් කියවලා බලන්න: උතුරු මැද වකුගඩු රෝගයට රසායනික ද්‍රව්‍ය අඩංගු භූගත ජලයත් හේතුවක්