Friday, August 23, 2013

තවත් එක් සිරකරුවෙක්-4 (Prisoner of an Open Jail) -- අවසන් කොටස


පළමුවෙනි කොටස: තවත් එක් සිරකරුවෙක්-1
දෙවෙනි කොටස: තවත් එක් සිරකරුවෙක්-2
තෙවෙනි කොටස: තවත් එක් සිරකරුවෙක්-3

නීතියෙන් නිදහස් වූ තවත් සිරකරුවෙක්... තීන්දුවේ හැටියට රටෙන් පිටමං කිරීමට ලක්වෙන තවත් එක් සංක්‍රමණික සේවකයෙක්... විලංගු වැටුණ දෑත් සඟවා ගත නොහැකිව ඉස්සරහට කරගෙන නිලදරුවන් දෙදෙනා පසුපස වැටී ගුවන් තොටුපොළ තුළට පිවිසුනි. ආගමන විගමන කවුන්ටරයේ රාජකාරිය නිමා වූ වග කියාපාමින් පාස්පොට් පිටු මත මුද්‍රා කීපයක් වැටුණි. එතැනින් නියමිත දොරටුව කරා කැටුව ගිය සිරිජයන්තව ලියකියවිලි හා පාස්පොට් එක සමඟ ගුවන් සේවයේ කාර්ය මණ්ඩල ප්‍රධානියා භාරයට පැවරුණි. ගුවන් පාලම හරහා ඔහු සමඟ  ගොස්, ගුවන් යානයේ පිවිසුම් දොරටුව අසල දී විලංගු ගලවා නිදහස් කෙරිණි. යානයේ අන්තිම මගියා හැටියට ගොඩ වූ සිරිජයන්තව ගුවන් සේවිකාවක් විසින් නියමිත ආසනය කරා එක්ක ගියා. යානය පුරා සිටි හැමෝම තමුන් දිහා බලන් ඉන්නවා මෙන් ඔහුට දැනුණි.

කටුනායකට සේන්දු වූ යානයෙන් බැස යන්න මගීහු නොඉවසිල්ලෙන් පේළි ගැසුන ද කලින් දැනුම් දුන් පරිදි ගුවන් සේවක මඬුල්ලේ ප්‍රධානියා කතා කරන තුරු ආසනයේ රැඳී සිටින්න සිරිජයන්තට සිදුවිය. ගුවන් යානයෙන් බැස ආ මගීන් තම වාරය එනතුරු තවමත් ආගමන විගමන කවුන්ටර ඉදිරිපිට පෝලිම් ගණනාවක බලා සිටී. ප්‍රධානියා පෝලිම මගහැර සිරිජයන්තව ඉස්සරහට එක්ක ගියා. සිරිජයන්තගේ පාස්පොට් එක හා ලියකියවිලි කවුන්ටරයට භාර දුන්නා, ගොඩ බැසීම සනිටුහන් කර ලියකියවිලි ආපහු ඔහු අතට ලැබුණා.

"ඔහේ හිරේ වැටිලා උන්නද?" අහමින් කවුන්ටරයේ උන් මහත්මයා පාස්පොට් එක සිරිජයන්ත අතට දුන්නේ.

සිරිජයන්ත අසරණව බිම බලා ගත්තා.

"යූ කැන් ගෝ නව්, ඩෝන්ට් ෆොගෙට් යුවර් ලැගේජ්. බයි" කියූ ප්‍රධානියා ට්‍රොලි බෑගය ඇදගෙන විගහට යන්න ගියා.

සිරිජයන්ත නිදහස්.

ගුවන් යානා කිහිපයකින් බැස ගත් සෙනඟින් ශාලාව පිරිලා. යානාවලින් ගොඩ බෑ බඩු පොදි එන තුරු නොඉවසිල්ලෙන් බලා ඉඳි, ඒ අතර කඩිසරව එහේ මෙහේ දුවන කාර්ය මණ්ඩලයේ සේවිකාවන් ඔවුනට උපකාර කරයි.

මේ කිසිවක් ගැන සිරිජයන්තට තැකීමක් නැත, තනිවුණා වගේ දැනුණා.

ඉහිරුණ පැතුම් අව්කාෂ්ටක කතරක ගුලිකර, සෝසුසුම් වලින් දවා අළුකර, වියරු දූවිලි කුණාටුවෙම පාකර යැවූ සිරිජයන්ත අවුරුදු දෙකහමාරකට කලින් රැගෙන ගිය පුංචි ගමන් මළුව අතැතිව ගෙදරට ගොඩ විය.

නන්දා ජීවිතය ගැට ගහගත්තේ කඩයප්පම් හදලා. ඇගේ නැන්දා ඇයට හයියක් වුණා. හදිස්සියේ රෝගාතුර වූ ඇය ද මිය ගිහින් මාස දෙකක් ලං වෙලා තිබුණි. නැන්දාගේ වියෝවත් සමඟම කඩයප්පම් හැදිල්ල නතර කර තිබුණ ද කඩල තම්බා පාර්සල් කර කඩවලට දැමීම නන්දා කරගෙන ගියා.

දවස, දෙක ගෙවුණි. සිරි අහන දෙයකට උත්තර දෙනවා මිස වැඩි කතාබහක් නැත. තනියෙම ඉන්න කැමැත්තක් දැක්වූවා. එය නන්දාගේ හිතට කරදර දෙන්න පටන් ගත්තා, ඒත් ඒ ගැන සිරිට දැනෙන්න තිබ්බේ නැහැ.

සුභසාධක සංවිධානයෙන් හා කොම්පැනියෙන් ලැබුණ මුදල් ටික මාරු කරගන්න සිරි ටවුමට ගිය අතර තුර නන්දා හේමාට කතා කරා. හේමා මානසික රෝහලක වැඩකරන පළපුරුදු හෙදියක්.

සිරි මුහුණ පෑ අකරතැබ්බයන් ඔක්කෝම හේමාට කිව්වා.

කාලයක් බිත්ති හතරකට කොටුවෙලා උන් සිරිජයන්තගේ මානසික තත්වය මොනාකාරයේ වෙන්න පුළුවන්ද කියන එක හේමා විසින් නන්දාට පැහැදිලි කර දුන්නා.

"සිරි මොනවද කරන්න බලාපොරොත්තුව?"

"ඕනකරන ආයුධ ටික සූදානම් කරන් ටයිල් වැඩ කරන්නයි කල්පනාව."

"ඒක හොඳයි. ඊට කලින් සිරි ඉන්න තත්වයෙන් ගලවගන්න ඕනේ. ඒක අමාරු දෙයක් නෙවෙයි. පුළුවන් හැම වෙලාවෙම උඹ එයා ළඟින් ඉන්න ඕනේ. සමාජය එක්ක ගැවසෙන ක්‍රමයක් හදා ගන්න ඕනේ. ඒකෙන් එයාගේ හිතේ තියෙන කලකිරීම, කොන්වීම ටික ටික අඩුවෙලා යාවි. නැතුව දැන්ම මේසන් වැඩපොලකට යන එක එයාට හොඳ මදියි... ඇයි නන්දෝ උඹ සද්ද නැත්තේ..."

"මං කල්පනා කළේ කොහොමද ඒ දේ කරන්නේ?"

"උඹේ කඩල බිස්නස් එකට සිරිව සම්බන්ධ කරගනින්, උදේට කඩල පාර්සල් ගෙනියන වැඩේ සිරිට කරන්න පුළුවන්."

"කවුද ගේට්ටුව අරිනවා වගේ, සිරි එනවා ද කොහේද?"

"නන්දෝ, මේක ලෙඩක් නෙවේ. උඹ මේවා ප්‍රශ්නයක් කරගන්න එපා. සිරිට නොදැනෙන්න මේ දේවල් කරන්න ඕනේ. ඕන උදව්වකට මං ඉන්නවා."

මාරුකර ගත් මුදලින් සිරිජයන්ත තිබුණ ණය තුරුස් ඉවර කර දැම්මා. අතේ ඉතිරි වූ සොච්චමින් මොනවා කරන්න ද හිතමින් ඉන්න වෙලාවක කාකගේ පුතා ගෙට ගොඩ වුණේ.

ලොකු කාකලා ඉන්දියාවෙන් ඇවිත් පදිංචි වූ අය. ඔවුන් පිරිමින් කාටත් කතා කළේ කාකා කියලා, ඒ ඔවුන්ගේ භාෂාවෙන් අයියා කියන ගෞරවයෙන්. ගැහැණු උදවියට නෝනා කිව්වේ ලොකු පොඩි බේදයක් නැතිව. සිරිජයන්තගේ තාත්තා වැඩ කර කිරිනැලියේ වෙදමහත්තයාගේ සාප්පුව තිබූ කඩපේළියේ කෙළවරේම කඩකාමරයක කාකලා පදිංචි වෙලා උන්නේ. රස්සාවට කළේ පකෝඩා, මුරුක්කු, බට්ටෝ වගේ දේවල් හදලා පැකට් කරලා කඩවලට දාන එක. දවසක් පිටි මුට්ටය බයිසිකලේ අරන් එද්දි මෝටර් සයිකල් කාරයෙක් පස්සෙන් ඇවිත් හප්පලා කාක වැටිලා, දකුණු කකුල කැඩිලා. වෙළඳාම පවා කරගන්න බැරිව අන්ත අසරණව සිටි කාකට මාස ගාණක් පත්තු හදලා වෙදකම් කළේ සිරිජයන්තලාගේ තාත්තා. දෙමහල්ලෝ ජීවතුන් අතර නැතත් අදටත් පවුල් දෙක හරි එකතුයි. කාකගේ පුතා කිව්වාම නොදන්න කෙනෙක් පළාතේ නැහැ, හිත හොඳ මිනිහා.

"සිරි ඇවිල්ලා කියලා ආරංචි වුණා. බලලා යන්නයි කියලා ආවේ."

සිරිජයන්තගේ අවාසනාවන්ත කතාව ඔහු අසා සිටියා.

"සිරි හැම දෙයම වෙන්නේ මිනිස්සුන්ට. ගිය දේ ගියාදෙන්. දැන් මොනවද කෙරෙන්න ඕනේ?"

කිසි උත්තරයක් නැතිකොට...

"සිරි මං අඳුරන කෙනෙක්ගේ ටෙස්ට් කරත්තයක් තියෙනවා, කවුරුවත් වැඩ කරන්නේ නෑ. නිකං තියෙන්නේ. මං ඒක කතා කරලා දෙන්නම්. අපි බඩු දෙන්නම්. ටේස්ට් කඩල ටිකකුත් දාමු. සිරි බිස්නස් එක පටන් ගන්න."

"ඔව් සිරි එහෙම කරමු. ඔයා වැඩ පටන් ගන්න ආයුධ ටික ගන්නත් එපැයි." කතාවට එක් වුණේ නන්දා.

"බිස්නස් එක පටන් ගන්න, පුළුවන් සපොර්ට් එකක් අපි දෙන්නම්." කාකගේ පුතා උපදෙස් දුන්නා.

"අපි හොඳ දවසක් බලලා වැඩේ පටන් ගමු සිරි" නන්දා එක පයින් සූදානම්.

"එපා, එපා... සිරිට මොකුත් කරන්න එපා... අතෑරපල්ලා."

නිදා උන් නන්දාගේ මොර දීමත් එක්ක තැතිගත් සිරිජයන්ත පියවි ලොවට ආවේ.

"ඇයි නන්දෝ, හීනෙන් බය වුණාද?"

"මට වතුර ටිකක් දෙන්න."

මේසයේ තිබූ එනැමල් ජොග්ගුව අතට ගත් නන්දා වතුර බීගෙන බීගෙන ගියා. ඇගේ නළලින් දාඩිය බේරෙනවා.

"ඔව්, අරුන් ඇවිල්ලා සිරිව වාහනේට ඇදගෙන යනවා..." කඩා හැලෙන්න සැරසෙන කඳුළු ගුලි පිරුණ දෑස් පිට අත්ලෙන් පිසලන ගමන් ඇය සිරිජයන්තගේ උරහිසේ ඔළුව තියා ගත්තා. 

"විකාර, එහෙම වෙන්නේ නැහැ ළමයෝ" හිස කෙස් අතරින් ඇඟිලි දුවවමින් නන්දාගේ හිස පිරිමැදින්න වුණා.

"දැන් වෙලාව කීයද සිරි?"

"හතරට දහයයි."

"කඩල ටික ලෑස්ති කරන්න ඕනේ, මං කුස්සියට යන්නම් සිරි."

"කෝපි ටිකක් බොමුද?"

ටික වෙලාවකින් නන්දා කෝපි අරන් ආවා. බර කල්පනාවේ හිටි සිරිජයන්ත නැඟිට වාඩි වුණා.

"සිරි ඔයා නිදා ගත්තේ නැහැ නේද?"

"හ්ම්..."

"මොකද මේ බස්සෙක් වගේ හ්ම්, හ්ම් කියන්නේ..."

"හ්ම්... බස්සා වෙන මොනවා කියන්නද?"

මොහොතක් කරදර අමතක කර හිනැහුන දෙදෙනා සුපුරුදු උදේ කොපි කෝප්පය රසවින්ඳා.

නන්දා පිටුපස වැටුණ සිරිජයන්ත ද කුස්සියට ඇදුණා...

කඩල මුට්ටි දෙක ඇර බැලූ ඇය පොල් ගෙඩියක් අරන් සුද්ද කරා.

"කෝ දෙන්න" පොල් ගෙඩියයි මහපිහියයි ඇගේ අතින් ගත් සිරිජයන්ත වැරෙන් පාරක් දී පොල්ගෙඩිය දෙබෑකරා. 

"අද නම් එක පාරින්ම බින්දා, සිරි ඔයා කේන්තියෙන් නේද ඉන්නේ" නන්දා හිනැහෙන්න වුණා.

සිරිජයන්ත පොල් කෑලි කපන අතර නන්දා තෙම්පරාදුවට උවමනා දෑ සූදානම් කරා.

"නන්දා."

"ඇයි?"

"අද හවස කරත්තය ගෙනියන්නේ නැහැ, කඩල වතුරෙ දාන්න එපා."

"ඔව් සිරි ඔය වසවර්තියෝ එක්ක හැප්පෙන්න ඕනේ නැහැ."

"ඕකුන්ට බයේ නෙවෙයි නන්දෝ. උන් එක්ක එකට එක කරන්න ගිහින් පොලිසි ගානෙ රස්තියාදු වෙන්න බැහැ. හිරේ විලංගුවේ වැටෙන්න බැහැ. මට එහෙම වුණොත් නන්දා දිහා මේ සමාජය බලන්නේ කොහොමද කියලා මං නොදන්නවා නෙවෙයි. අන්න ඒකයි කරත්තයේ වෙළඳාම නවත්තන්න තීරණය කළේ."

"මං බයේ හිටියේ, සිරි මොන වගේ තීරණයක් ගනීද කියලා" දකුණු ඇහැ හීන් කර මුහුණේ ඇඳුණ අනුකම්පාවෙන් පිරුණ හිනාව ඒ අදහසට එකඟ බව කියා පෑවේය.

"උන්ට දිනුම දුන්නා නෙවෙයි නන්දා, අපි පරාද නැහැ. අද මුලු ගමම උන්ව මහ ඉහළින් පිළිගන්නවා. එහෙම කරන්නේ උන් කවුද කියලා නොදැන නෙවෙයි."

"හ්ම්..." නන්දා හූ මිටි තිබ්බා මිස කිසිවක් කතා කරේ නැහැ.

"රතු මහත්තයලාගේ සීයා, තාත්තා, බාප්පා හැම එකාම කළේ හන්දියේ රේස් මඩු. උන්ගේ ගෙවල් බූරු පොළවල්, කසිප්පු තිප්පොලවල්. ඒ දවස්වල රුක්කත්තන ගහ යට කඩේ අබිං වික්කේ, එතැන අද උන්ගේ ලොකු මන්දිරය හදලා තියෙන්නේ. කාර්වල එන අය එතැන එකතුවෙන්නේ නිකම් නෙවෙයි. පළාතම දුම්. උන්ටම හරි ගිය කාලේ, අද රටේ මිනිස්සු කරන්න ඕනෑ-එපා දේවල් තීරණය කරන්නේ ඒ වගේ උත්තමයන්."

"අපිට ඒව වෙනස් කරන්න බැහැ නේද?" සිරි ගැන නන්දාට බය හිතුණා.

"සිරි කඩල ටික බේරෙන්න දානවයි" කිසිත් කරකියා ගත නොහැකිව මොහොතක් නිහඬව සිටි නන්දා කතාව වෙනතකට හරවන්න උත්සාහ කරා.

පුරුදු පරිදි දෙදෙනා එකතුව කඩල පැකට් සූදානම් කරා.

"මම ඉක්මනට ගිහින් එන්නම්. වැඩියේ මහන්සි වෙන්න එපා, ඕන වුණොත් සිරියාවතීව කතා කරගන්න" කී සිරිජයන්ත උදේ රාජකාරිය සඳහා පිටත්ව ගියා.

එමින් ගමන කාකගේ පුතාට ගණන් බේරන්න ගිය සිරිජයන්ත සිදුවූ දේවල් ඔහුට කිව්වා.

රතුමහත්තයා තුන්මං හන්දියේ කඩපේළියේ කඩකාමර හතරක් අරන් රෙපයාර් කරන බව සිරි දන්නේ නැහැ වගේ... කාකට හිතුණා.

"සිරිගේ තීරණය මොකද්ද?"

"කඩල කරත්තයේ බිස්නස් එක නවත්තන්න හිතුවා..." ඊට මුල් වූ කාරණය ද සිරි විස්තර කරා.

"ඔව් සිරි එහෙම් කරන එක තමයි දැනට හොඳ."

"අපි කරත්තයේ ගනුදෙනු බේරන්නේ කොහොමද?"

"ඒක ප්‍රශ්නයක් කරගන්න එපා සිරි, මං ඒ ගැන කතා කරලා ඔයාට කියන්නම් කෝ..."

"මට දවස් දෙකක් විතර දෙන්න, කරත්තය සුද්ද කරලා ලෑන්ඩ් මාස්ටරයකින් අරන් එන්නම්."

"රෝද තුනටම ටයර් ටියුබ් දාලා සති දෙකක්වත් නැතුව ඇති නේද සිරි?"

"හ්ම්... මොනවා කරන්න ද? කරදරයක් නැති සීදේවි කරත්තේ."

"හරි, සිරිලා මොනව කරන්න ද කල්පනාව?"

"උදේට කඩවලට කඩල පැකට් දාන එක දිගටම කරගෙන යනවා."

"ඒක විතරක් ඇද්ද?"

සිරි මොකුත් කතා කළේ නැත.

"සිරි, මම බඩු දෙන්නම්. පැකට් කරලා බසාරෙකේ හෝල්සේල් දාන්න තැනක් සෙට් කරලා දෙන්නම්. පොලිතීන් සීලර් එකක් මං දෙන්නම්."

"නැහැ, එහෙම හරි නැහැ. කාකලා කරන බිස්නස් එකම අපි කරන එක හරි නැහැ."

"ඇයි?"

"ඔයාලට පාඩු වෙනවා නේද?"

"නැහැ සිරි. ඒක හරිම සිම්පල්. මොනවා කරත් අපිට නියමිත කොටසක් තියෙනවා, ඒක කොයි විදියකට හරි අපිට ලැබෙනවා. අපි කාටහරි පිහිට වුණොත් අපිට ලැබෙන දේ වැඩි වෙන්න පුළුවන්. සිරිලා අපිට පිහිට වුණ අය, මේක අපේ යුතුකම. මොකද කියන්නේ? හොඳ වෙලාවක් බලලා වැඩේ පටන් ගමු."

සිරිජයන්ත නිහඬව උන්නා.

"නන්දාත් එක්ක කතා කරලා හොඳ විදියක් කියන්න සිරි."

ඒ අදහසට නන්දා ද කැමැති වුණා.

එළඹෙන බක් මහේ නව චන්ද්‍ර චාප මතුකරන බලාපොරොත්තුවෙන් මැදින් සඳ අඳුරු අහසේ ඉක්මනින් සැඟවෙන්න හිතුවා.

~~~oOo~~~

සටහන:
මර්මුස්ගේ අනතුරට හේතුව පලංවියේ පැත්තක් ඇණ මුරුච්චි පොට පැනීමෙන් ගැලවී වැටීමෙන් බව දැන හිටියේ ෆොර්මන් විතරයි. අනතුරින් පසුව එතැනට ගිය ඔහු කිසිත් නොවුණා වගේ පලංවියේ හදලා දැම්මේ. එහෙම නොවෙන්න ඔහුද, සමාගම ද නීතියෙන් දඬුවම් විදින්න සිදුවෙන බව ඔහු දැන හිටියා. කොම්පැනියෙන් මර්මුස්ට ලොකු වන්දියක් ගෙවන්නත් වෙන්න තිබුණා. කොම්පැනියේ ඉහළ අයට ද මේ ගැන දැනුම් දුන්නා. සිරිජයන්ත නිදොස් බව දැනගත් ඔවුන් ප්‍රසිද්ධ නීති ආයතනයක වැඩ කරන; අසරණයින්ට ස්වේච්ඡාවෙන් පිහිට වෙන නීතිඥ මහතෙකුගේ සේවාව ලබා ගත්තා. වන්දි මුදල හදා ගන්න මුල් වුණේ ද ඔහුමය.

ඉන්දීය සංක්‍රමණික සේවකයින්ගේ සුභසිද්ධිය වෙනුවෙන් කටයුතු කරන සංවිධානය මෙතැන දී ලාංකිකයෙකුට පිහිටට එන්නේ ඉන් තවත් ඉන්දීය පවුලකට සැලසෙන ආර්ථික වාසිය ඉලක්ක කරගෙන.

අරාබිකරයේ අසරණයින්ට සහන සපයන ස්වේච්ඡා සංවිධානවලට පිං පතා මුදල් පරිත්‍යාග කරන ස්වදේශිකයින් ගැන විටින් විට කියවෙනවා, එය විමතියට කරුණක් වෙන්න පුළුවන්. මේ එවැනි පරිත්‍යාගයකින් මරණ දණ්ඩනයෙන් බේරී ජීවිත දානය ලබාගත් ලාංකිකයෙකුගේ හා නේපාල ජාතිකයෙකු ගැන කියවෙන සිද්ධීන් දෙකක්.

කතාවේ අරමුණ මැදපෙරදිග රැකියාවට ගිය තවත් නිදොස් ලාංකිකයෙකුගේ අවාසනාවන්ත ඉරණම ගෙන හැර දැක්වීම. සිරිජයන්ත  කිසිම පිහිටක් නැති, රාජකාරී මට්ටමෙන් වුණත් සෙතක් ඉටුනොවෙන අන්ත අසරණයින්ගෙන් කෙනෙකු පමණි. මේ කතාව ද කාසිගහ, නන්දුට රෙස්ට්,  කඟවේනිය නුඹ, තව කාසියක්, දුරු රටක කම්මලේ පොඩි නගේ වැනි විදෙස් රැකියාවේ තවත් පැත්තක් පෙන්වන්න කර උත්සාහයක් පමණි. එහෙත් හුදු රචනයක්ම නොවේ.


Monday, August 12, 2013

තවත් එක් සිරකරුවෙක්-3 (Prisoner of an Open Jail)


පළමුවෙනි කොටස: තවත් එක් සිරකරුවෙක්-1
දෙවෙනි කොටස: තවත් එක් සිරකරුවෙක්-2

වැලි කාන්තාරය හරහා දූවිලි දෙවනත් කරමින් ඇදුන පිකප් රථය හතරැස් ගොඩනැගිලි කිහිපයක් ඇති දෙසට හැරී ලොකු යකඩ ගේට්ටුවක් ඉදිරිපිට නතර විය. නුහුරු දේශයක, අමුතුම භාෂා කීපයක් කතා කරන දහ පහළොස් දෙනෙක් අතර සිරිජයන්ත තනි වුණා. ඔවුන් ඉන්දියාවේ පිටිසර පළාත් කීපයකින් ආ පිරිසක් බව දැනගත්තේ පස්සේ.

පහුව දා උදේ එළිවෙත්ම කට්ටියම කැන්ටරයකට ගොඩ වුණා. ඉඩ ඇති විදියට දෙපැත්තේ හයි කරපු ලෑලි බංකුවලත්, බිමත් වාඩි වුණා. වැඩපොළවල් කීපයකට කට්ටිය දාලා  ෆොර්මන් සිරිජයන්තව එක්ක ගියේ අන්තිම වැඩපොළට. ඔහු ඉංග්‍රීසි ටික ටික කතා කරන පකිස්තානු ජාතිකයෙක්. වැඩ කරන කට්ටිය එක්ක සම සමව වැඩකරන කෙනෙක්. තරමක් ලොකු පරණ ගෙයක් අලුත්වැඩියා කෙරෙමින් තිබුණේ. සිරිජයන්තගේ හැකියාවන් පෙන්නන එතැන හොඳ තැනක් වුණා.

දවස් ගෙවුණේ හරි හෙමින් වගේ... මාස හතරක් ගතවුණා, සිරිජයන්තට තරමක් පරණ තට්ටු ගොඩනැගිල්ලක අලුත්වැඩියා කිරීමේ වැඩපොළක් භාර දුන්නා. පිළිවෙළට වැඩ කෙරීගෙන යද්දි නිවාඩු ගිහින් හිටි මර්මුස් ආපහු ආවේ. සිරිජයන්ත තම කණ්ඩායමේ මූලිකත්වය අරන් සිටි නිසා දෝ දැක්ක මුල් දවසේ පටන් ඔහු පෙන්නුවේ නුරුස්සන ගතියක්. සුළු කාරණයකට පවා සිරිජයන්ත එක්ක පැටලෙන්න ආවා. වාහනයේ යනෙන අතර වාරයේ දී වගේම නවාතැන්පොල දී ද වෙනසක් වුණේ නැහැ.

මර්මුස්ගේ බලපෑම් වැඩි වෙත්ම ෆොර්මන්ට කිව්වා. විහිළුවෙන් වගේ "හී කෙරේසි මෑන්... යූ නෝ ෆයිට්. ඕ.කේ." කියා පිටට තට්ටුවක් දාලා යන්න ගියා. වෙනසක් වුණේ නැහැ.

පහුවදාට හතරවෙනි තට්ටුවේ බිත්ති කපරාරුව පටන් ගන්න නියමිතව තිබුණා. ඊට කලින් පරණ කපරාරු ගලවා ඉවත් කරන්න ඕනේ. අත්-උදව්කාරයෝ හැමෝම එතැන වැඩ. පාට්කාර් විතරයි සිරිජයන්තලාට උදව්වට පස්වෙනි තට්ටුවේ හිටියේ. අයින් කරලා තිබුණ අබලන් පලන්චියක් ගෙනත් බැල්කනියේ අටවපු මර්මුස් පිට පැත්තේ බිත්තියක කපරාරු ගලවන්න පාට්කාර්ට පැවරුවා. විනාඩි විස්සක් විසි-පහක් වැඩ කර පාට්කාර් වැඩේ නැවැත්තුවේ පලන්චිය හයිය මදියි කියලා. දෙන්නා බහින් බස් වුණා. මර්මුස්ට තරහ ගියා, ආයුධ අරන් පලන්චියට ගොඩවෙලා කලබලෙන් වැඩ කරන්න පටන් ගත්තා.

ටික වෙලාවකින් සිරිජයන්තට කතා කර ඔහු බිත්තිය ඇතුළතට විහිඳුන ඉරිතැලීම් කීපයක් පෙන්නුවා. ආපහු යන සිරිජයන්ත තරප්පු පේළිය දිගේ උඩට නඟිනවාත් එක්කම දඩෝං ගාගෙන පෙරළෙන සද්දයක් ඇහුණා. පලන්චියෙන් වැටුණ මර්මූස් දෙවැනි තට්ටුවේ බැල්කනි දෙකක් හරහා දාපු බාල්ක කඳන් ගොඩේ උඩුබැලි අතට වැටිලා.

කට්ටියම තරප්පු පෙළ දිගේ පහළට දිව්වා. නායක් පාට්කාර්ට අතපය දික් කරමින් සැරෙන් කතා කාරා. හින්දි නළු නනා පටෙකාර් වගේ හැම දෙයම කරන්න උත්සාහ කරන පාට්කාර් දකුණතේ දබරැඟිල්ල නායක්ගේ දෙතොල් වලට හිරකර "චුප්" කිව්වා. එව්වරයි. සද්දය නැවතුණි.

පාට්කාර් මර්මුස්ව උස්සන්න හැදුවා. පළාතම දෙවනත් කරමින් කෑගහපු විදියට මර්මුස්ගේ අතක් පයක් කැඩිලා වෙන්නැති. ලෑලි තට්ටුවක තියා ඒකාව පහළට අරන් එන්න මුල් වුණේ පාට්කාර්. තුවාලකාරයා එක්ක කැන්ටරයේ ඉස්පිරිතාලෙට ගියේ මර්මුස්ගේ පළාතේ ගෝලයෝ තුන්දෙනා විතරයි.

අනික් කට්ටිය පුරුදු වැඩ කටයුතුවල වැටුණා. ඒත් වැඩ ඇරිලා යද්දි පවා වෙනදා වගේ සද්දයක් නොවුණි. තැන තැන කීප දෙනෙක් කුටු කුටු ගානවා හැර නවාතැන්පොල පුරා පැතිරුණේ මූසල ගතියකි.

ෆොර්මන් ඇවිත් සිරිජයන්තව කාර්යාලයට එක්ක ගියා.

පොලිස් නිලධාරීන් දෙදෙනෙක් එහි විය. කට උත්තරයක් දෙන්න ඔවුන් එක්ක පොලීසියට යන්න කිව්වා. සිරිජයන්තට හීන් දාඩිය දැම්මා.

ගේට්ටුවෙන් පිටවෙද්දි සිරිජයන්තට හැරිලා බැලුනේ ඉබේටම වාගේ. ෆොර්මන් අසරණව බලා ඉන්නවා. කට්ටියක් තාප්පය කෙළවරේ එඹීගෙන උන්නා.

කොම්පැනියේ මන්දූක් පොලීසියට ඇවිත් හිටියා.

"උඹ ඇත්ත කියපන්, කිසි දෙයකට බය වෙන්න එපා. අපි ඉන්නවා." මන්දූක් කිව්වා.

මර්මුස් විසින් පාට්කාර්ට බැල්කනියේ වැඩ පැවරූ තැන ඉඳන් තමන් තරප්පු පේළියෙන් නගිනවත් එක්කම ඇසුණ සද්දය දක්වා වූ සිද්ධි එකිනෙක සිරිජයන්ත විස්තර කරා, එය පොලිසියේ නිලධාරියා විසින් සටහන් කරගත්තා.

මන්දූක් හා පොලීසියේ නිලධාරින් විනාඩි විස්සක් විතර කතා කරන්න ඇති. ඉන් පසුව, පොලිස් නිලධාරීයා සැකසූ සටහනක් ගෙනා මන්දූක් සිරිජයන්තගේ අත්සන අරගත්තා. එහි මොනවා සඳහන් වුණා ද නොදත් ඔහුට මන්දූක්ගේ කීමට අවනත වෙනවා හැර කරත හැකි කිසිවක් නොවිය.

සිහි විකල්ව දොඩවන මර්මුස් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබුණි, ඔහුගෙන් කට උත්තර ගැනීම අපහසු විය. තත්වය යහපත් අතට හැරෙන තුරු සිරිජයන්තව රිමාන්ඩ් කෙරුණි.

සති දෙකක් ගත විය, මර්මුස්ට සැත්කම් දෙකක් කර තිබුණි. කීපවතාවක් පොලීසිය ඔහුගේ කට උත්තර අරන් තිබුණ ද ඒවා එකිනෙකට වෙනස් විය.

සිරිජයන්තගේ රිමාන්ඩ් කාලය දික් කෙරිණි. ඔහු බලන්න ඉඳහිටවත් ආවේ ෆොර්මන් විතරයි.

මර්මුස්ගේ කට උත්තර අනුව සිරිජයන්ත සමඟ බිත්ති අලුත්වැඩියාව ගැන කතා කිරීමෙන් පසුව සිදුවූ කිසිවක් ඔහුට මතක නැත. වැටුණේ කොහොමද කියන්න තරම් දැනුමක් නැත. ඒ පැත්තේ එවෙලේ වැඩ කළේ මර්මුස් විතරයි, වෙනත් කිසිවෙක් නොවිය.

පොලිස් පරීක්ෂණවල සැකය සිරිජයන්ත දෙසට යොමුවිය.

සිරිජයන්ත සිරගත කෙරිණි.

තානාපති කාර්යාලෙන් ආ මහත්තයා ද බලකළේ වරද පිලි අරන් දඬුවම ලිහිල් කරගන්න කියාය.

කාගේවත් සරණක් නැති සිරිජයන්ත කියන කතාව කවුරුවත් ඇහුවේ නැහැ. එහෙම නැතිනම් විශ්වාස කෙළේ නැහැ.  මාස ගාණක් හිරගෙයි ගෙවුණා. නඩුවාර කීපයක් පැවතුණා. දැන් කොම්පැනියෙන් එන්නේ මන්දූක් විතරයි.

අනතුරින් කොඳු ඇට දෙකක් පිපිරීමෙන් ලෙඩ ඇඳට වැටුණ මර්මුස් ආබාධිතයෙකුව හැටියට ඉන්දියාවට ගියේ.

ඊට සතියකට විතර පස්සේ... දවසක් උදේක ෆොර්මන් නීතිඥ මහත්තයෙක් එක්ක ආව. අරාබි ඇඳුමින් සැරසී සිටි ඔහු කතා කළේ ඉංග්‍රීසියෙන්. සිරිජයන්ත පොලිසියට දුන් කට උත්තරය ඒ විදියටම ඔහුට කිව්වා. ඔහු උවමනාවෙන් ඇහුන්කම් දුන්නා. සිරිජයන්ත දිවුරා කිව්වා ඔහු අතින් කිසිම වරදක් වුණේ නැහැ කියලා.

ඊළඟ නඩු වාරය ලංවෙන බව පකිස්තානුවා කිව්වා.

තානාපති කාර්යාලයේ මහත්තයා දෙවැනි වතාවටත් ආවා. වරද පිළිගන්න කියලා නැවත කිව්වා.

එහෙම කරන්න සිරිජයන්ත වරදක් කරලා නැහැ.

ඊළඟ නඩුවාරයට අර නීතිඥ මහතා ද පැමිණියා. සිද්ධිය ගැන පැහැදිලි සාක්කි නැති කාරණය ගෙනහැර දැක් වූ ඔහු සිරිජයන්ත නිදහස් කරගන්න උත්සාහ කර ද නඩුව තවත් වරක් කල්ගියා.

සති දෙකකින් ආ ඊළඟ නඩු වාරයේ දී සිරිජයන්ත නිදහස් කෙරුණා, කොන්දේසියක් මත. තවදුරටත් පුරුදු රැකියාව කරගෙන යන්න බැරි විදියට අනතුරින් රෝගාතුර වූ මර්මුස්ට සිරිජයන්ත විසින් දිර්හම් එකසිය පනස්දාහක් ගෙවන්න නියම විය.

මාස හයකට ආසන්න කාලයක් හිරගෙයි ගත කර නීතියෙන් නිදහස් සිරිජයන්ත වෙනත් තැනකට මාරු කරා. මේ තරම් ලොකු වන්දි මුදලක් ගෙවා කවදා මෙතැනින් නිදහස් වෙන්නද? ඉටු නොවෙන හීනයක් වගේ සිරිජයන්තට දැනෙන්නට විය.

අවුරුදු දෙකකට වැඩි කාලයක් හිරගෙයි ගත විය. තානාපති කාර්යාලයෙන් දෙවතාවක් ආවද කිසිවක් කරන්න සමත් නොවිය.

ඒ අතර දවසක් පකිස්තානු ෆොර්මන් සිරිජයන්ත බලන්න  ආවේ ගිනිගහන මහා කාන්තාරයට වැහි පොදක් වගේ පුංචි සුබ ආරංචියක් අරං...

ඊළඟ සති අන්තයේ ෆොර්මන් කැටුව ආ නීතිඥයා සමඟ ඉන්දීය සේවකයින්ගේ සුබසාධනය වෙනුවෙන් වැඩ කරන ස්වේච්ඡා සංවිධානයක නියෝජිතයින් දෙදෙනෙකු සිරිජයන්ත බලන්න ආවා. සිරිජයන්තට උසාවියෙන් නියමකර මුදල සකස් කර දෙන්න ඔවුන් උත්සාහ කරන බව කිව්වා. සිරිජයන්තට කිසිවක් අදහාගත නොහැකි විය,  දෑසින් දෝරේ ගලන්න පටන් ගත්තා, දෑත් එක් කර ඔවුනට නමස්කාර කරා.

බිත්ති හතරක හිරවූ නිදොස් මිනිස් හිතක මියැදෙමින් තිබූ ඇතුළාන්තයෙන් පටන් ගෙන බලාපොරොත්තුවේ අංකුර ලියැලෙනු දැනුණි.

සති හයකට පසුව ඔවුන් තිදෙනා සමඟ ෆොර්මන් ද ආවා. දානපතියෙකුගේ පරිත්‍යාගයකින් වන්දි මුදල ගෙවන්න කටයුතු යොදා ඇති බව දැනුම් දුන්නා. 

නීතිඥ මහතා විසින් හැම දෙයම සූදානම් කරා. තානාපති කාර්යාලයෙන් සිරිජයන්තට ගුවන් ටිකට් පත ලබාදුන්නා. හිරගෙදරින් ගුවන් තොටුපලට එක්ක ගිය සිරිජයන්තව ගුවන සිසාරා පියාසර කරන්න මානන යානයකට නිදහස් කෙරුණි...



සිව්වැනි කොටස: තවත් එක් සිරකරුවෙක්-4 -- අවසන් කොටස

Tuesday, August 6, 2013

තවත් එක් සිරකරුවෙක්-2 (Prisoner of an Open Jail)

පළමුවෙනි කොටස: තවත් එක් සිරකරුවෙක්-1

අත්ලට වතුර අරන් කීපවරක්ම නන්දාගේ මුහුණට ඉස්සා. පැත්තකට හැරී වැටිලා ඉන්න ඇයගේ මුහුණට හොඳින් සුළං වඳිනවා කියා සිරිජයන්තට හිතුණා. ඒ විදියටම වැතිර ඉන්න ඉඩ හැර හිස පිරිමැද්දා. ඇගේ නළලේ දකුණු පැත්තෙන් රෝල් වෙමින් එන වතුර බිංදුවක් වේගයෙන් නළලත ඉස්මත්තෙන් වම් පැත්තට ගිලිහෙන්න හදන හැටි සිරිජයන්ත බලා හිටියේ නොඉවසිල්ලෙන්. නන්දා ඇහැර බැලුවා. ඒ ඇස් බයෙන් පිරිලා.

"මොනවද හොයන්නේ?" හිස ඔසවා වට පිට බලන්න උත්සාහ කර ඇගෙන් සිරිජයන්ත ඇහුවා.

"ඕකුන් වසවර්තියෝ, උන් එක්ක හැප්පෙන්න යන්න එපා සිරි."

"හරි, හරි ඔයා බය වෙන්න එපා ළමයෝ..."

අත්ලට ගත් වතුර ටිකකින් නන්දාගේ මූණ තෙතත් මාත්තු කර  සිරිජයන්ත නන්දාව නැගිට්ටවා ඇඳි පුටුවේ වාඩි කරා. බෝතලයේ ඉතිරි වතුර ටික උගුරු කිහිපයකට ඉවර කර නන්දා පුටු ඇන්ඳට ඔළුව තියාගත්තා.

උණුවතුර බෝතලයේ තිබූ තේ කහට ටික එනැමල් ජොග්ගුවට හැලු සිරිජයන්ත තේ හැන්දෙන් බෝතලය හූරා ගෙන වැඩි සීනි තේ කොප්පයක් හදා නන්දා අතට දුන්නා.

තේ උගුරු කීපයක් ගත් ඇය "මට ඇති, ඔයා මේ ටික බොන්න සිරි..."

ගෙදර ආ ගමන් තොලගාන කහට කෝප්පය නැති අඩුව අද නොදැනුණ ද සිරිජයන්ත කොප්පයේ ඉතිරි තේ ටික හිස් කරා.

"ඔයා පොඩ්ඩක් වාඩි වෙලා ඉන්න, මං කරත්තය අස්කරලා එන්නම්."

මොනවා කරන්න ද නිච්චියක් නැති සිරිජයන්ත හනි හනිකට කරත්තයේ ඉතිරිව ඇති කෑම ජාති මේසයට මාරු කළේ පුරුද්දට වගේ. උඩින් පල්ලෙන් කරත්තය සුද්ද කර සිරිජයන්ත ගෙතුළට යමින් ගමන වට්ටියේ අතුරා ඇති කොණ්ඩකඩල ටිකක් අතට අරං බැලුවා.

"ඔව්වා තෝරලා ඉවරයි සිරි, පෙඟෙන්න දාන්න තියපුවා" නන්දා කිව්වා.

"හරිම බඩගිනියි නන්දෝ. තියෙන දෙයක් කාලා ඉමුකෝ" නන්දාව කල්පනාවෙන් මුදවා ගන්න පුළුවන් එහෙමැයි සිරිජයන්තට හිතුණා.

"ඉන්න මං බෙදාගෙන එන්නම්, ඔයා ඇඟ හෝදන්නේ නැතැයි."

"නෑ. කාලා ඉමු."

වම් පය නවා ඇඳි පුටුව උඩට ගෙන හරිබරිවී වාඩි වූ සිරිජයන්ත අතට බත් පංගුව දුන් නන්දා  වාඩි වුණේ දකුණත පැත්තේ පුටුවේ. සිරිගේ අත පිඟානත් කටත් අතර ඉහළ පහළ යන්නේ පුරුද්දට වගේ... නන්දාට හිතුණා.

"අපි දැන් මොනවද කරන්නේ සිරි..." දෙදෙනා අතර නිහඬතාවය බින්දේ නන්දා.

"කෝ... තවම බත් එකට අත තියලවත් නැහැනේ?"

"ඔළුව කකියනවා සිරි, කන්න බෑ වගේ."

"එහෙම කියලා බැහැ, කාලා අර ඊයේ පෙරේදා පාමසියෙන් ගෙනාපු පෙති දෙකක් බීලා හොඳට නිදාගන්න."

"එතකොට උදේට කඩල?"

"කොහොම හරි කඩල ටික දාන්න එපැයි, මං ඒ ටික කරන්නම්. ඔයා කාලා, බෙහෙත් බීලා නිදා ගන්න."

නන්දා ඕනෑවට එපාවට වගේ කෑම කටවල් කීපයක් කන්න ඇති. සිරිජයන්ත කොච්චර එපා කිව්වත් ඇහුවේ නැහැ, ඇය කඩල ටික සෝදා පෙඟෙන්න දැම්මා. වෙනදා තරම් කඩිසර නොවුණත් පුරුදු පරිදි දවසේ ඉතිරි වැඩ ටික ඕ අතින්ම ඉටු විය.

"මේක බීල ඔයා ඇල වෙන්න..." බෙහෙත් පෙති දෙක ඇගේ අතට දී සූදාන වුණේ පිළිකන්නේ ළිඳට යන්න.

"තනියෙම යන්න එපා සිරි, ඉන්න මාත් එනවා.."

සිරිජයන්ත වතුර බාල්දි කිහිපයක් හනි හනිකට ඇඟට වත්කර ගන්න අතර නන්දා කොට්ටං ගහ යට කළු ගල් බැම්ම උඩ වාඩිවී උන්නා.

තට්ටු, තට්ටු කඳ වටේ උසට වැඩුණ කොට්ටං අතු එහා මෙහා වෙන්නේ නන්දාව අහල රූස්ස ගසක් මුදුනේ  ලැග ඉන්න බස්සා ගෙන් වහන් කරන්න වගේ. නන්දා තවමත් බර කල්පනාවේ වැටිලා ඉන්නේ. සිරිජයන්ත අතට ගත් පනිට්ටුව ලිං බක්කියේ වැද්දුවේ උවමනාවෙන්ම, සද්ද කරන්න.

"අපි දැන් මොනවද කරන්නේ සිරි..." නන්දා ආයෙත් ඇහුවේ පනිට්ටුව ඔහු අතින් ගන්න ගමන්.

"කලබල වෙලා බැහැ, අපි කල්පනා කරලා හොඳ විදියක් කරමු. ඔක්කෝට කලින් ටිකක් නිදා ගන්න ඕනේ".

"හ්ම්..."

දෙදෙනා පිළිකන්නෙන් ගෙට ගොඩ වූයේ කිසි කතාවක් නැතිව.

සිරිජයන්ත කුස්සියට ගියා.

උදේට කඩල තම්බන භාජන හෝදා පිළිවෙළට තියා ඇත, කාලකට අඩු භූමිතෙල් බෝතලයත් ලිප් බොක්කේම පුරුදු තැන ඇත.

"ගිනි පෙට්ටිය කොහේ ද නන්දෝ..."

"මේ ජාමේ ගිනි පෙට්ටිය මොකටද?" නන්දාගේ ඇස් එළියට පනින තරම්ය...

"ඇයි බය වුණාද?" හිනාව තද කරගත් සිරිජයන්ත නන්දගේ දෙවුරෙන් අල්ලා සොලවමින් ඇහුවා.

"ඔව් සිරි. ඇත්තටම මට බය හිතුණා."

"ඇයි ළමයෝ... උවමනා කරන දේවල් සූදානම් කරලා තිබ්බොත් උදෙන්ම ඔයාව ඇහැරවන්න ඕනේ නැහැ නේ..."

"නෑ, නෑ. පෙති බිව්වානේ නිදාගත්තාම හරියයි. මං උදෙන් නැඟිටලා කඩල ටික සූදානම් කරන්නම්."

"හරි, දැන් නිදා ගමු. ඒක උදේට බලන්න බැරියැ."

පැය භාගයකටත් යන්න ඇති... ඒ පැත්තට මේ පැත්තට මාරුවෙන් මාරුවට හැරෙන්න නන්දා ද තාම නිදි නැත.

"ඔඩි කොලොන් ටිකක් ඔළුවට දාන්නද?" මොන බෙහෙත බිව්වත් ඔළුව කැක්කුමට ඔඩි කොලොන් ටිකක් හිසේ උලන්නේ නැතිව නන්දාට හරියන්නේ නැති බව සිරිජයන්ත මතක් වුණි.

"ඔඩි කොලොන් ගෙදර නැහැ සිරි. රෙදි පටියකට විනාකිරි ටිකක් දාල ගේන්න පුළුවන්ද?"

"මෙච්චර ඉක්මනට ඉවර වුණාද?"

"නෑ සිරි. සිරියාවතීගේ හිච්චි එකාට සනීප නැතිව ඉල්ලන් ගියා හවස."

විනාකිරි වලින් තෙත්කර රෙදි පැලැස්තරය නළලට දා ටික වෙලාවක් හිස පිරිමදිද්දි නන්දා නින්දට වැටුණාය.

ගෙවී යන මැදින් සඳේ කිරණ කාමරයේ ජනේල පියන් අතර හිදැසින් එඹිකම් කරමින් මේසයේ ඉටිරෙද්ද මත දිලිසෙයි. නින්ද අහලකවත් නැති සිරිජයන්තට එය කරදරයක් විය. ඇඳෙන් නැඟිට එළිය අහුරන්න සුදුසු මොනවා හරි හොයන්නට වුණා. මේසය උඩ බාම් බෝතලේට යට කර තියෙන බඩු ලයිස්තුව සිරිජයන්තගේ නෙතු ගැටුණේ අහම්බෙන් වගේ.

"අවුරුද්දට කැවිලි ටිකක් හදන්න ඕනේ, ලයිස්තුව ලියලා දෙන්නම්, බඩු ටික ගෙනැල්ල දෙන්න පුළුවන් නේද සිරි..." කල් තියාම අවුරුද්දට සූදානම් වෙන නන්දා ඇහුවේ පෙරේදා උදේ.

"කැවිලි හද හදා ඉන්න ඕන නැහැ ළමයෝ, අවශ්‍ය කරන හැම ජාතියම කඩෙන් ගන්න තියෙන එකේ."

"එහෙම බැහැ සිරි, අවුරුදු තුනකට පස්සේ මේ ගෙදර අලුත් අවුරුද්දට කැවිලි ටිකක් හදන්න යන්නේ."

සිරිජයන්ත මොකුත් කියන්න ගියේ නැහැ.

පිජාම සරම දෙකට නවා ජනෙල් තිරය උඩින් දැමූ සිරිජයන්ත ආයෙත් ඇඳට වැටුණා.

මීට අවුරුදු කීපයකට කලින්... කරදර වැලක් ලියලන්න පටන් ගත්තා. තාත්තාට උරුම වූ ගෙයයි ඉඩමයි හතර මායිමවත් දැකලා නැති ලොකු තාත්තාගේ දරුවන්ට පැවරුණේ අවුරුදු ගානක ඇදි ඇදී තිබුණ දේපල නඩුවකින්. දරුමල්ලන් නැති නන්දාගේ මාමයි නැන්දයි එක්ක පදිංචියට ආවා. මාමා ගෙයයි ඉඩම් කෑල්ලයි නන්දා නමට ලියා දුන්නා. සති තුනයි ගියේ, මාමා ළිඳ ළඟ ඇද වැටී ලෙඩ වුණා. එක්තැන් වූ අසරණ මාමාට බෙහෙත් කරන්න හතර අතේ ණය වෙන්න වුණා. මාස කීපයක් ලෙඩ ඇඳේ  හිටි මාමා මිය ගියා. 

සිරිජයන්ත පළපුරුදු මේසන් කෙනෙක්, ටයිල් වැඩවලට දස්සයෙක්. ණය බරින් නිදහස් වෙන්න සිරිජයන්ත මැදපෙරදිග දේසේ රස්සාවකට යන්න හිතාගත්තා, නන්දාව ද කැමැති කරවා ගත්තා. කොළඹ ඒජන්සි ගානේ රස්තියාදු වුණාට ඉදිකිරීම් අංශයේ රස්සාවක් ලැබුණේ නැහැ. බ්‍රෝකර්ලා කීප දෙනෙකුට අහුවුණා, එච්චරයි.

අන්තිමේ දී පොඩි කොම්පැනියක මේසන් රස්සාවක් ලැබුණා. එරමුදු ගහ අග්ගිස්සේ කොහා හඬ ටිකෙන් ටික වැඩිවෙනවත් එක්කම... දවසක් සිරිජයන්තට අලුත් රස්සාවට පිටව යන්න වුණා.

Image Credit: http://www.magpienest.org/